යෝජිත 05/2001 චක්‍රලේඛය අහෝසිය ක්‍රියාත්මක වුවහොත්, මුලින්ම ලොවින් සදහටම තුරන්වීමට ඉඩ තිබෙන සතුන් අතුරින් ජයන්තියා හෙවත් බන්දුල පෙතියා නම් මත්ස්‍යයා පළමු තැනට පත්වෙනු ඇති බව පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි. ඔහු පවසන ආකාරයට මෙම ස්ථානීය ආවේනික මත්ස්‍ය විශේෂය මේවන විට සිටින්නේත් වඳවීමට ආසන්න තත්ත්වයේයි. යෝජිත 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම හරහා වනරක්ෂණ දෙපර්තම්නේතුව යටතේ දැනට පවතින වනාන්තර ඉඩම් එම දෙපාර්තමේන්තුව පාලනයෙන් ඉවත් වීම සිදුවේ. මේ හරහා මෙම වනාන්තර ප්‍රදේශ විනාශ කොට විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිත බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.
පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මෙම චක්‍රලේඛය අහෝසි කිරීම හරහා සිදුවිය හැකි විනාශයට එක් උදාහරණයක් සපයමින් ජයන්තියා හෙවත් බන්දුල පෙතියා නම් මත්ස්‍යයා ගැන සිය facebook ගිණුමේ සටහනක් තබා තිබේ. පහත දැක්වෙන්නේ සටහනයි.
“මෙම ස්ථානීය ආවේනික මත්ස්‍ය විශේෂය මේ වන විට සිටින්නේ වඳවීමට අත්‍යාසන්න තත්වයේය. ප්‍රමානයෙන් කුඩා සහ පාර්ශ්විකව පැතලි ශරීරයක් සහිත මේ මත්ස්‍යයා ප්‍රමානයන් සහ හැඩයෙන් බොහෝ දුරට බුලත් හපයාට සමාන මුත්,ඊට වඩා පලලින් වැඩි ශරීරයක් දරන අතර ශරීරයේ තිබෙන්නේ සිරස් කලු ඉරි දෙකක් පමනක් නිසා පහසුවෙන්ම වෙන්කර හඳුනාගත හැක. පරිනත පිරිමි සතුන් මුලුමනින් කලුපාට පෘශ්ථීය වරලක් දරයි. ප්‍රජනන සමයේදී පිරිමි සතුන්ගේ ශරීරයේ රෝස පැහැයක් ඇතිවී එය බිත්තර දමන අවධියේදී දීප්තිමත් රෝස රතු පාටකටත්, ශරීරයේ සෙසු කොටස් කලු පාටටත් හැරේ.
මෙම කුඩා සහ වර්නවත් මිරිදිය මත්ස්‍යයා හමුවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලපිටමඩ-පල්ලේගම-අල්පිටිය ප්‍රදේශය හරහා ගලායන එක් කුඩා ඇලක කිලෝමීටර් දෙකක දිග ප්‍රමානයක් ඇතුලත පමනකි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රබ්බිඩිගල කන්දේ ඉහල ප්‍රදේශයේ ඉතිරිව තිබෙන අවශේශ වනාන්තරයෙන් ආරම්භ වෙන මෙම කුඩා ජල මාර්ගය වසර පුරා පවතින්නේ මෙම කුඩා වනපෙත නිසාවෙනි. එම ජල මාර්ගය වසර පුරා ජලය සහිත වීම මත මේ මත්ස්‍යයා ලොවෙන් තුරන්ව යා නොදී ආරක්ෂා වී තිබේ. නමුත්,යම් හෙයකින් මේ ජල මාර්ගය සුළු කලක් හෝ වියලී ගියහොත්, මේ මාළුවාද සදහටම මෙලොවින් තුරන්ව යනු නියතය. මෙම මත්ස්‍යයාගේ පැවැත්ම සම්පුර්ණයෙන්ම රඳා පවතින්නේ මේ ජල මාර්ගයේ පැවැත්ම මතය. ජල මාර්ගයේ පැවැත්ම රඳා පවතින්නේ රබ්බිඩිගල කන්ද ඉහල කොටසේ තිබෙන මේ කුඩා අවශේෂ වනාන්තරය මතයි.
අවශේෂ වනාන්තරවලට තිබෙන ආරක්ශාව අහිමි වුවහොත්, මුලින්ම සහ වඩාත්ම දැඩි තර්ජනයකට මුහුන දෙන්නේ මෙවන් කුඩා වනගොමු වේ. එමෙන්මකුඩා වනයක විනාශයේ හානිකර බලපෑමත් එසේම ඉතා දැඩිය.”