Breaking News

මුදල් බලය ඇති පක්ෂවලට එක මැතිවරණ නීතියක්, එවැනි බලයක් නැති අයට තව නීතියක් – ඉන්ද්‍රානන්ද සිල්වා

මුදල් බලය සහිත දේශපාලන පක්ෂවලට එක නීතියකුත් මුදල් හදල් නැති පක්ෂවලට තව නීතියකුත් ලෙස මැතිවරණ නීති දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍යම කාරක සභික පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් තිබියදී තිබිය දී මැතිවරණ නීති වලට අනුකූලව පිහිටුවා තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාල දිවයිනේ ස්ථාන කිහිපයක දී අසාධාරණ ලෙස ඉවත් කර ඇති බවයි.

වැඩිදුරටත් ඉන්ද්‍රානන්ද සිල්වා පලකළ අදහස් පහත දැක්වේ,

” මැතිවරණ නීතය අමු අමුවේ උල්ලංඝණය කරමින් තියෙනවා. මේ නීතියේ කොටස් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එක කොටසකට එකක් ලෙසත් අනිත් කොටසකටකාර්යාලයක්වත් දාන්න බැරි විදිහටක් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනයේදී පමණක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්යාල ගණනාවක් පොලීසිය මැදිහත්වෙලා ඉවත්කරනු ලැබුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මානප අංක, මුහුණ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. අපි දිනවන්නේ ප්‍රතිපත්තිය නිසා. අපිට ඒක අදාළ නැහැ. අපේ කාර්යාලවල අනෙක් කාර්යාල වගේ මනාප අංක සඳහන් වෙන්නෙ නැහැ. අපි දැම්මේ ලකුණවත් සඳහන් නොවෙන රතු කොඩි තුනකුයි ’සමාජවාදී නියෝජනයක්, සටන්කාමී නායකත්වය’ කියන තේමා පාඨය. දැන් කටවුට් දාන්න දෙන්නෙ නෑ කියලා කටවුට් ගලවනවා. කොඩි ගලවාගෙන යනවා. ඉතිරි වෙන්නේ කුළු ගෙඩිය පමණයි. ඊයේ කෑගල්ල කාර්යාලයට ඇවිල්ලා දැනුම් දිලා තියෙනවා කුළුගෙඩියත් එක්ක කතිරය යොදන්න බෑ කියලා. එක තැනක කතිරය යොදන්න බැහැ තව තැනක සටන් පාඨ සහිත කටවුට් එකක් ගහන්න බැහැ. ඒ දිස්ත්‍රිකවල ඉන්න අයගේ වැරද්දක් නෙවෙයි. එයාලා කොළඹට මැතිවරණ කොමිසමට කතා කරලා උපදේස් ලබා ගෙන තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මැතිවරණ කොමිසම කියන්නෙ මේ සටන් පාඨ සහිත කටවුට් එක චිත්‍රයක් කියලා. චිත්‍ර හයිකරන්න බැහැලු. කලින් කිව්වේ වෙනත් දේශපාලන පක්ෂවලට අගතියක් වෙන සටන් පාඨ පාවිච්චි කරන්න බැහැ කියලා. අපි කිව්වා මේ සටන් පාඨයෙන් කාටවත් අගතියක් වෙන්නෙ නැහැ. මේ අපේ ප්‍රතිපත්තිය කියලා. අපි නියෝජනය කරන්නෙ පොදු ජනතාවගේ අරගලය, එකයි සටන්කාමී නායකත්වයක් කියන්නෙ. අපි යෝජනා කරන්නෙ පාර්ලිමේන්තුවට සමාජවාදී නියෝජනයක්. ඒක වෙන කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි අහනවා රූපවාහිනී දැන්වීම්වල යන්නෙ මොනවද? ඒවගෙ මුහුණු නැද්ද? අංක නැද්ද? නළුවෝ වගේ ඇවිල්ලා රගපාන්නේ නැද්ද? චිත්‍ර බැහැ වීඩියෝ පුළුවන්. රූපවාහිනී දැන්වීම් වලට ලක්ෂ ගණන් වියදම් කරන්න පුළුවන්. ඒවට නීතියක් නැහැ. ඇති හැකි අයට එක නීතයක් සහ මුදල් හදල් නැති අපිවගේ වාමාංශික පක්ෂවලට මේ නීතිය අසාධාරණවයි ක්‍රියාත්තම වෙන්නේ. මැතිවරණ සාකච්ඡා පටන් ගන්නේ මේක සමබිමක මැතිවරණයක් කියලා. අපි ඒ වලාවේත් කිව්වා මේක සමබිමක වෙන්නේ නැහැ කියලා.

