Breaking News

මැතිවරණ පැමිණිලි සාරාංශය

පළමු අන්තර්කාලීන වාර්තාව
2025 පළාත් පාලන ආයතන මැතිවරණය-2025 මැයි 06 වැනිදා
නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (පැෆ්රල් සංවිධානය)

2025 අප්‍රේල් 21

පසුබිම

ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කරගත් පළාත් පාලන ආයතනවන මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට අදාළ පළාත් පාලන ඡන්ද විමසීම මෙවර පැවැත්වෙන්නේ වසර හතකට පසුවය. 2025 වසරේ මැයි මස 06 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙරට 17 වැනි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමයි.

සාමාන්‍යයෙන් වසර 04 කට වරක් පැවැත්විය යුතු වන පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වරට පවත්වන ලද්දේ 2018 වසරේදීය. ඒ අනුව, ඊළඟට පැවැත්විය යුතුව තිබුණේ 2022 වසරේදී වුවද, එවකට පළාත් පාලන අමාත්‍යවරයා වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් පළාත් පාලන පනත යටතේ අමාත්‍යවරයාට ඇති බලතල භාවිතා කරමින් 2022 ජනවාරි මස 10 වන දින සිට වසරක් කාලයක් සඳහා පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලදී. අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023.01.30 වැනි දින ගැසට් නිවේදනය නිකුත් කළඅතර, පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම 2023 වසරේදී මාර්තු 09 වැනි දින පැවැත්වීමට තීරණය කරන ලද බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවවිසින් නිවේදන කරන ලදී. ඒ සඳහා අපේක්ෂකයින් 80,672ක්ද, පිළිගත් දේශපාලන පක්ෂ 59ක්ද, ස්වාධීන කණ්ඩායම් 329ක්ද තරග කිරීමට ඉදිරිපත් විය. එමෙන්ම, තැපැල් ඡන්ද දායකයින් 676,873ක්ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කරන ලදී.

මැතිවරණය නාම යෝජනා කැඳවනු ලැබුවද, පැවති රජය මගින් ඡන්ද විමසීම කල් දැමීම සඳහා විවිධ උපාය උපක්‍රම ගණනාවක් භාවිතා කරන ලදී. විශේෂයෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කිරීම අවසන් අදියරේ පවතිද්දී,රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් අනපේක්ෂිත අයුරින් 2023.02.23 දින පවසා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මුදා හැරීමට කටයුතු නොකරන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කල නොහැකි බවයි. ඒ අනුව 2023.03.09 වන දින පැවැත්වීමට තිබූ ඡන්ද විමසීම 2023.04.25 වැනි දිනට කල් තැබූ බව 2023.03.07 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරන ලදී. කෙසේ නමුත්, මැතිවරණ කොමිෂන් සභාව නැවත වරක් 2023.04.11 වන දින ප්‍රකාශ කරන ලද්දේ 2023.04.25 වන දිනටද ඡන්ද විමසීම පැවැත්වීමට අවකාශයක් නොලැබෙනු ඇති බවයි.

අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹීම

ඡන්ද විමසීම කල්දැමීමට අවස්ථා කිහිපයකදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකර ගොනු කර තිබුණි. ඒ අතර, පළාත් පාලන ඡන්ද විමසීම සිදු නොකරන ලෙස ඉල්ලා කර්නල් ආර්.එම්. විජේසුන්දර නැමැති අය ගොනුකළ පෙත්සම (SC writ Application 1/23)සඳහා පැෆ්රල් සංවිධානය අතරමැදි පාර්ශ්වයක් ලෙස එක්විය.එමෙන්ම මෙම ඡන්ද විමසීම කල් දැමීමට අවස්ථා 30කට වැඩි ප්‍රමාණයක් විවිධ උත්සාහයන් දරන ලදී. එනයින් බලන කළ මෑත කාලීන මැතිවරණ ඉතිහාසය විමසා බැලීමේදී ඡන්ද විමසීමක් කල් දැමීමට මෙතරම් පරිශ්‍රමයක් දැරූ මැතිවරණයක් නැතිතරම්ය. කෙසේ වුවද, අවසානයේදී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් ලබා නොදීම නිසා ඡන්ද විමසීම කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය.

