Breaking News

විශ්ව විද්‍යාල සහ පාසල් ඉක්මනින් විවෘත කරන්න ආණ්ඩුවට ඇති තදියම මොකක්ද? – අන්තරෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්

සෞඛ්‍ය අංශ මැයි මස මුල් සති කිහිපය යනතුරුත් වසංගතයේ අනතුර පහව නොයනු ඇති බවට අනතුරු අඟවා තිබියදීත් ආණ්ඩුව කඩිමුඩියේ පාසල් සහ විශ්ව විද්‍යාල මැයි 11 විවෘත කිරීමට සැරසෙන්නේ කුමන පදනමකින්ද යන්න අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රශ්න කර සිටියි. එම සංවිධානය විසින් අධ්‍යාපන ඇමතිවරයාට ලිපියක් යොමුකරමින් මේ බව පවසා තිබේ. එසේම සමාජයේ පහත මාලයේ ජනතාව කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති තත්ත්වය හමුවේ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියදී විශ්වවිද්‍යාල, පාසල් විවෘත කිරීමට කඩිමුඩියේ දින යොදාගනිමින් ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ජනතාව මුහුණ දෙන එවන් ආර්ථික හා සමාජීය ගැටලු සඳහා කිසිඳු විසඳුමක් නොදෙන අතරතුර බවද අ.වි.ශි.බ.ම සඳහන් කර ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන ඇමතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.


බන්දුල ගුණවර්ධන මහතා,
උසස් අධ්‍යාපන අමාත්‍ය,
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,
වොර්ඞ් පෙදෙස,
කොළඹ 07.
2020/04/14

ඇමතිතුමනි,
පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධවයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන බවට රජය විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව මැයි මස 11 දින පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා නැවත විවෘත වේ. පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ මඟහැරී ඇති අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කඩිනමින් විධිමත් වැඩපිළිවෙළක් සැකසීම කළ යුතුය. ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා තිබුණ ද එහි නියෝජිත සංයුතිය හා අරමුණු අතර පැහැදිලි පරස්පරයක් ඇත. ඒ පිළිබඳව අප්‍රේල් මස 11 දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අප විරෝධය ප්‍රකාශ කළ අතර එහි පිටපතක් ඔබ වෙතද යොමු කර ඇත. ඒ අනුව තවමත් ඒ සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් රජයට නැත. මැයි මස 11 දින පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සඳහා තීරණය කරන්නේ ඒ අතරතුරය.

අප්‍රේල් 20 දින වනවිට කොරෝනා වසංගත තත්ත්වය පහව යනු ඇතැයි රජය විසින් නිශ්චිත නිගමනයකට එළඹ තිබේ. සෞඛ්‍ය ඇමතිණිය විසින් අවස්ථා කිහිපයකදීම එය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී. නමුත් ඒ පිළිබඳව රජයේ පුරෝකථනය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහස් අහසට පොළොව සේ පරස්පරය. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර මාර්තු 20 දින සිට අප්‍රේල් 20 දින වන විට මාසයක කාලයක් ඉකුත් වෙයි. එසේ සමාජ දුරස්ථභාවය ඇති කිරීම තුළින් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය කෙතරම් දුරට පාලනය වී ඇතිද යන්න පිළිබඳ සාපේක්ෂ අදහසකට එළඹිය හැකි වන්නේ අප්‍රේල් 20 දිනයෙන් පසුවය. සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව අප්‍රේල් අග සහ මැයි මුල සති කිහිපය ගතවන තුරුම අවදානම් තත්ත්වය පහව යන්නේ නැත. වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් ද එපරිදිය. වසංගත තත්ත්වය පහව යන බවට පුරෝකථනය කොට පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට ආණ්ඩුව හිටිහැටියේ දින නියම කරන්නේ එවන් තත්ත්වයක් පවතින අතරතුරය. ඒ අනුව අප්‍රේල් මස අවසන් වන විට තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන බවට රජය නිගමනයකට එළඹ ඇති බව පැහැදිලි වේ.

