Breaking News

කාලය ගැන තවම තීරණයක් නැහැ , කවි පොතක් කරනවා

හිල්මි සුපුන් 

වෘත්තියෙන් හෙද නිළදාරිනියක් වන කෝෂිලා සෙව්වන්දි නව පරපුරේ කිවිඳියක්. සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොතේ නිතරම ඇයගේ කවි අපිට දකින්න ලැබෙනවා. බොහෝ පත්තර කවි පිටු ඇගේ කවියෙන් සැරසෙනවා.පත්තර කවි පිටු වල ඇගේ කවි විචාරයට ලක් වී තිබුණු අවස්ථා අපි දැක තිබෙනවා. 2020 වසරේ රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ගීත රචනා අංශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වු කෝෂිලා සෙව්වන්දිව මේ සතියේ විවර කලා කතාබහේ චරිතය හැටියට තෝරගත්තා .

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වෛද්‍ය වෘත්තියේ සහ ඊට අනුබද්ධ සේවාවන්වල යෙදී සිටින සියලු දෙනාම මේ මොහොතේ ඉතාමත් අසීරු සහ අවදානම්කාරී තත්ත්වයක තමන්ගේ සේවාවන් කරමින් පවතිනවා. ඇය වෘත්තීය ජීවිතයේ මොහොතේ මුහුණදෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳවත්, කවිය පිළිබඳව අද අපි කතා කරමු.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපි කවුරුත් අපහසුතාවයන් වලට පත්වෙලා ඉන්නේ. ඒ අතර වෛද්‍ය සේවයේ නියැලෙන අය ඉහළ අවදානමකට ලක් වෙච්ච පිරිසක් බවට පත්වෙලා ඉන්නවා .කවිය පිළිබඳ කතාබහට කලින් අපි කැමතියි වෘත්තීය ජීවිතයේ අත්දැකීම් පිළිබඳව අදහසක් හුවමාරු කර ගන්න.

හෙදියක් විදියට මගේ වෘත්තීය ජීවිතය ඇතුළෙ මේ වගේ අත්දැකීම් බහුලයි. Covid 19 වයිරසය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය වසංඝතයක් නිසා මේ දිනවල අවදානම වැඩියි. කොහොම වුණත් ක්ෂය රෝගය, ඒඩ්ස් රෝගය වගේ බරපතල බෝ වන රෝග වැළඳුණ අයටත් අපි ප්‍රතිකාර කරල තියෙනවා. ඉතින් අපිට තියෙන මේ අවදානම ගැන අනිත් අයටත් දැනෙන්න ගත්තෙ “කොරෝනා වසංගතය” නිසා.

මට කොරෝනා රෝගීන් සමගත් වැඩකරන්න අවස්ථාව ලැබුණා. අපි මෙතනදි අනුගමනය කරන්නෙ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගියා වෙන් කර සාත්තු කිරීමේ ක්‍රමවේදය (Isolation). ඉතින් රෝගීන් හිතන්නෙ ඒක මානසික රෝගීන් වගේ වගේ සමාජයෙන් කොන් වීමක්, කැළලක් (Stigma) එකක් විදියට. ඉතින් එවැනි තත්වයක් තුළයි ගොඩාක් රෝගීන් සැඟවී සිටීමට උත්සාහ කරන්නේ. ප්‍රතිකාර කරන අවස්ථාවලදී අපි ඔවුන්ගේ මානසික තත්වය ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කරන්න ඕන.

ඔබට කවිය සඳහා පිවිසුම් දොරටුව නිර්මාණය වෙන්නෙ කොහොමද?

පුංචි කාලෙ ඉඳලා මම පොත් කියවන්න පුරුදු වුණ කෙනෙක්. අපේ තාත්තා ළඟ සාහිත්‍ය පොත් එකතුවක් තිබුණා. යන්තම් අකුරු ගැට ගහ ගන්න පුළුවන් වුණ කාලෙදි මගේ අතට අහු වුණේ කුස දා කව, වෙසතුරු දා කව, සුදෝසුදු වගේ පොත්. මම හරි ආසාවෙන් ඒ කවි කියෙව්වා. පාසල් කාලෙදි කවියට යොමු වුණේ එහෙමයි. උසස් පෙළ විභාගය සඳහා මම තෝර ගත්තේ ජීව විද්‍යා විෂය ධාරාව. ඒත් ලියන එක අත් ඇරියෙ නෑ. විද්‍යා පංතියක ඉඳ ගෙන වුණත් පාසලේ සාහිත්‍ය උත්සවවලදී මූලිකත්වය අරන් කටයුතු කළා.

වැඩිපුරම ලියන්න කැමති මොනවගේ කවිද?