2023 මාර්තු මස 09 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දිගින් දිගටම කල් දැමීමට එරෙහිව පැෆ්රල් සංවිධානය, ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය SE/FR/139/2023 යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර,පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා සිටියේ නියමිත පරිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමනොපැවැත්වීම නිසා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුරුදු ප්‍රනාන්දු, ගාමීණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන ගරු විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ අතර, 2024 අගෝස්තු 22 වැනි දින තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ, නිසි කලට ඡන්දය නොපැවැත්වීම තුළින් ජනතා පරමාධිපත්‍ය මෙන්ම සර්වජන ඡන්ද අයිතියද උල්ලංඝනයවන බවත්, නිසි කලට නියමිත පරිදීපැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බවත්, එම බලතල ක්‍රියාවේ යොදවා අදාල ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) යන ව්‍යවස්ථාවල සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවත්ය. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව තමන්ට පැවරී ඇති බලතලවලට අනුව අවශ්‍ය රජයේ ආයතන වල සහාය ලබාගනිමින් හැකි ඉක්මණින් මැතිවරණය පැවැත්විය යුතු බවට නියෝග කරන ලදී. එමෙන්ම, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට දායක වී ඇති බවද, නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කරන ලදී.මෙහිදී, පැමිණිලි පාර්ශ්වයට රු.150,000 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසද නියෝග කරන ලදී.

නාමයෝජනා අහෝසි කිරීම

2023 වර්ෂයේ පැවැත්වීමට තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවනු ලැබූ නාමයෝජනා ආපසු කැඳවීම පිණිස,ලැබුණු නාමයෝජනා අවලංගු කර, නව නාමයෝජනා කැඳවීම සඳහා විශේෂ පනත් කෙටුම්පතක් සකස් කර නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා යොමු කිරීමට 2024 දෙසැම්බර් 31 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 01 වැනි දින ගැසට් කළ අතර, 2025 ජනවාරි 09 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

අනතුරුව,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් ඇතුළු පාර්ශ්ව විසින් පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලද අතර,ශ්‍රේෂ්ඨාධිකරණය 2025 ජනවාරි 27 වැනිදා පෙත්සම් විභාගය අවසන් කරමින් එහි තීන්දුව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කරන ලදී. 2025 පෙබරවාරි 14 වැනිදා, කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබූ අතර, ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය බලාත්මක කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍යවන බවත් දක්වා ඇතැයි සඳහන් වී ඇති බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 පෙබරවාරි 17 වැනිදා විවාදයට ගෙන සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් සම්මත වූ අතර, එදිනම කථානායක ජගත් වික්‍රමරත්න පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර, මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක විය.

නාමයෝජනා කැඳවීම

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුකූලව, වත්මන් රජය ඊට අදාළ විශේෂ විධි විධාන පනත සම්මත කරගැනීමත්, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය අරමුදල් නිකුත් කිරීමත් සමග, මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය 2025.02.17 වැනි දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව පළාත් පාලන ආයතන 336ක නව වාරය 2025 ජූනි 02 වැනිදා සිට ආරම්භ කළ යුතු බව සඳහන් කරමින්, රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා අතිවිශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී. අදාළ පළාත් පාලන ආයතන 336, මහා නගර සභා 28ක්, නගර සභා 36ක්, සහ ප්‍රාදේශීය සභා 272කින් සමන්විත වේ. මේවන විට,ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්ද විමසීම පවත්වා ඇති අතර, සීමා නීර්ණය සම්බන්ධයෙන් නෛතික පියවරයන් සඳහා යොමු වීම හේතුවෙන් කල්මුණේ මහා නගර සභාව යන පළාත් පාලන ආයතන දෙක හැර, සෙසු පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

