Breaking News

රාජපක්ෂ පාලනය විසින් ලලිත් -කුගන් අතුරුදහන් කරල දැනට අවුරුදු 15 කට ආසන්නයි.

2011 දෙසැම්බර්10 ලෝක මානව හිමිකම් දිනය දවසේ යාපනයේ පැවැත්වීමට සැලසුම් කර තිබු මාධ්‍ය සාකච්ඡාව සංවිධාන කටයුතු බාර වුනේ ලලිත්ට.ඊට පෙර දින සවස සංවිධාන වැඩ වලට ලලිත් කුමාර් ,කුගන් සමග යාපනයට ගියා. දෙසැම්බර් 09 රෑ ආණ්ඩුවේ ආරක්ෂක අංශ සාමාජිකයන් ලලිත් සහ කුගන් පැහැර ගත්තා.ඒ ගැන දනටමත් අනාවරණය කර ගත් තොරතුරු රැසක් තිබෙනවා.

80 දශකයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීත්වය නැවතත් උතුරට ගෙන යාමේදී ලලිත් ඉතාම තීරණාත්මක වගේම විශාල කාර්‍ය්යක් කලා.ඔහු ඒ සදහා ක්‍රියාකාරීන් එකතු කරද්දි තමයි ඔහුට කුගන් හමුවෙන්නෙ.

ලලිත්ගේ දේශපාලන මැදිහත් වීම 2009 මැයි යුද්ධය අවසන් වූ පසු සුවිශේෂී වුණා.ඔහු උතුරේ අවතැන් වූවන් ,අතුරුදහන් වූවන්,බන්ධනාගාරගත කර සිටි දේශපාලන සිරකරුවන් වෙනුවෙන් මැදිහත් වෙමින් අරගල කලා. උතුරේ ජනතාවගෙ අයිවාසිකම් වගේම රටේ පොදු ජනතා අරගලයෙත් ඔහු පෙරමුණු කාර්‍යභාරයක් ඉටු කලා.යුද්දය අවසන් වු පසු උතුරු -දකුණු ජනතාව අතර පාලමක් වගේ ලලිත් වැඩ කලේ.මේක රාජපක්ෂගෙ පාලනය ඉවසුවේ නැහැ. අවශ්ථා කිහිපයකදී යුද හමුදාව ලලිත් ට පහර දුන්නා;

බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස රදවා ගත්තා.එක් අවශ්ථාවකදී සුනිල් හදුන්නෙත්ති සහෝදරයා සමග යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසේ සාකච්ඡාවක් කරමින් සිටියදී යුද හමුදා සාමාජිකයන් ලලිත් සහ හදුන් ට පහර දුන්නා.

ශරීරයෙන් කුඩා මිනිසෙක් වුවත් ලලිත් කුමාර් වීරරාජ් කියන්නෙ විසල් හදවතක් තිබෙන මිනිසෙක්. මට ඔහු සමග ලග ඇසුරක් කරන්න ලැබුණේ ජ.වි.පෙ .ඛණ්ඩනයෙන් පසුව. කුගන් කවදාවත් මට හමු වෙලා නෑ.නමුත් ඔහු සටන්කාමී ජවයක් තිබූ දිරියවන්ත තරුණයෙක් බව අහල තිබෙනවා.කුගන් මට හමු වෙන්න නියමිතව තිබුණේ දෙසැම්බර් 10 මාධ්‍ය හමුවෙදි.ඔහු ලලිත් සමග කිසිදු බියක් නැතිව මරණ තර්ජන නොතකා යාපනයේ දේශපාලනය කලා.

2011 දෙසැම්බර් 07 මට ලලිත් අන්තිමට හමු වුණේ.එදා ලලිත් , අපේ කණ්ඩායමට වව්නියාවේ යුද්ධයෙන් අවතැන් වූ මිනිස්සුන්ගේ ඛේදවාචකය දෑසින් බලන්න සැලැස්සුවා.ඒ මිනිස්සු ගැන ලලිත්ගෙ තිබූ මානව ප්‍රේමය ඔහුගේ ඇස් වල තිබුණා.එදා යුද හමුදා නිලධාරීන් මටත් ලලිත් ඇතුළු පිරිසටත් මැණික්ෆාම් කදවුරට ඇතුල් වෙන්න දුන්නෙ නැහැ.එතන විශාල විරෝධතාවයක් කරල අපි කොළඹ බලා පිටත් වුණා.ලලිත් වව්නියාවේ නැවතුනා දෙසැම්බර් 10 මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කරන්න.ඒ වැඩේ සංවිධානය කරමින් සිටියදී ලලිත් සහ කුගන් පැහැරගත්තා.

ඒ පැහැර ගැනීම කලේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය ගේ අනු දැනුම මත ආරක්ෂක අංශ සාමාජිකයන් බව දැනට තිබෙන තොරතුරු අනුව ඉතා පැහැදිලියි.එවකට රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල 2011 දෙසැම්බර් 15 දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලා ලලිත් සහ කුගන් පැහැරගෙන නෑ,අත්අඩංගුවේ ඉන්නවා කියල

ලලිත් කුමාර්,කුගන් මුරුගානන්දන් වගේම රාජපක්ෂගේ පාලන කාලය තුල තවත් බොහෝ පිරිසක් මරා දැම්මා,අතුරුදහන් කලා.පසුගිය ජනතා අරගලය පැන නැගුනේ මේ සියලු ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව.

වර්තමාන ආණ්ඩුව යනු ජනතා අරගලයේ එක් ප්‍රකාශනයක්.ජනතාව මේ ආණ්ඩුව හරහා මහින්ද -ගෝඨා – රනිල් ඇතුළු පසුගිය පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරීත්වයට එරෙහිව පරීක්ෂණ සහ දඩුවම් බලාපොරොත්තුවෙන් බලා සිටිනවා .

ඒ අතරෙදි නව රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලලිත්- කුගන් අතුරුදහන් කිරීම පිලිබදව නැවතත් පරීක්ෂණ ආරම්භ කිරීමට නියෝග කිරීම සාධනීය පියවරක්.

2011 දෙසැම්බර් 10 එම අතුරුදහන් කිරීම පිලිබදව යාපනය පොලිසියට පැමිණිලි කල මුල් පැමිණිලිකරු ලෙසයි ජුලි 18 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට මා සහභාගී වූයේ.

එම පරීක්ෂණ පිලිබදව සුබවාදී බලාපොරොත්තුවක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි.

සියලු අතුරුදහන් කිරීම් පැහැරගැනීම් සහ ඝාතන වලට එරෙහිව යුක්තිය වෙනුවෙන් පෙල ගැසෙමු.

අජිත් කුමාර

leave a reply