Breaking News

FLSP -අයවැය බදු ප්‍රතිපත්තිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක්

ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි,

2025 අයවැයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙනි

පසුගිය පෙබරවාරි 17 වැනිදා 2025 වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් මාර්තු 21 වැනිදා පාර්ලිමේන්තුව තීරණයක් දීමට නියමිතය. සමස්ත අයවැය සම්බන්ධව කෙසේ වෙතත් රාජ්‍ය ආදායම් කොටසට අයත් රාජ්‍ය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීමට අප අපේක්ෂා කළේ එමගින් ඉතාම බරපතළ අසමානතාවක් ජනිත කරවන හෙයිනි. පොදුවේ රාජ්‍ය බදු ප්‍රතිපත්තිය විසින් ආර්ථික විෂමතාව අවම කිරීමට, ආර්ථික සංවර්ධනයේ යම් ප්‍රමුඛතා නිර්මාණය කිරීමට සහ වෙළඳපොළ පරිභෝජන රටා හැසිරවීමට අවශ්‍ය පදනම් නිර්මාණය කරන බව අවිවාදිතව පිළිගනු ලැබුවත් මෙවර අයවැයේ බදු ප්‍රතිපත්තිය ගොඩ නැගී ඇත්තේ බදු යනු රජයට ආදායම් උපයා ගැනීමට ඇති මාර්ගයක් පමණි යන ඉතාම පටු අදහස මත පදනම් වෙමින් බව 2025 අයවැය නිරීක්ෂණය කරන විට පෙනේ. එම තත්වය යටතේ වුව මෙවර අයවැය මගින් ඇති කරවනු ලබන සමාජ අසමානතාවය සහ ආර්ථික විෂමතාව පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

2025 වසර තුළ භාණ්ඩ හා සේවා මත බද්ද 25.94%කින් වැඩි කිරීමට අයවැය ලේඛනය අපේක්ෂා කරයි. 2024 වසරේ භාණ්ඩ හා සේවා මත අයකළ බදු ප්‍රමාණය රුපියල් බිලියන 2201ක් වූ අතර එය මෙම වසරේදී රුපියල් බිලියන 2772ක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. මෙම මුදල ලංකාවේ පවුල්වල සංඛ්‍යාවක් ලෙස ගත්විට පෙනී යන්නේ 2024 වසරේ ලංකාවේ එක පවුලක් එක මාසයකදී රජයට රුපියල් 31,623ක් භාණ්ඩ හා සේවා හරහා බදු ගෙවා ඇති බවයි. එමෙන්ම මෙම වසරේ එක පවුලක් එක මාසයකට වෙළඳපොළේදී භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී ගෙවීමට නියමිත බදු ප්‍රමාණය රුපියල් 39,817කි. ඒ අනුව එක පවුලක් මත මාසික බදු බර රුපියල් 4,200කින් පමණ ඉහළ දැමීමට ආණ්ඩුව මෙම අයවැය මගින් සැලසුම් කර තිබේ. මෙය ආර්ථික අර්බුදයෙන් බැට කා සිටින ලංකාවේ ජනතාවට ඉසිලිය නොහැකි තරමේ බරකි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව පවුලක මාසික ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 76,414ක් වන අතර සාමාන්‍ය මාසික වියදම රුපියල් 63,130කි. මේ සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන්නේ පවුලක මාසික වියදමෙන් තුනෙන් දෙකක් තරම් විශාල බදු බරක් ජනතාව මත පටවා ඇති බවයි. මෙය වැඩකරන ජනතාව ප්‍රමුඛ සමාජයේ පහල පන්ති කොටස් වෙත එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයක් වන අතර මෙය ජාතික ජන බලවේගය මත විශ්වාසය තැබූ ජනතාව පාවා දීමකි.

මෙහිදී ආණ්ඩුවේ තර්කය වනුයේ මෙලෙස භාණ්ඩ හා සේවා මත බදු ඉහල නංවා ගැනීමට අපේක්ෂා කරන්නේ අලුතෙන් බදු පැනවීමෙන් නොව බදු නිසි ආකාරව අය කර ගැනීමෙන් බවයි. 2023 සිට 2024 දක්වා කාලය තුළ පමණක් පාරිභෝගිකයාගෙන් අය කර, සමාගම් විසින් රජයට නොගෙවා වංචා කර ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 333.1ක් බව මුදල් අමාත්‍යංශ වාර්තා පවසයි. මේවා අය කර ගැනීම අත්‍යවශ්‍ය බවට විවාදයක් නැති නමුදු හිඟ ආදායම් බදු අය කර ගැනීමට මෙවර අයවැය තුළින් කිසිදු ප්‍රමුඛතාවක් නොපෙන්වා ඇති තත්වය තුළ හිඟ වැට් බදු අය කිරීමේ අභිලාශය විශ්වාස කළ නොහැක. අනෙක් අතට අයවැය තුළ බදු අලුතෙන් පනවන්නේ නැති බව ආණ්ඩුව පැවසුවද ඉතිරි කිරීම් වලින් අය කරන රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කළ අතර ලංකාවේ සිට අන්තර්ජාල සේවා හරහා උපයන විදේශ විනිමය ආදායම් වලට 15%ක බද්දක් අලුතෙන් පනවන ලදී. අනෙක් අතට අයවැයට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීමේදී මෙතෙක් පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 ජනවාරි 01 දින සිට ඉදිරියටත් අඛණ්ඩව තවදුරටත් දීර්ඝ කරන ලදී. මෙලෙස භාණ්ඩ හා සේවා මත බදු ප්‍රමාණය පසුගිය වසරටත් වඩා ඉහළ දැමීමට ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 2022දී 8%ක්ව තිබී 2022 අගෝස්තු සිට 12% දක්වාත්, 2023 ජනවාරි සිට 15% දක්වාත්, 2024 ජනවාරි සිට 18% දක්වාත් වැඩි කරන අතිශය පීඩාකාරී තත්වයක් යටතේය. ඊට අමතරව 2023 වසරේදී සමාජ ආරක්ෂණ බද්ද නමින් නව බද්දක්ද පනවන ලද තත්වයක් තුළය.

