Breaking News

ජනමාධ්‍ය නියාමන බලලා කොට්ටහච්චිගේ මල්ලෙන් එළියට

චන්දන සිරිමල්වත්ත

ජනමාධ්‍ය නියාමනය කිරීම ගැන පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතාවක් නිසා මේ සටහන ලියන්නට සිත් විය.


සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ජනමාධ්‍ය පාලනය කිරීමේ අදහස ඇති වෙන්නේ තමන්ගෙ පාලනය ජනතාවගේ අප්‍රසාදයට ලක්වන පාලන කාලයේ දුරක් යාමේදීය. එහෙත්, ඊයේ දින ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ‘ජඩමාධ්‍ය’ ගැන කියමින් ජනතාවට බොරු කියන මාද්‍ය පාලනය කිරීම ගැනත් යාවත්කාලීණ නොවූ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ යමක් කරන්නට ආණ්ඩුව සූදානම්වන බවත් පවසන ලදී. මෙම ‘පාර්ලිමේන්තු ප්‍රකාශය’ සිදුවන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් විශේෂයෙන් ඇමතිවරු පවා ‘ජනමාධ්‍ය භාවිතයෙන් සිදුවන නරක’ ගැන අවස්ථා කීපයකදී දුක්ගැනවිලි කියා ඇති පසුබිමකය.

ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමේදී ජනමාධ්‍ය ප්‍රචාරණය උපරිම ලෙස යොදාගත් බවත්, ඇතැම්විට එම පුද්ගලාභිවාදන, අධිතක්සේරු සහගත ප්‍රචාරණයන් සහ විරුද්ධ මතධාරින් දෙස අගතිගාමී අර්ථකතන ප්‍රකාශයට පත් කිරීම් පමණ ඉක්මවා ගිය ආකාරයත් ගැන මැනීමක් ඇති අයට මේ ‘උත්ප්‍රාසාත්මක තත්වය’ ගැන කිසියම් විනෝදයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙත් මෙම තත්වය නව වර්ධනයක් බවත් එහි දේශපාලන ඇඟවුම විනෝදජනක නොවන බවත් සටහන් කළ යුතුය. විශේෂයෙන්ම විමතික දේශපාලන අදහස්, ප්‍රතිවිරුද්ධ මතවාද සහ සද්භාවයෙන් ගෙන එන විවේචන සම්බන්ධ ගරුත්වයක් නැති අකාරයට ක්‍රියාකාරිත්වයක් පැවතීමත් ඒ අගතීන් ඔස්සේම ජනප්‍රියවාදයක් නඩත්තු කරමින් සමාජ අගතියේම රැල්ල නැංවීමට දැරූ උත්සාහයන් ගැනත් අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අනුව, වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රශ්නයට මුහුන දීමේ අභියෝගයක් දැන් ආණ්ඩුව හමුවේ ඇත.

එවැනි පසුබිමක බලයට පැමිණීමෙන් පසුව, සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය තුළින් ආණ්ඩුවට හෝ එහි ඉදිරි පෙළ සිටිනවුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති පෞද්ගලික හිරිහැර හා අගතිය ගැන කනගාටුව ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. කෙසේවුවත්, එබඳු අගතියක් ඇතිවන ආකාරයේ කටයුතු හා ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රකාශ සම්බන්ධ පාලනයක් ඇති කරගැනීම අවශ්‍යතාවක්ව තිබියදී සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය පාලනය ගැන අවධානය යොමු කිරීමේ දිශාවට යොමුවීම ගැන සමාජයක් වශයෙන් අපගේ අවධානය යොමු කළ යුතු වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවලදී ජනතාව හමුවේ පොරොන්දු දුන් ජාතික ජනබලවේගය, නීතියේ හා විධානයේ ආධිපත්‍ය ගැන කියමින් ජනතාවගේ ඡන්දය ලබා ජයග්‍රහණය කළේය. දැන් ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වා ගෙන යන්න නිදහසට කරුණු කියන ආණ්ඩුවකි. ජනමාධ්‍ය නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාව ගැන කණිපින්දම් ගහන ආණ්ඩුවකි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට නම්, ජනතාවගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්නට අවස්ථා සැලසිය යුතු අතර, ජනමාධ්‍ය නිදහස සම්බන්ධ ආණ්ඩුවේ ආදර්ශය ලබා දිය යුතුය. අද වනවිට රාජ්‍ය මාධ්‍ය පවත්වා ගෙන යන නිර්ලජ්ජිත ආකාරය, ඒ වෙනුවෙන් ස්වකීයයන් තනතුරුවලට පත්කිරීම සිදුකර ඇත. විරුද්ධ පක්ෂයේ සිටියදී ඇතැම් මාධ්‍ය ආයතනවල සිටින ‘රාජපාක්ෂික ජඩමාධ්‍යකරුවන්’ ගැන දැඩි ලෙස විවේචනය කළ නමුත් ඔවුන්ද යහතින් පැරණි රස්සාවම කරගෙන යන බවක් පෙනේ. ජනමාධ්‍ය තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් මර්දනයට ලක්වූවන් සම්බන්ධ යුක්තිය ඉටුකරන බව කියමින් පැරණි මර්දන යන්ත්‍රයේ ඇණ මුරිච්චි තද කරමින් සිටී. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ ගැන කියමින් බලයට පත්වූ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ සමාජ මාධ්‍ය සොල්දාදුවන් විසින්, සමකාලීන තත්වයන් පිළිබඳ ගවේශනාත්මක අනාවරණයන් සිදුකරන වර්තමාන ජනමාධ්‍යවේදීන්ට වෛරී ලෙස ප්‍රතිචාර දක්වනු පෙනේ. ඒ නිසා මේ ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ලැබේ යැයි කල්පනා කළවුන්ට කිසියම් නැවත හැරී බැලීමක් කරන්නට සිදුව ඇත. නීතියේ ආධිපත්‍ය යොදාගෙන මාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය මර්දනයට කැසකවන කසකරුවන්ගේ රණ ගොස පාර්ලිමේන්තු සභා ගැබෙන් ඇසේ.

leave a reply