විමල් වීරවංශගේ කාර්යාල හයිලෙවල් පාරේ හෝමාගම, මාකුඹුරෙ ඊයෙත් තිබුණා.ඒවා ගිහින් බලන්න කියලා අපි මැතිවරණ නිලධාරීන්ට කියනවා. ඒ කාර්යාල දැවැන්ත ඩිජිටල් කටවුට් ගහලා මුහුණු විතරක් නෙමෙයි සියල්ල දාපු දැවැන්ත කාර්යාල. ඔය කියන සීමා මුකුත් ඒවාට අදාළ නැහැ. කටවුට් ගහන්න කියලා තිබුනේ දෙමළෙනුත් ගහනවා නම් වර්ග අඩි 50යි. අපි දාපු කාර්යාලවල වර්ග අඩි 50ට වැඩිය කටවුට් දාලා නැහැ. ආණ්ඩුබල හොබවන අයට ඉඩකඩ දීලා තියෙනවා. මේකද මැතිවරණ නීති කියලා අපි අහනවා. පුත්තලම දංකොටුවේ ඊයෙත් තිබුණා අරුන්දිත ප්‍රනාන්දු මහත්තයගේ කාර්යලයක්. මේවගේ තව ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. මැතිරණ කොමිෂමේන් අපි අහන්නේ ඔයගොල්ලන්ට පේන්නේ අපිවගේ පුංචි කාර්යාල විතරද? මැතිරණයේ පත්‍රිකා බෙදන්න එපා කියලා මැතිවරණ නීතියක් තියෙනවා. මිනිස්සු මුදල් පරිහරණය කරනවා, වෙනත් දේවල් හුවමාරු කරනවා. බෙදන ප්‍රතිකාවේ විතරද කොරෝනා තියෙන්නේ. අපි මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අහනවා ඔබතුමා කවද්ද ටීවීවලට ඔබතුමාලගේ නීතිය ඇතුලත් චක්‍රලේඛය යවන්නේ විඩියෝ ප්‍රදර්ශනය කරන්නත් එපා කියාලා. සමබිමක මැතිවරණ විහිළු විතරයි මේ වගේ රටක. නීතියේ ආධිපත්‍ය තියෙන්නෙ බලය අයට . ඒ නීතියේ ආධිපත්‍යයට හැමෝම යටයි. දැන් ඔප්පු කරමින් ඉන්නවා මැතිවරණ කොමිසමත් ඒකට යටයි කියලා. මේ කටයුතු කළොත් මැතිවරණයේ සාධාරණය ඉල්ලලා සටන් කරන්න අපිට සිද්ධ වෙනවා. යුක්තිය ඉල්ලලා පාරට බහින්න වෙනවා. මැතිවරණයේ යුක්තිය වචනවලින් නෙමෙයි ක්‍රියාවෙන් පෙනන්නන්න කියලා අපි ඉල්ලනවා.

විදේශගත ලාංකිකයන් ලංකාවට ගෙන්වීමේ ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිදරව්වී තිබෙනවා. මත්තලට පැමිණෙන මියන්මාර ගුවන් සේවයට අයත් 5002 කියන ගුවන් යානයේ වියදම් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒකට අදාළ දුරකථන අංක තිබෙනවා. මේ පැමිණි අයගෙන් ඇහුවොත් තොරතරු ලබා ගන්න පුලුවන්. ඔවුන් මේ සියලු ගණන් හිලව් තොරතුරු ලබා දෙනවා. අපිට මතකයි ජුනි 10 වෙනදා විදේශ සබතා පිළිබඳ අතිරේක ජනාධිපති ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා පැවසුවා ප්‍රමුඛතා ලබා දෙන්නේ විදේශගත ශිෂ්‍යයන්ට, ශ්‍රමිකයන්ට නෙවෙයි කියාලා. මේ කතාව කියන වෙලාවේදී කාටවත් තේරුණේ නැහැ. මේ පිරිස මැලේසියාවේ සිට රැගෙන එන්නෙ මියන්මාර් ගුවන් යානයක්. මැලේසියාවේ සිටින ශිෂ්‍යයන් ගෙන්වන්න මියන්මාර ගුවන් යානයක් යොදාගත්තේ යි කියන කාරණය මේ ජාවාරමේ පළමු කාරණයයි. මෙහි ගුවන් ටිකට පතක් එක් ලක්ෂ අටදහස් තුන්සීයක් වෙනවා. යුරෝපීය රටක සිට ආවත් මිට පොඩි ගාණක් තමයි වැඩි වෙන්නේ. මියන්මාර් එයාලයින් ගුවන්යානයක් තොරා ගැනීම මේ ජාවරමට සම්බන්ධයි.

