Breaking News

‘සංගා’ සාන්තුවරයෙක්ද?

ජනප්‍රිය තරු විසින් සංකේත ප්‍රාග්ධනය භාවිතා කිරීමෙන් සිය ජීවනෝපාය සරිකර ගනී. එම සංකේත වටිනාකම් උපයා ගනු ලබන්නේ ඔවුන් විසින්මත් සෑහෙන වෑයමක් දැරීමෙන් පසුව මෙන්ම අදාළ සමාජයේ සාමාන්‍ය ජනතාව විසින් කැපකරන අරමුදල් වියදම් කිරීමෙනි. තමන් අගයන කරන පුද්ගලයාගේ වටිනාකම අගය කිරීම, ආරක්ෂා කිරීම සහ වියදම් දැරීම සිදුකරන පොදු ජනතාවට කිසි විටෙකත් ප්‍රතිලාභ, ගෞරවය හෝ ආපසු ගෙවීමක් නොලැබේ. සිනමා තරු, ක්‍රීඩා තරු සහ ජන සමාජයක් විසින් ඔසවා තබන වෙනත් චරිත සහිත බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පසුව ඔවුන් පෝෂණය ලැබූ සමාජයීය මූලයන්ගෙන් බැහැර වේ. කෙසේ වෙතත් එහිදී අමතක කළ නොහැකි කියුබාවේ තියෝෆිලෝ ස්ටීවන්සන් වැනි ව්‍යතිරේකයන්ගේ අත්දැකීම් ඛේදජනක නොවේ.

කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ගත් කල, රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටීම විශාල ප්‍රශ්නයක් නොවේ. අපරාධයක් සිදුවී ඇත්නම්, විමර්ශන සිදුකළ යුතුය. එහෙත් මහින්දානන්ද ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා කිරීමට මෙතරම් කාලයක් ගත කළේ ඇයි? අනෙක් අතට ‘සංගා’ සාන්තුවරයෙක්ද? සංගා තාරකාවක් බවට පත්වීමට මහන්සි වී වැඩකළ බව රහසක් නොවන අතර, ඒ් වෙනුවෙන් ලංකා සමාජයද විශාල මුදලක් වියදම් කළේය. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ පසුව වෙළඳ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් උපයාගත් සංකේත ප්‍රාග්ධනය ආයෝජනය කළ අතර සමාගම් විසින් ඔහුගේ ජනප්‍රියතාව උපයෝගී කරගනිමින් ඔහුට ගෙවූ කොටසකට වඩා කිහිප ගුණයක් වැඩියෙන් ලාභ උපයා ගන්නා ලදී. ඒ් නිසා, මෙම අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියේදී වෙළඳ සමාගම්වල ගනුදෙනුකරුවන් සූරාකෑමට සංගා දායක විය.

ජනප්‍රිය පුද්ගලයන්, ග්ලැඩියේටර්වරුන් ලෙස යොදවා තම බලය වෙනුවෙන් දේශපාලන පොරපිටිය තුළ සූරාකෑම සම්බන්ධයෙන් මහින්දානන්ද වැනි දේශපාලන තැරැව්කරුවන් හෙළා දකින අතරම, වෙළඳපල පදනම් කරගත් ‘පරිභෝජන සංස්කෘතියක්’ වෙනුවෙන් සිය ජනප්‍රියත්වය පාවාදීම සම්බන්ධයෙන් සංගා වැනි ජනප්‍රිය චරිතවලට අප චෝදනා කළ යුතුය.

චන්දන සිරිමල්වත්ත

leave a reply