Breaking News

අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගන්න අනුමැතිය

වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අනුමැතිය හිමිව ඇත්තේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහාය

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය ( මැයි මස 07 වෙනිදා) අනුමැතිය ලබා දෙනු ලැබීය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන ලදී.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ස්ථාපනය සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට 2022 මාර්තු 07 වනදා කැබිනට් අනුමැතිය හිමිවිය.

2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී තිබේ.

ටෙන්ඩරයේ ඇතුළත් කරුණු මොනවාද ?
අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ ටෙන්ඩරය අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය මිලදී ගැනීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ සඳහන් වේ.

එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ඇමෙරිකානු ඩොලර් 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ.

ඒ අනුව මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර දෙකක් පුනරීන් සහ මන්නාරමේ දී සංවර්ධනය කිරීමට නියමිතය.

 

විදුලි ව්‍යාපෘතියට එරෙහිව විරෝධතාවයක්
කැබිනට් මණ්ඩලය විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ටෙන්ඩරය අනුමත කරනු ලැබුවේ ඒ පිළිබඳව මෙරට පරිසරවේදීන් ඇතුළු පාර්ශව ගණනාවක් එල්ල කළ විරෝධතාවය මධ්‍යයේ ය.

පරිසරවේදීන් විසින් මතු කළ ප්‍රධාන චෝදනාව වුයේ සෑම වර්ෂයකම මෙරටට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට මෙය බාධාවක් වන බවය.

රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන අතර එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත.

ශ්‍රී ලංකාවට සංක්‍රමණික කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයක් වන්නේ මන්නාරමයි.

ඊට අමතරව උතුරු පළාතට අයත් මන්නාරම දූපත යනු ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊටම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙඹි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුනු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයක් වේ.

එබැවින් මන්නාරමේ නව සුළං බලාගාර ව්‍යාපෘතිය කුරුල්ලන්ට පමණක් බලපාන ගැටලුවක් ලෙස ලඝු කළ නොහැක.

මේ අතර සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන කාලයක, අවිද්‍යාත්මක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නීති විරෝධී අයුරින් සීමාසහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගමට මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දීමට රාජ්‍ය ආයතන ද ක්‍රියා කරමින් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල විය.

මේ ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව පිලියෙල කර තිබෙන්නේ රමණි ඇල්ලේපොලගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් විසිනි.

කුරුල්ලන් හා සතුන්ට වන බලපෑම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දෙවක වීරකෝන්, ශාක වලට වන බලපෑම ආචාර්ය හිමේෂ් ජයසිංහ, ජලජ පරිසරයට වන බලපෑම ඩී.ඒ.ජේ රන්වල යන විද්වතුන් විසින් සලකා බලා තිබේ.

විශේෂඥයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා දායක වූ බව දැනගන්නට තිබේ.

 

ජනතාවගේ වාචික අදහස් විමසන්න ගත් තීරණයට මොකද වුනේ ?
අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කරන ලදී.

ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් ලද මහජන අදහස් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි බීබීසී සිංහල සේවය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ ගෙන් විමසීමක් සිදුකළේය.

මේ ඔහු ඊට ලබා දුන් පිළිතුරයි.

“මෙම ව්‍යාපෘතියයේ යෝජක පාර්ශවය වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදාළ පරිසර අධ්‍යන වාර්තාව සකස් කරලා අපට ඉදිරිපත් කළා.”

“ඒ වාර්තාව අධ්‍යනය කරලා ඒකෙ තිබුණු අඩුපාඩු සලකා බලලා ඒවා නැවත වැඩිදියුණු කළාට පස්සේ ඒක අපි මහජනතාවට විවෘත කළා ඒ අයගේ අදහස් දැන ගන්න.”

“ඒ අනුව අපිට ලැබුණු මහජන අදහස් නැවත අපි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත යොමු කළා ඒවාට අදාළ තාක්ෂණික පැහැදිලි කිරීම් සිදුකරන්න කියලා. නමුත් මේ දක්වා ඒ පැහැදිලි කිරීම් අපිට ලැබිලා නැහැ.”

“ඒ පැහැදිලි කිරීම් ලැබුණට පස්සේ මේ වාර්තාව සම්බන්ධයෙන් ජාතික පරිසර පනතට ඇතුළත් ප්‍රතිපාදන ඔස්සේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.” නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

leave a reply