නමුත්, 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් පැවති නඩුකර03ක් හේතුවෙන්,දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, සහ කිලිනොච්චිය පූනාකරි ප්‍රාදේශීය සභාව යන ආයතන තුන සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය මාර්තු 03 වැනි දින සිදුනොකරන ලදී.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ගරු අධිකරණයට මේ සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව, එම නඩු ඉවත්කරගෙන, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව සහ කිලිනොච්චිය පූනාකරි ප්‍රාදේශීය සභාව සඳහාත් නැවත පසුගිය මාර්තු 10 වන දින නාමයෝජනා කැඳවීම සිදුකරන ලදී.මෙම පළාත් පාලන ආයතන සඳහා 2025.03.24 දින සිට 2025.03.27 දින මධ්‍යහ්න 12 දක්වා නාම යෝජනා භාර ගන්නා බව නිවේදනය කරන ලදී.

ඡන්ද විමසීම සඳහා බිලියන 11 ක වියදම් ඇස්තමේන්තුවක්

2025 මැයි 06 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා බිලියන 11 කට ආසන්න මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත.

කාන්තා හා තරුණ කෝටාව

2017 අංක 16 දරන පළාත් පාලන ආයතන සංශෝධන පනත ප්‍රකාරව, කාන්තාවන් සඳහා වෙන් කර ඇති කෝටාව වෙනුවෙන් සෑම පළාත් පාලන ආයතනයකදීම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, සිය තරග කරන ලැයිස්තුවට තරග කරන ප්‍රමාණයෙන් 10% කාන්තාවන් ඇතුලත් කළ යුතු අතර, දෙවන ලැයිස්තුව සඳහා අපේක්ෂක ලැයිස්තුවෙන් 50% ක ප්‍රමාණයක් කාන්තාවන් ඇතුලත් කළ යුතුය. තරුණ කෝටාව 2012 පළාත් පාලන සංශෝධනයෙන් ඉවත්ව තිබූ අතර, එය නැවත වරක් 2023 අංක 30 දරන පනත මගින් නැවත හඳූන්වාදෙනු ලැබූ අතර, එය නාමයෝජනා සඳහා පමණක් වන කෝටාවක් වීම විශේෂත්වයකි.

එසේවූවත්, නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී අදාළ පළාත් පාලන ආයතන සඳහාඉදිරිපත් කරනු ලබන නාමයෝජනාවලින්, වයස අවුරුදු 18ත් 35ත් අතර වයස් කාණ්ඩයෙන් 25%ක් ඇතුලත් කිරීම අනිවාර්යය අවශ්‍යතාවයකි. මෙවර තරුණ නියෝජනයට අදාළවයස සලකා බැලීමේදී අවුරුදු 18, 2024 පෙබරවාරි 02 වැනි දිනට නම් මෙවර මැතිවරණය සඳහා භාවිතා කරන ඡන්ද නාමලේඛනය සකස් කිරීම ආරම්භවන දිනය හා වයස 35 සලකා බැලනූයේ නාමයෝජනා භාරගැනීමට අවසන් වූ 2025 මාර්තු 20 වන දිනයට වේ.

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම ඉහළට

2025.05.06 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මාර්තු 20 වන දින මධ්‍යහන 12.00 වන විට පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 75කට වැඩි ප්‍රමාණයක් ද ඒ අනුව මුළු නාමයෝජනා පත්‍ර 2914 ක් භාර දෙන ලදී. කෙසේ නමුත්, එකී නාමයෝජනා පත්‍ර අතුරින් නාමයෝජනා පත්‍ර 427 ක් ප්‍රතික්ෂේප විය. එය සමස්ථ නාමයෝජනා ප්‍රමාණයෙන් 14% කි.

