Breaking News

ආණ්ඩුවෙන් වැඩකරන ජනතාව රවටන්න පොරොන්දු රැසක්

පසුගිය සතියේ ආණ්ඩුව පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප රු. 12500 සිට රු. 17500 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. මේ අතර මෙම 10 වන දා වතු කම්කරුවන්ගේ වැටුප දිනකට රු. 1350 දක්වා වැඩි කිරීමට යයි පවසමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අතර ජනපතිවරණයේ තැපැල් ඡන්ද දැමීමට දින කිහිපයකට පෙර රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප 2025 ජනවාරියේ සිට රු. 55000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි. දැන් ආණ්ඩුව පවසන්නේ 2025 පාදක වසර ලෙස සලකා සියළුම රජයේ සේවකයින් සඳහා (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දිමනාව මාසිකව රුපියල 25,000ක් ගෙවීම, රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50%-60% දක්වා වු පරාසයකින් වැඩි වන අතර ජීවන වියදම් දිමනාව සමඟ දළ වැටුප රු. 55,000ක් ලබාදෙන බවයි.

මෙම ක්‍රියාවන් සියල්ල රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන් රැවටීම සඳහා ගත් පියවරයන් බවට අදහස් පළවෙමින් පවතියි.

2023 අවසානය වන විට 4 දෙනෙතුගෙන් යුත් පවුලකට ජීවත්වීම සඳහා අවම වශයෙන් රු. 103000 ක් අවශ්‍ය බවත් ඒ අනුව එක් අයෙකුට රු 57500 ක් අවම වැටුපත් ලබාදිය යුතු බවට ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමික්ෂණයක සඳහන් කරන බව මහ බැංකුව ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව පුද්ගලික අංශයේ අවම වැටුප රු. 17500 කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

වෘත්තීය සමිති විසින් අර්බුදයට පෙර පුද්ගලික අංශයේ මාසික අවම වැටුප රු. 26000 ක් කරන ලෙස ඉල්ලා සිටියද සමාගම් සහ ආණ්ඩුව එය ප්‍රතික්ෂෙප කර තිබියදී දැන් රාජ්‍ය අංශයේ අවම වැටුප රු. 55000 කිරීමට එකඟවීම පොරොන්දු ලබාදී ජනතාව රැවටීමකි.

ඒ අතරම සැප්තැම්බර් 10 වන දින පැවති වතු අංශයේ පඩිපාලක සභා රැස්වීමකදී වතු කම්කරු වැටුප රු. 1350 ක් පමණක් ගෙවීමට එකඟ වී ඇත්තේ එය රු. 1700 කරන බවට රනිල් වික්‍රමසිංහ පොරොන්දු දී තිබියදීයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීම, සැප්තැම්බර් 04 පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද විමසීම ඉලක්ක කොට සිදුකළ එකක් බව මැතිවරණ කොමිසමද පිළිගෙන තිබේ.

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි පොරොන්දු ලබාදීම ගැන මැතිවරණ කොමිසම මඟින් පරීක්ෂණයක් සිදු කරන්නේ දැයි බීබීසී සිංහල විසින් විමසූ විට කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ “අපට රිපෝට් එක ආවොත් ඒක මැතිවරණ කොමිසමට දාලා පරීක්ෂණයක් කරනවා. නමුත් එතකොට ඩැමේජ් එක වෙලා ඉවරයි. හෙට තැපැල් ඡන්ද තියෙද්දි නෙ මෙහෙම ගහලා තියෙන්නේ,” යනුවෙනි.

“මේ රටේ ඉන්න එම්බසිඩර්ස්ලායි මේ රටේ මිනිස්සුයි දැනගන්න ඕනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන තැන.”

“අපට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා,” ඔහු පවසා ඇත.

leave a reply