මෙවර අයවැය මගින් ජනතාව මත අති විශාල බදු බරක් පටවා ඇති අතරම මහා ධනවතුන් සහ ඒකාධිකාර සමාගම්වල බදු කප්පාදු කර ඇත. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව 2024 මාර්තු මස නිකුත් කළ වාර්තාවට අනුව දැවැන්ත සමාගම් විසින් නොගෙවා පැහැර හැර ඇති මුළු බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1068ක් වන අතර දේශීය හා විදේශීය සංගත සමාගම්වලට ලබා දී ඇති බදු සහනය රුපියල් බිලියන 978කි. මෙවර අයවැය ලේඛනය තුළින් පසුගිය වසර සහ මෙම වසර අතර සෘජු බද්දේ වැඩිවීම රුපියල් බිලියන 141කට පමණක් සීමා වීම තුළ පෙනී යන්නේ මෙම වසරේදීවත් හිඟ බදු අය කර ගැනීමට හෝ විශාල සමාගම්වලට පනවා ඇති බදු සහන වල කප්පාදුවක් කිරීමට ආණ්ඩුව අපේක්ෂා නොකරන බවයි. එපමණක් නොව, සිංහල සහ තමිල් භාෂාවලින් නිකුත් නොකර, ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කර ඇති අයවැය ලේඛනයේ තාක්ෂණික කරුණුවලට අදාළ කොටසේ 1.9 වගන්තියේ සඳහන් වන්නේ 2022 – 2023 මූල්‍ය වර්ෂය දක්වා වන කාලය තුළ නොගෙවූ බදු මාස 6ක් ඇතුළත ගෙවන්නේ නම් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ සහ 2022 අංක 14 දරණ බදු පනතේ සඳහන් වන හිඟ බදුවලට විශේෂ ප්‍රමාද ගාස්තු සහ පොලී අය කිරීම සඳහා වන ප්‍රතිපාදන අදාළ නොවන බවයි. 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනතේ 157 වගන්තියේ සහ 159 වගන්තියේ සඳහන් වන ආකාරයට නියමිත බදු නොගෙවා ප්‍රමාද කළ හොත් එලෙස ප්‍රමාද වන සෑම මසකටම 1.5%ක පොලියක් හෙවත් 18%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු බවයි. මෙවර අයවැය තුළින් එම පොලිය අහෝසි කිරීම යනු බදු පැහැර හරින ලද ධන කුවේරයන්ට කරන ලද ඉතාම අසාධාරණ අනුග්‍රහයක් වන අතරම මෙම තීරණය පාර්ලිමේන්තුව විසින් අනුමත කරන්නේනම් අති විශාල මුදලක් රජයට අහිමි වනු ඇත. සංක්ෂිප්තව කියන්නේ නම් සිදුව ඇත්තේ ධනවතුන් සහ සමාගම් බදු වලින් නිදහස් කර බහුතර ජනතාව මත උසුලා ගත නොහැකි බදු බරක් පැටවීමකි.

මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තියට කිසිසේත්ම අනුමැතිය නොදෙන ලෙසද ඔබ පාර්ලිමේන්තුවට පත් කර එවූ ජනතාවගේ අභිලාෂයන්ට සතුරු පියවර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් ලෙස ඔබ සතු බලය භාවිතා නොකරන ලෙසද අපි ඉල්ලා සිටිමු. දැනටමත් ආර්ථික අර්බුදයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථිකය හැකිලවීම පිළිබඳ උපායමාර්ගයට අනුව ආදායම් අහිමි වීමේ අර්බුදයේ සහ අධික උද්ධමනයේ අර්බුදයේ ගොදුරු බවට පත්ව පීඩාවට පත්ව සිටින ලංකාවේ ජන සමාජය මත මෙතරම් අයුක්තිසහගත බදු ප්‍රතිපත්තියක් පැටවීමට අනුමැතිය ලබා දෙන පාර්ලිමේන්තු නියෝජිතයන්, නියෝජිතවරියන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම නියත බවද තවදුරටත් සිහිපත් කරමු. 2025 අයවැයේ මෙම බදු ප්‍රතිපත්තිය වහා සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසද අවධාරණය කරමු.
ස්තුතියි.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2025 මාර්තු 06

leave a reply