2023 වර්ෂයට සාපේක්ෂව එය ඉතා ඉහළ අගයකි. 2023 වර්ෂයේ දේශපාලන පක්ෂ නාමයෝජනා 115 ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වූ අතර ස්වාධීන කණ්ඩායම්වල 49 ප්‍රමාණයක් ප්‍රතික්ෂේප විය. නාමයෝජනා භාරගත් පළාත් පාලන ආයතන 339 යෙන් එක නාමයෝජනා පත්‍රයක් හෝ ප්‍රතික්ෂේප වී නැත්තේ ආයතන 114 කි. එනම් 33% පමණි. පළාත් පාලන ආයතන වලින් 66% කම එක් නාමයෝජනා පත්‍රයක් හෝ ප්‍රතික්ෂේප වී ඇත. මෙය බරපතල ලෙස අවධානය යොමු කලයුතු කරුණකි. මැතිවරණය ප්‍රකාශයට පත්වීමට පෙරම පැෆ්රල් සංවිධානය මෙම අවධානම හඳුනාගත් අතර නාමයෝජනා ප්‍රතික්ෂේප නොවී භාර දෙන ආකාරය පිළිබඳ ලේඛනයක් සැකසූ අතර, එය දේශාපලන පක්ෂ වෙත යොමුකලද එයට අඩු අවධානයක් ලබාදීම කණගාටුවට කරුණකි. නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට බලපෑ කරුණු ගණනාවකි.

  1. නියමිත වේලාව තුළ භාර නොදීම.
  2. තරුණ කෝටාව සම්පූර්ණ නොවීම.
  3. කාන්තා කෝටාව සම්පූර්ණ නොවීම.
  4. මැතිවරණ කොමිසම සඳහන් කල පරිදී උප්පැන්න සහතික පිටපතක් සහතික නොවීම.
  5. දිව්රුම් ප්‍රකාශ භාර නොදීම.
  6. පක්ෂ ලේකම්වරුන්ගේ අත්සන් සහතික නොකිරීම.
  7. තරුණ කාන්තා කෝටාව සඳහන් කිරීමේදී අදාල කොටුව තුල නියමිත සලකුණු සටහන් නොකිරීම හෝ වැරදි කොටුවක් සටහන් කිරීම.

මෙම තත්ත්වය ඇති වීමට බලපෑ හේතු රාශියක් දේශපාල පක්ෂ හා මැතිවරණ කොමිෂන් සභාව අතර සන්නිවේදන ගැටලු, පනත් නිවැරදිව කියවා ගැනීමට අසමත් වීම, නොසැළිකිලිමත්භාවය, අපේක්ෂක ලැයිස්තු කඩිනමින් අවසන් කිරීමට පක්ෂ අපොහොසත් වීම, අවසන් මොහොතේ භාර දීම, පරීක්ෂා කිරීමට දේශපාලන පක්ෂවලට නොහැකි වීම, නීතිමය රාමූ තුළ ඇති සංකීර්ණභාවය/නොපැහැදිලිතාවයන් වැනි හේතු බලපෑ ඇති අතර ඉදිරියේදී මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ පිළිබඳව විදිමත්ව අධ්‍යයනය කර, සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව පැෆ්රල් සංවිධානය දැනටමත් මැතිවරණ කොමිෂන් සභාව සමග මූලික සාකච්ඡා පවත්වා ඇති අතර, මැතිවරණය අවසන් වූ වහාම මැතිවරණ කොමිෂන් සභාවේ මගපෙන්වීම සහිතව දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