ආකෘතියක් විදියට ගත්තම සඳැස්, නිසඳැස් දෙකම ලියනවා. සොබාදහම එක්ක බද්ධ වුණ කවි තමයි ලේසියෙන්ම ලියවෙන්නේ. ස්වභාවික වස්තුවක් රූපකයක් විදියට අර ගෙන කවි ලියන්න මම ගොඩාක් කැමතියි. මුල් කාලයෙදි මම ගොඩාක් දිග කවි ලිව්වා. ඒත් දැන් මම පුළුවන් තරම් වැඩි වචන අයින් කරලා කවිය සංස්කරණය කරන්න බලනවා. විශේෂයෙන් දැන් මගේ අතින් ලියවෙන්නෙ කෙටි කවි. වචන හතරකින් ලොකු කතාවක් කියන්න මම කැමතියි.

සෑම කලා නිර්මාණයකම දැනුවත් හෝ නොදැනුවත් සැඟවෙච්ච දෘෂ්ඨිවාදය තියෙනවා.ඔබ නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක් හැටියට නිර්මාණයක දෘෂ්ඨිවාදය කෙරෙහි උනන්දුව දක්වන්නෙද?

අනිවාර්යයෙන්ම ඒක මම පිළිගන්නවා. මම නිතරම උත්සාහ කරන්නේ නිර්මාණ හරහා සමාජයට යහපත් දෙයක් දෙන්න. කවියක් කියවද්දී හරියට භාවනාවක් වගේ සහෘදයා කවිය තුළට ආසක්ත වෙනවා. ඉතින් අපි පෑන හසුරුවන්න ඕනෙ බොහොම සංයමයෙන්. කවියන් හැටියට සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යෑමේ වගකීම තියෙනවා. ඒක තේරුම් ගත්තෙ නැතොත් සිද්ධ වෙන්නෙ විනාශයක්.

කවි ලියන සමාජයේ ඔබ අද ප්‍රසිද්ධ චරිතයක් (විශේෂයෙන්ම එෆ්බී එකේ). ඔබට සමාජගත වෙන්න (කවිකාරියක් විදිහට) වැඩිම දායකත්වය ලැබුනේ පුවත්පත් කවි පිටුවෙන්ද එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද ?

ප්‍රසිද්ධ චරිතයක් කියන්නෙ ලියන කියන සමාජය ඇතුළෙනේ. ඉස්සර වගේ නෙවෙයි ලෝකෙ වටේ ඉන්න කවි ලියන, කවි කියවන, සාහිත්‍යට සම්බන්ධ අය සමඟ මුහුණුපොත හරහා සම්බන්ධතා ගොඩ නගා ගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ අය මගේ කවි කියවනවා. පුවත්පත්වල කවි පිටුවලිනුත් සෑහෙන්න දායකත්වයක් ලැබිල තියෙනවා. සමාජ ජාලයේ කවියක් මුදා හැරියොත් ප්‍රතිචාරය එසැණින්ම ලැබෙනවා. ඒත් කවිවල ගුණාත්මක භාවය පිළිබඳ අපි තුළම සැකයක් පහල වෙනවා. පුවත්පත්වල ගොඩක් වෙලාවට කවියක් ඵල වෙන්න කලින් වරණයකට ලක් වෙනවා.

ඔබ කවිය සමග සැළකිය යුතු ගමනක් ඇවිත් තිබෙන බව අපි දන්නවා. කවියෙකුගේ හෝ කිවිදියකගේ බලාපොරොත්තුව තමයි තමන්ගේ නිර්මාණය ඒකරාශී කරපු කවි පොතක් ජනගත කිරීම, ඉතින් ඒ සඳහා උනන්දුවක් තියෙනවද? එහෙම වෙනවා නම් කොයි කාලෙ වගේද?

කවි පොතක් කරනවා කියන තැනට මම තවම ඇවිත් නෑ. ඒ කියන්නෙ මගේ කවි ගැන සෑහීමකට පත් වෙන්නෙ නෑ. වෘත්තීය ජීවිතයේ කාර්යබහුලත්වත් එක්ක පහුගිය දවස්වල නිර්මාණ කටයුතු තරමක පසුබෑමකට ලක් වුණා. කවද හරි කවි පොතක් කරනව කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක කොයි කාලෙද කියලා දැන්ම කියන්න අමාරුයි.

අවසාන වශයෙන් මෑත කාලීන කවි කිවිඳියන් අතරින් ඔබ කැමතිම කෙනා කවුද? ඒ වගේම ජීවිතයට බලපෑම් එල්ල කළ කාව්‍ය නිර්මාණයක් තියෙනවා.

ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. අපේ ජේෂ්ඨ පරම්පරාවේ වගේම සමකාලීන අය අතරෙත් මම ප්‍රිය කරන කවි කිවිඳියන් ගොඩාක් ඉන්නවා. ඒ අතරින් චින්තක සමන් හේරත් කියන සහෝදර කවියගෙ නිර්මාණ ඉදිරියෙන් තියෙනවා. ඔහු ආවට ගියාට කවි ලියන කෙනෙක් නෙවෙයි. ඔහුගේ අළුත්ම කෘතිය “වැහි වැටෙන දවස්” කාව්‍ය සංග්‍රහය කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඔහු මොන තරම් හැදෑරීමක් තියෙන කවියෙක් ද කියලා.

හිල්මි සුපුන්

 

 

 

leave a reply