Breaking News

ජනාධිපති පැළ මිලියන 2ක් හිටවලා ලංකාවේ වනාන්තර ප්‍රමාණය 30%න් වැඩි කරනවලු!

පැළ මිලියන 2ක් සිටුවීමට සැලසුම් කරන බව බව පැවසෙන “හුස්ම දෙනතුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ වී තිබේ.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැළය ලෙස සුදු සඳුන් පැළයක් රෝපණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම”රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වන ගහනය, භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට මෙයින් අපේක්ෂා කරන බව සඳහන් වේ.

එහෙත් ආණ්ඩුව පසුගිය නොවැම්බර් 04වනදා නිකුත්කළ ලිපියකින් පැවසුණේ රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 ” 02/2006″ 05 /98″ යන චක්‍රලේඛ සියල්ල අමාත්‍යංශ චක්‍රලේඛය වන 1/ 2020 චක්‍රලේඛය මගින් අහෝසි වන බවයි. මේ හරහා අවශේෂ වනාන්තර භුමි විශාල ප්‍රමාණයක් සමාගම්වලට විවිධ වගා කටයුතු සඳහා ලබාදීමට නියමිත බව පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.

ඊට අමතරව පසුගිය සමයේ කිසිදු පරිසර තත්ත්ව වාර්තාවකින් තොරව සිංහරාජය මැදින් ලංකාගමට පාරක් තනන මොහොතේ පරිසරවේදීන් ඇතුළු පරිසරයට ආදරය කරන ජනතාව එයට විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී ජනාධිපතිවරයා මැදිහත්වී එම කටයුතු ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබාදෙන ලදී. ඊට අමතරව රටේ විවිධ පළාත්වල පවතින රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කරමින් පවතියි.

ජනාධිපතිවරයා නායකත්වය දරන ආණ්ඩුව යටතේ දැනට තියෙන වනාන්තරත් විනාශ කරමින් තිබෙන මොහොතක සියයට 30න් වනාන්තර ප්‍රදේශ විශාල කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ.

leave a reply