මේ වන විට නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට අදාල නඩුකර208 ගොනුකර ඇති අතර අධිකරණය මගින් පෙත්සම් 80 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර ඇත. එක් පෙත්සමක් ඉල්ලා අස්කරගෙන ඇත. ඒ යටතේ තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා පත්‍ර 128 භාරගැනීමට අධිකරණය නියෝග කරන ලදී. ඊට අමතරව පෙත්සම් 04 කට එකඟතාවය ඇති කරගන්නා ලදී. 2025.04.19 දින වන විට පොදුවේ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර ප්‍රමාණයෙන් 132 භාර ගැනීමට කටයුතු කර ඇති අතර 2025.04.21 වන දින යෙදී තිබූ නඩු 60 අධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමග පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම මැයි මස 06 වන දින පැවැත්වීමේ හැකියාව ලැබී ඇත. එම අසීරු කාර්යය කළමණාකරණය කරගැනීමට හැකි වූ මැතිවරණ කොමිෂන් සභාවට අපගේ ස්තූතිය හිමි විය යුතුය.

තැපැල් ඡන්ද

මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුවන් 663,499 ක් තැපැල් ඡන්ද අයදුම්පත් යොමුකරන ලදී. නමුත් එකී ප්‍රමාණයෙන් 15,010 ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිවනුයේ 648490 ප්‍රමාණයකි.

කෙසේ නමුත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දින ලෙස මුල් අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කරන ලද්දේ අප්‍රේල් 22,23,24,28 සහ 29 යන දිනයන්ය. නමුත් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා අධිකරණයේ පිහිට පැතූ දේශපාලන පක්ෂ වල සහ ස්වාධීන කණ්ඩායම් වල නාමයෝජනා භාරගන්නා ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු ඡන්ද විමසීම අත්හිටුවන ලද පළාත් පාලන ආයතන වලද තැපැල් ඡන්ද ක්‍රියාවලියට අවතීර්ණ කර ගැනීමේ අරමුණින් ඉහත සඳහන් කර ඇති දින වකවානු ඉදිරියට ගෙන යමින් 2025.04.17 වන දින නව ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන ලදී. ඒ අනුව තැපැල් ඡන්ද විමසීමේ දින ලෙස සඳහන් වන්නේ අප්‍රේල් 24,25,28 සහ 29 යන දිනයන්ය. මේ දිනවල මහනුවර දළදා ප්‍රදර්ශනයද පැවැත්වෙන බැවින්, එකී ආරක්ෂක රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති පොලිස් හා හමදා නිලධාරීන් වෙනුවෙන් 24,25,28 සහ 29 යන දින හතර පුරා ක්‍රියාත්මක වන විශේෂ ඡන්ද මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කොට ඇත. ඒ මහනුවර උසස් බාලිකා විද්‍යාලය හා 2 වන ශ්‍රී ලංකා ස්වේච්ඡා සිංහ රෙජිමේන්තු කඳවුර මුල්කරගෙනය. මෙම විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 2 නිරීක්ෂණය කිරීම සඳහා පැෆ්රල් සංවිධානය මගින් පලපුරුදු නිරීක්ෂකයින් කණ්ඩායමක් යෙදවීමට සැලසුම්කර ඇති අතර තෝරාගත් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 200 සඳහා පැෆ්රල් නිරීක්ෂකයන් යෙදවීමට සැලසුම් කර ඇත.

පැෆ්රල් සූදානම

නාමයෝජනා ආරම්භ කල දිනයේ සිට පැෆ්රල් සංවිධානය නිරීක්ෂණ කටයුතු ආරම්භ කල අතර සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි දිගු කාලීන නිරීක්ෂකයින් 160 දෙනෙකු සිය නිරීක්ෂණ කටයුතු කරගෙන යනු ලබයි. එමෙන්ම තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා 200 දෙනෙකුද ඡන්ද දිනය ඉලක්ක කරගෙන 3000 ක ප්‍රමාණයක්ද ජංගම නිරීක්ෂණ රථ 200 ප්‍රමාණයක්ද යෙදවීමට සැලසුම් කර ඇත. මේ සඳහා දායක වන පිරිස් ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන බව ඔවුනට කරනු ලබන ගෞරවයක් වශයෙන් සටහන් කල යුතුව ඇත.

