Breaking News

වසංගතය අස්සෙ අප්‍රිකානු කාන්තාවන්ට නව බලාපොරොත්තුවක්

කොරෝනා වසංගතය හේතුවෙන් මුලු ලෝකයම බියපත්ව සිටින මොහොතක අප්‍රිකානු මහාද්වීපය පැත්තෙන් සතුටුදායක පුවතක් වාර්තා වෙනවා. සුඩානය කාන්තාවන්ට අංග විඡේදනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරමින් නව නීතියක් හඳුන්වා දීමට සූදානම් වෙනවා. මේ නීතිය අනුව අංග විඡේදනයක් කිරීම වසර 3ක සිර දඬුවම් හිමිවන වරදක්. මෙය  සුඩානයේ පාලන බලය මෙහෙයවමින් සිටින පාලක  කවුන්සිලයේ  අනුමත කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙනවා. සුඩාන  කාන්තා ක්‍රියාකාරීන්ගේ අදහස වන්නේ මේ සඳහා අනුමැතිය හිමිවෙනු ඇති බවයි.

එක්සත් ජාතින්ගේ වාර්තා ඉදිරිපත් කරන ආකාරයට සුඩානය තුළ වයස අවුරුදු 14ත් 49ත් අතර කාන්තාවන් සියයට 87ක් මෙම ම්ලේච්ඡ ක්‍රියාකාරකමට ගොදුරු වෙනවා.

එසේම එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙන පරිදි ලෝකයේ රටවල් 31ක මිලියන 200ක් පමණ කාන්තාවන් මෙම කෘර වධ හිංසාවට ගොදුරු වෙනවා. නමුත් එම වාර්තාවම  පෙන්වා දෙන පරිදි මෙම ගණන ඊට වඩා බොහෝ වැඩිවිය හැකියි. එම රටවල 31 අතරින් 27ක් ම අප්‍රිකානු රටවල්.

අංග විඡේදනයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ පිටතින  පිහිටා තිබෙන භගමණිය (clitoris) සහ වෙනත් කොටස් කපා ඉවත් කිරීම සිදුවෙනවා. මෙම කපා දැමීම නිසා බොහෝ විට කාන්තාවන්ට   මුත්‍ර ආසාදන, ගර්භාෂ ආසාදන, වකුගඩු ආසාදන, ගෙඩි, ප්‍රජනන ගැටළු සහ ලිංගිකව එක්වීමේදී වේදනාව ඇති වීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා.

මෙය සිදුකරනු ලබන්නේ ගැහැනු ළමයින්ගේ අනාගත විවාහ අපේක්ෂාවන් සඳහා එය අත්‍යවශ්‍ය යැයි පැතිර ඇති සංස්කෘතික විශ්වාසයක් නිසාවෙනුයි.

සුඩානය තුළ දිගු කාලයක් පුරා අංග විච්ඡේදනය තහනම් කරන ලෙස ඉල්ලමින් විරෝධතා පැවතියත් වසර ගණනාවක් එරට පාලනයේ සිටි ඕමාර් අල් බෂීර් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඔහු මිට අමතරව කාන්තාවන්ට කලිසම් ඇඳීමද තහනම් කොට තිබුණා. මේ හේතු නිසාම ඔහුව පාලන බලයෙන් නෙරපා හැරීම සඳහා සුඩාන කාන්තාවන් මූලිකත්වය ගනු ලැබුවා.

අංග විඡේදනය සුඩානය ඇතුලු බොහෝ අප්‍රිකානු රටවල සංස්කෘතික අංගයක් බවට පත්ව ඇති නිසා නව නීතිය හරහා මෙය සම්පූර්ණයෙන්   නැවත්වීමට බොහෝ කාලයක් ගතවෙනු ඇති. නමුත් මේ වෙනුවෙන් අරගල කළ සුඩාන කාන්තා ක්‍රියාකාරීන්ගේ අදහස වන්නේ මෙය හොඳ ආරම්භයක් බවයි.

leave a reply