Breaking News

අනුලා නම් ඇය

සහන් කසීර වික්‍රමසිංහ

වේදිකාව මත බොහෝ සේ ශබ්ද නගා ගෝලීය වසංගතයක උවදුරු බිය මැද නුපුරුදු නිහඬ බවින් අපෙන් සමුගත් ඈ නමින් අනුලා බුලත්සිංහල ‍ය.
ආර්. ආර් සමරකෝන් (ලෙඩක් නැති ලෙඩෙක් , චරිත දෙකක්) සහ ප්‍රේමරංජිත් තිලකරත්න (වහලක් නැති ගෙයක් , මුහුණු සයකි රූකඩයකි, කෝන්තරේ) නම් ප්‍රවීණ නාට්‍යවේදී දෙපළගේ වේදිකා නාට්‍ය කිහිපයක් ඔස්සේ වේදිකාව මත තම අනන්‍යතාව සනිටුහන් කරන අනුලා බුලත්සිංහල 1969 වර්ෂයේ දී හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයේ දී කුවේණිය වූවා ය.
සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ධන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගෙන් වූ කුමරුන් ළඟ එතේ
ගෙන් වූ කුමරුන් ළඟ එතේ
(කුවේණි)
අනතුරුව 1974 වර්ෂයේ දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’ වේදිකා නාට්‍යයේ ‘මහාසාර බිසව’ ලෙස තෝරාගන්නා අනුලා බුලත්සිංහල තම රංගන දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන්නීය.
බිසව :-
මට මහාසාර පලඳනාව හම්බවෙනකන් මං කන්නෙත් නැහැ. බොන්නෙත් නැහැ. නොකා නොබී මැරෙනවා !
රජු :-
අයියෝ ! එහෙම කරන්නෙපා. කොහොම හරි කරලා මේක හොයා ගන්න බලමු. නොකා නොබී නම් ඉන්න එපා. ඉස්සෙල්ලාම මොනවා හරි කාලා හිටින්නකෝ !
(මහාසාර)
1974 වසරේ ම ලූෂන් බුලත්සිංහලගේ ‘රතු හැට්ටකාරි’ නාට්‍යයේ ඉමිහිරිව ගයමින් රංගනයේ යෙදුණු අනුලා බුලත්සිංහල පැරණි සැහැල්ලක් ඇසුරෙන් ලූෂන් බුලත්සිංහල විසින් ලියන මේ ගී පදවැල සදාකාලිකව ම අනුලා බුලත්සිංහල නමට ම හරවා ගන්නට සමත් වන්නීය.
කිරි විකුණාලා කාසි හොයන්නයි
අනාගතේ මාළිගා තනන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි
මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි
දී කිරි දී කිරි – ගෙනාවා දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි
පැටියා මෝරපු දෙනගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
පණමට ලාබයි මං දෙන මේ කිරි
(රතු හැට්ටකාරි)
1981 වසරේ දී ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ නම් ජනකාන්ත වේදිකා නාට්‍යයේ ‘ලොරීටා’ ලෙස රංගනයේ යෙදෙන අනුලා බුලත්සිංහල සියවසක් මතකයේ රැඳෙන රංග ප්‍රතිභාවක් ද ගායන කෞෂල්‍යයක් ද විදහා පෑවා ය.
මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් ඇරේ ආදරේ
සුළඟින් බිත්ති තැනූ – සුවඳින් පිරියම් වූ
මාලිගයකි මගෙ හද දොරගුළු නැති
පිරී තියේ තදබද වී ආදරේ
(තාරාවෝ ඉගිලෙති)
1983 වසරේ වේදිකාගත වූ දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල හට හිමිවන්නේ ‘නෙයිනාගේ සූදුව’ පිළිබඳ වූ උද්වේගකර විරිඳු පංතියක් ගයමින් රඟන්නට ය. එය රස නොවිඳි කෙනෙක් මෙසිරිලක සිටිය හැකි ද ?
කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට
වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
උඹ ද මිතුරෙ හතරගාතෙ චණ්ඩිය කියමින් මෙතෙන්ට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට
(මධුර ජවනිකා)
අසූව දසකයේ අගභාගය වනාහි ගුවන් විදුලිය ගිලිහෙමින් තිබූ තම කිරුළ අසීරුවෙන් හෝ රැක ගනිමින් තිබූ යුගයකි. ඒ වන විට අනුලා බුලත්සිංහල එක වෑර්ලසය ද දිග්විජය කළ ගායිකාවක වූවාය.
දෙදහස් එක වසරේ දී සංගීත් විජේසූරිය විසින් දුප්පත් රැප් මළකුණක් එල්වමින් වුව ද මිහිරි ලෙස ගායනා කළ ‘රඟහල දැන් ඇත’ යනු අනුලා බුලත්සිංහල සහ විජේරත්න වරකාගොඩ අතීතයේ ගැයූ සරල ගීයකි. පුදුමය එළවනසුලු කරුණ වන්නේ මෙ සුගායනීය ගී පදවැල ලියන ලද්දේ හඩ්සන් සමරසිංහ වීම ය.
හැඩිදැඩි සිරුරට ආලය හිතුණා
ඔබ හට අසිපත දෙන්නට සිතුණා
මනමේ කුමරුන් මරුමුව වැටුණා
දැන් මම රැජිණයි හිමගිරි අරණා
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිළිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ
එමෙන් ම අනුලා තම දියණිය ඊෂා ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමග ගැයූ මේ ගීතය අසූව දසකයේ අගභාගය වන විට ගුවන්විදුලියේ නොවරදින ගීතයක් විය.
දුව :-
බුදුන් වඳින මේ දෑතින්
වැඳල කියන්නම් අම්මේ
අක්කා මෙන් ඔය හිත නෑ පාරන්නේ මං
මව :-
හිත හැදෙන්න මට ඇහෙන්න
එපා මුසා බස් පොඩි දූ
පව් පුරවා ගන්ට එපා මොටදෝ මායම්
දුව :-
මං දඟකාරියැයි කියා
වැඩිමල් දූ හිසේ තියා
මට විතරයි හැම තහංචි සැරවැර සරදම්
මව :-
පතා කියාගෙන ආ දේ
ඒ හැටියට වෙයි කරුමේ
හැදෙනව නම් මගෙ දූටත් මේවා පාඩම්
ලූෂන් බුලත්සිංහල විසින් ම පසුකලෙක සඳහන් කළ පරිදි පටිගත කිරීමක් සඳහා ගීතයක් ඉල්ලා එවූ විට ඔහු විදේශයක සිට ලියා එවන මේ ගීතයේ පහත පද පෙළ ඉවත්කිරීමට ගුවන්විදුලි බලධරයින් කටයුතු කරන්නේ දෙමාපියන් පෙරළා ප්‍රශ්න කිරීමේ අයිතිය දරුවන්ට යුතු නැතැයි යන ආකල්පයෙනි.
දුව :-
අපෙ අම්මා දීග ගියේ
දෙමාපියන් අණ බලාද
අක්කා කළ දේ වැරදියි එහෙම වුණා නම්
අම්මා :-
පණ්ඩිත කම් නොකියා තව
අහවරනම් ගේ දොර වැඩ
හොඳයි බලා ගත්තානම් පොත පත පාඩම්
එපමණක් ද නොව, අද වන විට ගුණදාස කපුගේ – මාලිනී බුලත්සිංහලගේ ගායනයෙන් සුවහසක් ගී රසකාමීන් හද වැළඳගත් ලූෂන් බුලත්සිංහල ලියූ මේ ගීතයේ මුල් ගැයුම ඔස්ටින් මුණසිංහ සහ අනුලා බුලත්සිංහල බව දන්නේ කීයෙන් කී දෙනා ද ?
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑඟේ
දැසට ළංස තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
අද වන විට අනුලා බුලත්සිංහල ද ඉතිහාසයේ ඇය වෙනුවෙන් වෙන් කළ ඉඩ හසර සොයා ගොස් අවසාන ය. ‘දුන්නා සිද්ධාලේප අසමෝදගම්’ නම් විකාරරූපී වෙළඳ දැන්වීමක් සමඟම තවමත් හිස තුළ රැව් දෙන්නේ අනුලාගේ උපදේශනාත්මක හඬ ය.
හිත හැදෙන්න මට ඇහෙන්න
එපා මුසා බස් පොඩි දූ
පව් පුරවා ගන්ට එපා මොටදෝ මායම්
ඒ සියල්ලට එපිටින් බුද්ධදාස ගලප්පත්ති විසින් රචනා කර ගුණදාස කපුගේ සංගීවත් කළ අනුලා බුලත්සිංහලගේ පැරණි ගීයක් ඈතින් ඇසේ.
සුදු ඔසරිය ඇඳලා
සුදු මුතු පොට බැඳලා
සුදු මල් පියවිල්ලේ සුදට සුදු
කවදද මා යන්නේ
එසේ නම් රතු හැට්ටකාරිය ද සුදුවතින් සැරසෙන දිනය උදා විය.
අනුලා බුලත්සිංහල ; ඔබට සුබ ගමන් !

leave a reply