Breaking News

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු – මාධ්‍ය ඉස්සරහ ගෝඨාභයව විහිළුකාරයෙක් කිරීම

සමන්සිරි හේරත්

ආරක්ෂක ලේකම් වෙලා හිටපු ගෝඨාභය රාජපක්ෂ නැවතුනේ විධායක ජනාධිපති වෙලා. හොඳටම කරනව කියපු ගෝඨාභය රාජපක්ෂට යන්න වුණේ පස්ස දොරෙන් පැනලා. ඉන්න හිතෙන රටක් හදන්න ආපු ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වුනේ යන්න රටක් නැතිවීම.

මේ අපේ රටේ හිටපු හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැටිකිරිය ඉතාමත් සංක්ෂිප්තව .

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ඉතිහාසය කියන්නේ හිනා යන එකක්. හැබැයි ඒ හිනා යන කතාව ඇතුලෙ අපේ රටේ දේශපාලන ඉතිහාසය සහ ආර්ථිකයේ විශාල ඛේදවාචකයක පංගුවක් තියෙනවා. ඒ විනාශකාරී පංගුව අමතක කරලා ගෝඨාභය රාජපක්ෂට පමණක් හිනාවෙන්න බැහැ. එපමණක් ද නොව ඒ ඇතුලේ පාස්කු ප්‍රහාරය වැනි බිහිසුණු ම්ලේච්ඡ මිනිස් ඝාතනද තියෙනවා.

පොහොසත් රටක් හදන්නා ආපු අනුර කුමාර දිසානායකගේ පාලනය ඇතුලේ ඉන්න අපිට ඉඳලා හිටලා හරි ගෝඨාභයලාවත් මතකයට එන සිද්ධීන්, සිදුවීම්, සිද්ධ වෙනවා.

2025 පෙබරවාරි 26 වැනිදා නාමල් රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබිලා තියෙනවා. එයා බස් ගනුදෙනුවට අදාළ මූල්‍යමය වංචාවක් පිළිබඳව කට උත්තර ලබා ගැනීමට. රාජපක්ෂ පවුලේ කවුරු හරි මේ දවස් වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම සුලභ දෙයක්. ලංකාවේ ආර්ථිකය බංකොලොත් වීමට සහ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සිදු වෙච්ච බොහෝ වංචා දූෂණවලට මේ රාජපක්ෂලාගේ නම ඈඳී තිබීම සාමාන්‍ය දෙයක්. ඒ තරමටම රාජපක්ෂ නාමය වංචා දූෂණ සමඟ එක ළඟින් බැඳී වෙලී පවතිනවා.

වර්තමාන ආණ්ඩුව විසින් නාමල් රාජපක්ෂට සහ රාජපක්ෂලාට එරෙහිව දේශපාලන පළිගැනීමක් ක්‍රියාත්මක කරන බව සමාජගත කරන්න ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නන්නත්තාර දේශපාලකයෝ කීපදෙනෙක් එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා.

ඒ මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ගෝඨාභය රාජපක්ෂට මාධ්‍ය ඉදිරියේ බරපතල උසුළු විසුළු කෝචොක් එකක් කෙරුවා.

සමස්ත ශ්‍රී ලාංකික ජනප්‍රජාවම දන්න දෙයක් තමයි ලංකා ඉතිහාසයේ හිටපු දුබලම සහ අසාර්ථකම නිවට දේශපාලකයා වගේම විධායක ජනාධිපතිවරයාද වන්නේ ගෝඨාභය රාජපක්ෂ කියල. එහෙව් පාංකඩ රාජපක්ෂට රටේ ජාතික ආරක්ෂාව ප්‍රකෘතිමත් කරන්නට එක් මාසයකට ආරක්ෂක අමාත්‍යාංශය භාරදෙන්න කියලා මේ හාදය මාධ්‍ය හමුවේ කියනවා .


කොහොමද ඒක කියන්නේ? මෙන්න මෙහෙම

රටේ ආරක්ෂක ඇමතිකම මාසයකට ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන ලෙසත් පවතින ප්‍රශ්න සියල්ල ඔහු විසඳා දෙනු ඇති බව ගමගේ කියනවා. ඒ විතරක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහතා පරිණත නයකයෙක් මෙන්ම ආරක්ෂක ලේකම් ලෙස දක්ෂ අයුරින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නායකයෙක් බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පුද්ගලයා සිදුවෙමින් තිබෙන ඝාතන සිද්ධීන් රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැරකරන්නේ නම් ජනතාව තුනෙන් දෙකක බලයක් දී මාලිමා ආණ්ඩුවක් පත්කළේ ඇයිද යන්න ප්‍රශ්න කර සිටියා .

ගෝඨාභය රාජපක්ෂ යනු තම දේශපාලන බලාපොරොත්තු සුණු විසුනු කරපු පුද්ගලයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගේ හිත් ඇතුළෙත් කැකෑරෙමින් පවතින බව මේ ප්‍රකාශය හරහා ඔප්පු වෙනවා. මොකද හත් දෙයියනේ එහෙම තරහක් නැත්තං මේ වගේ ගොං අමන විහිලුවක් මාධ්‍යය ඉස්සරහා කරන්නට ඔලුව පණ තියෙන පුද්ගලයෙක්ට බැහැ.

අපේ රටේ මිනිස්සු 2022 අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂව ගහලා පැන්නුවෙ යළි දවසකට හරි පාලන බලය ලබාදෙන්න හිතාගෙන නෙවෙයි. ඇත්තටම මේ කළේ ගෝඨාභය රාජපක්ෂව අවඥාවට ලක් කිරීම බව නම් සක්සුදක් සේ පැහැදිලියි .


බිඳවැටී ඇත්තේ ජාතික ආරක්ෂාවද මහජන ආරක්ෂාවද

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විපක්ෂ දේශපාලකයෝ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ඒත්තු ගන්වන්නට දරණ උත්සාහය අතිශය නිෂ්ඵල උත්සාහයක් බව මහජනතාව ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පේන්න තියෙනව . මේ වෙඩි තැබීම් හරහා මහජන ආරක්ෂාවට යම් තර්ජනයක් වී ඇති බව සිහිකැඳවාගත යුතුයි . පාතාල කණ්ඩායම් අතර ඇතිවන මෙම තත්ත්වය වුව ත් පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් නොවුනොත් මේ තත්ත්වය වර්ධනය වෙලා ව්‍යසනයක් බවට පරිවර්තනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි . අද දවසේදි ද කළ වෙඩි තැබීමකින් ජීවිත හානියක් නොවුනත් මහජනතාව තිගැස්සෙන්න වෙඩි ශබ්දයක් ඇසී ම බරපතළ කාරණයක් .

leave a reply