දෙවැනි කාරනය පී.සී.ආර් පරීක්ෂණ භාජනය කරන්න ඔවුගෙන් දොලොස් දහස් පන්සියක් අය කරනවා. ආණ්ඩුවම කිව්වා පෞද්ගලික රෝහල්වල හිතෙන හිතෙන ගණන් අය කරනවා කියාලා. ඒක නවත්වනවා කිව්වා. උපරිම අය කරන්න දෙන්නේ 6000යි කිව්වා. ඒ කොන්දෙසිය දැන් ආණ්ඩුම කඩලා. මත්තල සිට වස්කඩුවට ප්‍රවාහනයට රුපියල් 15,000ක් අය කරනවා. මේ කිසිවේක් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට අරන් යන්නේ නෑ. අරන් යන්නේ සිස්ට්‍රස් හෝටලයට ඒ හෝටලය කාගේද කියලා මේ රටේ ජනාතව දන්නවා. පසුගිය කොරෝනා කාලෙ මේ ව්‍යාපාරිකයා නිරෝධායනය සඳහා මේ සිට්‍රස් හෝටලය පරිත්‍යාග කරා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා. ඒ අයිතිකාරයා පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී කිව්වා ගෝඨාභය ජනාධිපති කරනකන් නින්ද යන්නේ නැහැ කියලා.

බලන්න එක් බස් එකකට ශිෂ්‍යයෝ 20ක් දා ගත්තොත් ලක්ෂ තුනක් වෙනාව බස් එකකට. මේ ශිෂ්‍යයෝ මත්තලට ගෙනාවේ ඇයි කටුනායකට ගෙන්නේ නැතිව මත්තලට ගෙන ඒම වැනි අමතර කාරනා මේකේ තියෙනවා. සති දෙකක් නිරෝධායන වෙන්න ඕනා. ඒකට අදාළ මුදල් මේ ශිෂ්‍යයෝ ගෙවන්න ඕනා. කාමර කුලිය 12,500යි. ඩබල් රූම් එකක් 7,500යි. ඕනම හෝටලයක ඩබල් රූම් එකක් ගණන් වැඩියි. මේක ඒකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. නිරෝධනයට අවශ්‍ය තනි කාමර. නිරෝධායනය වීමේදී ආරක්ෂිතව ඉන්න නම් තව කෙනෙක් එක්ක ඩබල් රූම් එකක ඉන්න බැහැ. මේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ඥාණය කොහොමද කියලා තේරෙනවද? ඔය කියන පුද්ගලයෝ කෝටිපතියෝ වුනේ කොටස් වෙළඳ පොළේ තැරව්කාර සමාගම් හරහා. දවස් 14 අවසානයේ එක ශිෂ්‍යයයෙක් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් ගෙවන්න ඕනා. කොරෝනා කාලෙ සංචාරකයෝ එන එක ඇනහිටීමත් එක්ක මේ හෝටලයට වඩා හොඳ හෝටල් පවා කාමර ලබාදුන්නේ රුපියල් 6000ට වගේ මුදලකට. රුපියල් 6000ට දීපු කාමරයක් 12500 ගණනේ මේ ශිෂ්‍යයන්ට දෙනවා.

ජයන්ත කොළඹගේ මහත්තයා කිව්ව කතාව පැහැදිලියි. ප්‍රමුඛතාව දෙන්නේ අධ්‍යාපනය සඳහා විදෙස් ගත වුණ අයට, ඒකට හේතුව ආණ්ඩුව හිතනවා සල්ලි වැඩියෙන් තියෙන්නේ අධ්‍යාපනය සඳහා විදෙස් ගත වුණ අයට කියලා. අපි කියනවා වග කිවයුතු ඇමැතිවරු මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන.

ඊයේ පෙරේදත් විදෙස්ගත ශ්‍රමිකයන් සියදිවි නසා ගත්තා,තවත් පිරිසක් කොරෝනා හැදිලි මියගියා. තවමක් ලංකාවට එන්න විදියක් නැතිව සිටින කම්කරු ප්‍රජාව, කාන්තාවෝ, පිරිමින් දුක් විදිනාවා. තමන්ගේ දුක මාධ්‍ය හරහා රටට කියනවා. ‘රට විරුවෝ’ කියාපු කතා අදාළ නෑහැ. ආණ්ඩුවට ඕන තමනුත් මුදල් හම්බ කර ගනිමින් තමන්ට උදව් කළ මිත්‍ර සමාගම්වලට, ව්‍යාපාරිකයන්ට අතමිට සරුකරගන්න උදව් කිරීම පමණයි.”

leave a reply