කොරෝනා වසංගතය මේ තරම් දුරට ව්‍යාප්ත වූයේත් මුල් අවස්ථාවේ රජය මැතිවරණයක් ඉලක්ක කරගනිමින් අත්තනෝමතිකව කටයුතු කිරීම හේතුවෙනි. රටවල් ගණනාවක කොරෝනා වසංගතය පැතිර යමින් තිබියදී, ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබියදී, පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට තවත් මාස හයක කාලයක් ඉතිරිව තිබියදී ආණ්ඩුවේ අවධානය යොමු වූයේ කෙසේ හෝ නාම යෝජනා කැඳවා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරගැනීමටය. වසංගතය මැඩලීම පිළිබඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට වූයේ මාර්තු මස 19 වන දින නාමයෝජනා භාරදීම අවසන් වී මැතිවරණ කොමිසම විසින් මැතිවරණය කල් දැමීමෙන් ද පසුය. දැන් සෞඛ්‍ය අංශ සහ සියලු ජනතාව කුසට නිසි අහරක් හෝ නොමැතිව වසංගත තත්ත්වයට මුහුණ දෙමින් සිටියදී ආණ්ඩුව මැතිවරණය පවත්වා බලය තහවුරු කරගැනීම සඳහා ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කරන්නේ ද යන සැකය සමාජය තුළ මතු වෙමින් තිබේ. මෙම වගකීම් විරහිත හැසිරීම විසින් තවදුරටත් කොරෝනා වසංගතය සමාජය තුළ ව්‍යාප්තවීමට ඉඩකඩ සලසා දෙන්නේ ආණ්ඩුව විසින්මය.

මේ මොහොත වන විටත් කර්මාන්ත, කෘෂි හා සේවා ඇතුළු ආර්ථිකයේ සියලු ක්‍ෂේත්‍රයන් කඩා වැටී තිබේ. ජනතාව දැඩි දුශ්කර ආර්ථික කොන්දේසිවලින් බැට කමින් සිටියි. ගොවියන්ට, ධීවරයන්ට සිය නිශ්පාදන විකුණාගත නොහැකි අතර අනෙක් පසින් ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවත් සපයා ගත නොහැකිව සිටියි. දෛනික වැටුප් ලැබූ එදාවේල සපයාගනිමින් ජීවත් වූ සියලු ජනතාවට ආදායම් මාර්ග අහිමි වී තිබෙයි. එසේ කඩාවැටුණු ජන ජීවිත නගා සිටුවීම සඳහා ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් පෙනෙන තෙක්මානයක නැත. විශ්වවිද්‍යාල, පාසල් විවෘත කිරීමට කඩිමුඩියේ දින යොදාගනිමින් ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ජනතාව මුහුණ දෙන එවන් ආර්ථික හා සමාජීය ගැටලු සඳහා කිසිඳු විසඳුමක් නොදෙන අතරතුරය.

දැන් රජය අඟවමින් සිටින්නේ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පහව යමින් ඇති බවයි. සෞඛ්‍ය අංශ එසේ නොවන බවත් මැයි මස මුල් දෙසතිය දක්වා කාලය අවදානම් බවත් කියයි. ජනතාව විශ්වාස කළ යුත්තේ මේ දෙපාර්ශවයෙන් කවුරුන්ද? පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට කඩිමුඩියේ දින නියම කරන්නේ අවදානම් බවට සෞඛ්‍ය අංශ පෙන්වාදෙන කාල සීමාව පිළිබඳව අඹමල් රේණුවක සැලකීමක් නොමැතිවය.

ගෝලීය වසංගත තත්ත්වයක් පවතින බවත් ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග ලිහිල් නොකරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධාරණය කරද්දී පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට දින නියම කරන්නේ එවන් අවදානමක් නොමැති බව රජය නිගමනය කරන හෙයින්ද? විශ්වවිද්‍යාල හා පාසල් නැවත විවෘත කරන දින ප්‍රකාශ කිරීමට තරම් ම විශ්වාසයකින් මෙම අනතුර පහව යන බව තහවුරු කර කියන්නේ කෙසේද? පළමුව මේ කරුණු රජය විසින් රට ඉදිරියේ පැහැදිලි කිරීමක් කළ යුතුය. කොරෝනා අවදානම පහව ගිය බවත්, දැන් අවදානමක් නොමැති බවත්, නැවත සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බවත් වගකීම් සහගත, විධිමත් පැහැදිලි කිරීමක් සමඟ ජනතාවට සහතිකයක් රජය විසින් ලබාදිය යුතුය. පළමුවෙන්ම එම වගවීම සමාජයට ලබාදිය යුතු බවට අප රජයට බල කර ප්‍රකාශ කර සිටිමු.

රත්කරව්වේ ජිනරතන හිමි,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.


පිටපත් –
■ ජනාධිපති ලේකම් කාර්යාලය.
■ අධ්‍යාපන අමාත්‍යාංශය.
■ සියලු උපකුලපතිවරුන්.
■ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව.
■ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය.
■ සියලු ගුරු – විදුහල්පති සංගම්.
■ සියලු මාධ්‍ය ආයතන.

leave a reply