ඊට අමතර දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සහ දිස්ත්‍රික් කාර්යාල වල ක්‍රියාත්මක වන අතර ප්‍රධාන කාර්යාලයේ විශේෂ පැමිණිලි ඒකකයන් ක්‍රියාත්මක වේ. ඒ අනුව සෑම පළාතක් සඳහාම පැමිණිලි සඳහා වෙනම දුරකථන අංකයන් වෙන් කර ඇත.

0704429625-බස්නාහිර පළාත
0704429269-මධ්‍යම පළාත
0704428487-දකුණු පළාත
0702633562-සබරගමුව පළාත
0702633259-වයඹ පළාත
0702633038-උතුරු මැද පළාත
0702632759-ඌව පළාත
0702632536-නැගනහිර පළාත
0712577096-උතුරු පළාත

කාන්තාවන් හා තරුණයන් සඳහා පැය 24 පූරාම ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක්

පළාත් පාලන මැතිවරණය සඳහා කාන්තා හා තරුණ අපේක්ෂකයින් තිස් දහසකට වැඩි පිරිසක් ඉදිරිපත් වී ඇති බැවින් හා ඔවුන් මුහුණදෙන ගැටලු සඳහා කඩිනමින් මැදිහත් වීම සඳහා 0702630614 යනදුරකථන අංකය හඳුන්වා දී ඇත.

සමාජ මාධ්‍ය නිරීක්ෂණය

අවසන් වරට පැවති මැතිවරණ සියල්ලේදීම සිදුකලාක් මෙන් පැෆ්රල් සංවිධානය, හෑෂ්ටැග් පරපුර ආයතනය සමග එක්ව මෙවරද සමාජ මාධ්‍ය නිරීක්ෂණ ක්‍රියාවලිය සිදුකරන අතර, සමාජ මාධ්‍ය භාවිත කර සිදුකරනු ලබන මැතිවරණයට බාධාකාරී වන පලකිරීම් මැතිවරණ කොමිෂන් සභාව හරහා අදාල සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකිරීමට කටයුතු සම්පාදනය කර ඇත.එහිදී වැරදි තොරතුරු පුද්ගලයන් නොමග යවන ආකාරයේ තොරතුරු නිරීක්ෂණයට ලක් කෙරේ.

ඊට අමරව දිස්ත්‍රික්කයට අවම වශයෙන් එක් අයෙකු හෝ යෙදවෙන ආකාරයට සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා පැෆ්රල් සංවිධානය දිස්ත්‍රික් 25 සඳහා 30 දෙනෙකු පත්කර ඇත.

අපේක්ෂක වියදම් සීමා කිරීම

දශක දෙකකට පමණ පෙර සිට සමාජය විසින් ඉල්ලා සිටි සමබිමක මැතිවරණය පැවැත්විය යුතු බවට වන සංවාදය නෛතික තලයට ගෙන එමින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වීම ලාංකීය දේශපාලන කතිකාවතේ හැරවුම් ලක්ෂයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීද මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වූ අතර, මේ වන විටත් 2024 සැප්තැම්බර් 21 වන දින පවත්වන ලද ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්ථා ලබානොදුන් අපේක්ෂකයින් 13 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමුවී ඇත. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 71000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති අතර, ඡන්ද විමසීම අවසන් වී නිසි කාල රාමුව තුල අදායම් වියදම් වාර්තා නිවැරදිව ලබාදීම එකී අපේක්ෂකයින්ගේ සහ දේශපාලන පක්ෂ වල මෙන්ම ස්වාධීන කණ්ඩායම් වලද වගකීමක් බව සිහිපත්දිකරමු.

