Breaking News

ආනවිලුන්දාව ඩෝසර් කළ අයට ඇප – ඇමති සනත් නිශාන්තගේ සොයුරා තවම අත්අඩංගුවට ගෙන නැහැ

ඉස්සන් කොටු සෑදීම සඳහා ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 100ක බැගින් වූ ශරීර ඇප මුදා හැරීමට හලාවත දිසා විනිසුරුවරයා අද (18) නියෝග කර තිබේ.

2020 වසරේ අගොස්තු මස 25 වන දින රාත්‍රියේ, රැම්සා තෙත්බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිලුන්දාව කුරුලු අභය භූමියට ඩෝසර් යන්ත්‍රයක් රැගෙනවිත් ඇතුළු වී නීතිවිරෝධී ලෙසින් ඉස්සන් කොටු සකස් කර ඇති බවට වන ජීවි කාර්යාලය ආරච්චිකට්ටුව පොලිසියට දැනුම් දී ඇත. ආරච්චි කට්ටුව පොලිසිය විසින් ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු වන බත්තුළුඔය කිරියන්කල්ලියේ පදිංචි පෝරුතොටගේ සුජිත් කුමාර නිශාන්ත ප්‍රනාන්දු (43) සහ ඉස්සන් ව්‍යාපාරිකයෙකු බව කියන බත්තුළුඔය පිංකට්ටියේ පදිංචි වර්ණකුලසුරිය නිශාන්ත ප්‍රනාන්දු (35) යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අද (18) දහවල් යළි දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ පසු සැකකරුවන් ඇප මත මුදා හල අතර වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 26 දක්වා කල්තැබිණි.

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් ඉස්සන් කොටුවක් සඳහා එළිකර ඇත්තේ ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කර තිබුණි. නමුත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. ජගත් සමන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සොහොයුරායි.

එහෙත් මෙදින නඩු විභාගයේ දි ජගත් සමන්ත පෙරේරා කුරුලු අභය භුමියේ එළි පෙහෙළි කිරීමට සම්බන්ධදැයි පරීක්ෂණයක් කර එසේ සම්බන්ධ බවට තොරතුරු ලබා ගත හැකි වුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරණ ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නැයි දිසා විනිසුරුවරයා පොලිසියට දැන්වීය.

ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක පැවසුවේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් බවත් මේ පිළිබඳ සෙවීම නතර කර නැති බවයි.

ඔහු විසින්ම පත්කරන ලද විශේෂඥ කමිටුව මේ විනාශයට වගකිවයුත්තා අනාවරණය කර තිබියදී තවත් සෙවීමට ඇත්තේ මොනවාදැයි ඇමතිවරයාගෙන් ඇසිය යුතු වේ. විනාශය සිදුවී දින කිහිපයක් ගතවී අදාළ විනාශය සිදුකළ ඩෝසරය පැදවූ පුද්ගලයා සහ ඩෝසරයේ අයිතිකරු අත්අඩංගුවට ගැනීමට හැකි නම් තවදුරටත් මෙම විනාශයට ඍජුව වගකිව යුතු පුද්ගලයා අත්අඩංගුවට නොගන්නේ දේශපාලන බලපෑම් නිසා බවට මත ඉදිරිපත් වේ.

වනජීවී ඇමතිවරයා පසුගියදා පැවසුවේ වන විනාශයන් සම්බන්ධයෙන් වන වැරදිවලදී මනුෂ්‍ය ඝාතනයක් ලෙස සළකා දඬුවම් ලබාදිය හැකි පරිදි නීති සංශෝධනය කරන බවයි. කෙතරම් නීති රීති දැඩි කළද එම නීති රීති ලොක්කන්ට බල නොපායි නම් එයින් ඇති වැඩක් නැති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

leave a reply