Breaking News

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට දමා ඇති කොන්දේසි අසාධාරණයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව මැතිවරණයට පෙර උපාධිධාරීන්ට පමණක් නොව අපොස සාපෙළ අසමත් අයටත් රැකියා ලබාදෙන බව පොරොන්දු වෙමින් සිට මැතිවරණයෙන් පසු රැකියා ලබාදීම සඳහා අසාධාරණ කොන්දේසි දමා ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ඔහු පවසන්නේ EPF, ETF කැපෙන රැකියා තිබූ උපාධිධාරීන්ට මෙවර රජයේ රැකියා නොදෙන බවට ආණ්ඩුව 16වැනිදා ගෙන තිබූ තීරණය අසාධාරණ බවයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

ආණ්ඩුව උපාධිධාරීන් 50000ට රැකියා දෙනවා කියන එක මාධ්‍ය සංදර්ශනයක්, 2020 ජනවාරි 01වැනිදා රැකියා නැති උපාධිධාරීන් 54000ට රැකියා දෙන්න ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණා. ඩලස් ඇමතිවරයා පසුගිය ජනවාරි 14වැනිදා කිව්වා උපාධිධාරීන් 50000ට මාර්තුවේ රැකියා දෙනවා කියලා. අප්‍රේල් 07වැනිදා මහින්ද මහත්තය කිව්වා මාර්තු මාසෙ බඳවා ගන්න ලිපි යවපු සියලු දෙනාට ඔවුන්ගේ නිවසේ සිටියත් රුපියල් විසිදහස බැගින් දීමනාවක් සහිතව නැවත රැකියා දෙනවා කියලා.

පස්සෙ ආණ්ඩුව මාර්තු මාසෙ මහ මැතිවරණය කැඳවලා මැතිවරණ කොමිසම පිට තියලා කිව්වා මෙන්න මැතිවරණ කොමිසම උපාධිධාරීන්ට රැකියා දෙන්න දෙන්නෑ කියලා.

නමුත් මහ බැංකු වාර්තාවෙ දාලා තියෙනවා මාර්තු මාසෙ රැකියා සඳහා තෝරාගත් සියලු උපාධිධාරීන්ට රුපියල් විසිදහසක පුහුණු දීමනාවක් මාර්තු මාසෙ ලබාදුන්නා කියලා. මේ සල්ලි ලැබුණු උපාධිධාරීන් නම් නැහැ. කවුද මහ බැංකුවට මේ තොරතුරු දුන්නේ කියලා සොයා බැලිය යුතුයි.

ඒත් මේ අගෝස්තු 16වැනිදා රාජ්‍ය පරිපාලන දෙපාර්තම්නේතුව මාධ්‍යට ලිපියක් නිකුත් කරලා කියනවා මාර්තු මාසෙ දුන් සියලු පත්වීම් අවලංගු කළා කියලා. දැන් ඔවුන් මෙන්න මේ අයව තමයි බඳවා ගන්නෙ කියලා කොන්දේසි ප්‍රමාණයක් දාලා තියෙනවා. ඔවුන්ගේ මේ බඳවා ගැනීමේ ප්‍රමිතිය සලකා බලද්දී ගැටළු කිහිපයක් මතුවෙනවා. බඳවා ගැනීම් සඳහා මුලින්ම දාලා තිබුණු දැන්වීමේ තිබුණේ ඩිප්ලෝමාවක් සහ උපාධියක් තියෙන අය අයදුම් කරන්න කියලා. එවිට ලක්ෂ ගණනක් අයදුම් කරලා තියෙනවා. දැන් ආණ්ඩුව හතළිස් දහස් අනූ දෙදෙනෙකුගේ පමණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නෙ කරුණු එකොළහක් අනුව. ඉන් අපි මූලිකව එක් කරුණකට අවධානය යොමුකරනවා.

මෙහිදී පසුගිය කාලෙ රැකියාවක් කරලා EPF, ETF කපපු අයගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 2019 ජනවාරි 01වනදාට පෙර උපාධිය අරගෙන වසරක පමණ කාලයක් රැකියා විරහිතව ඉන්න අයට තමයි දැන් රැකියා දෙනවා කියලා චක්‍රලේඛයේ තියෙන්නෙ . අනිත් එක 2019 ජනවාරියේ උපාධිය ගත්තනම් දිගටම රැකියා විරහිතව සිටිය යුතුයි මෙසේ රැකියා ලබාදෙන්න සුදුස්සෙක් වෙන්න. මේක ඉතාම අසාධාරණ කොන්දේසියක්. මේ තරුණ තරුණියෝ වසරක් ජීවත්වෙන්නෙ හුලං බීලද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. පෞද්ගලික අංශයේ රැකියාවක් තියෙනවනම් උපාධිධාරීන්ට රැකියා දෙන්නෙ නෑ කියලා ආණ්ඩුව මැතිවරණයේදී කිව්වෙ නැහැ. එසේ නොකියා ඔවුන්ගේ ඡන්දය ගත්තා.

මෙහිදී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි අදහස් දක්වමින් පැවසුවේ,
අපි ඉල්ලුවේ පත්වීම් ලිපි නොලැබුණු අයට පත්වීම් දෙන්න කියා මිසක් දුන්න පත්වීම් අවලංගු කරන්න කියලා නෙමෙයි. මේක විශාල අර්බුදයක්. අපි 18දා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියට එන්න කියලා මේ අසාධාරණයට ලක්වූ සියලු උපාධිධාරීන්ට කියනවා. අපිට සාධාරණ පිළිතුරක් ඕනා .

leave a reply