තම ආදායම් වාර්තා ලබාදීමේදී ආධාර ලබාදුන් පුද්ගලයා හෝ ආයතනයේ නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, මුදල හෝ වෙළඳ පල වටිනාකම එකී වාර්ථාවට ඇතුලත් කළ යුතුය. වියදම් වාර්තාවේදී අපේක්ෂකයාගේ ප්‍රවාහන වියදම් හා සන්නිවේදන වියදම් හැර සෙසු සියලු වියදම් පැහැදිලිව ඊට ඇතුලත් කළ යුතුය.

මැතිවරණ පැමිණිලි

නාමයෝජනා භාරගැනීම ආරම්භ කළ 2025 මාර්තු 20 වැනි දින සිට අප්‍රේල් 21 වැනි දක්වා කාලය තුල පැෆ්රල් සංවිධානයට සිදුවීම් 305ක් වාර්තා වී ඇත. මෙයින් 219 ක් තහවුරු වී ඇති අතර, 86 ක් තහවුරු වී නොමැත. මැතිවරණ නීති උල්ලංඝනය වීම්260 ක් වාර්තාවන අතර, එයින් 190ක් තහවුරු වී ඇති අතර,70 ක් තහවුරු වී නොමැත.

දේශපාලන අරමුණු ඇතිව සංග්‍රහ කිරීමේ සිද්ධීන් 36ක් මෙම කාලය තුල වාර්තාවී ඇති අතර, ඉන් 19ක් තහවුරුකොට ගෙන ඇත. මෙමගින් පැමිණිලි 07ක් ආණ්ඩුවේ අපේක්ෂකයන්ට එරෙහිවවන අතර, 12ක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට එරෙහිවය. මේ අතරින් වියළි සලාක බෙදීම, සුවඳ විලවුන්, කෘෂි උපකරණ, පැළ වර්ග බෙදාදීම, ආධාර සඳහා අයදුම් පත්‍ර බෙදීම මෙන්ම සිංහල හින්දු අවුරුදු උත්සවවලට ආධාර කිරීමද ඇතුළත් වේ.

වාර්තා වූ පැමිණිලි අතරින්, ප්‍රචණ්ඩ ක්‍රියා 17 තහවුරු වී ඇති අතර, ඒ අතරින් පහරදීම් 04ක්, බෝම්බ ප්‍රහාර 01ක්, නිශ්චල දේපල වලට හානි කිරීම්, තර්ජනය කිරීම් හා බියවැද්දවීම් 07ක්, දේශපාලන පක්ෂ කාර්යාලවලට පහරදීම් 05ක් වාර්තා වේ. මෙම පහරදීම් අතර, කෑගල්ල දිස්ත්‍රික්යේ, දැරණියල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ අපේකෂක මහින්දර්මේ රත්න මහතාට පහරදීම සහ සමන්තුරේ ප්‍රදේශයේදී දේශපාලන රැස්වීමක් අතරතුර ඇති වූ ගැටුමෙන් දෙදෙනෙකු රෝහල් ගත වීමද ඇතුළත් වේ.

රාජ්‍ය බලය, දේපළ සහ නිලධාරීන් අවභාවිතාව පිළබඳව පැමිණිලි 27ක් වාර්ථා වී ඇති අතර, ඉන් 12 ක් තහවුරු වී ඇත. ඒ යටතේ රජයේ සහනාධාර දීමනා දේශපාලන අර්ථයෙන් ලබාදීම, රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම හා රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘතීන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා භාවිතා කිරීම් වේ. එහෙත් සිදුවීම් වල ස්වභාවය හා ප්‍රමාණය සැසඳීමේදී එය එතරම් බරපතල තත්ත්වයක් ලෙස නිරීක්ෂණය නොවේ. කෙසේවුවද, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහා පොදුවේ ඡන්දදායකයාටවන බලපෑම නොසළකා හැරිය නොහැක. එහෙත් එය පෙර පැවති මැතිවරණවලදී රාජ්‍ය බලය හා දේපළ අවභාවිතාව සැලකීමේදී තවමත් යහපත් තත්ත්වයකි.

මැතිවරණ පැමිණිලි සාරාංශය

leave a reply