Breaking News

අහනෆ් ජසීම් නිදොස් කොට නිදහස්

වර්ගවාදය හා අන්තවාදය ඉගැන්වීමේ ව්‍යාජ චෝදනා යටතේ ත්‍රස්ත මර්දන හා විමර්ශනය කිරීමේ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අහනෆ් ජසීම් නිදොස් කොට නිදහස් කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් අද (12) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අහනෆ් ජසීම්ට එරෙහිව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් සාක්ෂි මෙහෙයවීම අවසන් කළ බවට මින් පෙර අධිකරණය වෙත දැනුම් දී තිබු අතර එහිදී අහනෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටි පාර්ශවය විත්තියේ සාක්ෂි නොකැඳවාම ඔහු නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ පුත්තලම මහාධිකරණ විනිසුරවරිය නීතිපති දෙපාර්තුමේන්තුව අහනෆ්ට විරුද්ධ චෝදනා සාධාරණ ලෙස ඔප්පු කර නොමැති බව පෙන්වා දෙමින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අද (12) තීන්දු කළා.

එහිදී, අහනෆ් ජසීම් වෙනුවෙන් සිටි නීතීඥ සංජීව විලසන් ජයසේකර අධිකරණය හමුවේ කරුණු දක්වමින් අහනෆ්ට අයත්ව තිබූ ලැප්ටොප් පරිගණකය සහ නවරසම් පොතේ පිටපත් 100 ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර එය නිදහස් කරන ලෙස නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එහිදී විනිසුරුවරිය ප්‍රකාශ කළේ අදාළ භාණ්ඩ කිසිවක් නඩු භාණ්ඩ ලෙස මහාධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

කෙසේවෙතත්, මෙම නියෝගයේ පිටපතක් රැගෙන ගොස් එම භාණ්ඩ කොහේ හෝ රඳවා තිබේ නම් නියෝගය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර එම භාණ්ඩ නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරිය විසින් උපදෙස් ලබා දී තිබුණා.

නවරසම් යනුවෙන් කාව්‍ය ග්‍රන්ථයක් රචනා කළ අහනෆ් ජසීම් 2020 මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමකින් තොරව දින 579කට ආසන්න කාලයක් ඇප ලබා දීමෙන් තොරව රඳවා ගැනීමටද කටයුතු කර තිබුණා.

එමෙන්ම එහිදී හිජාස් හිස්බුල්ලාට විරුද්ධව සාක්ෂි ලබා දෙන ලෙස තමාට බලපෑම් කළ බවද අහනෆ් ජසීම් පසුව අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

leave a reply