මුලතිවු – කොක්කුතෝඩුවායි සමූහ මිනීවළේ ඇති මානව අස්ථි කොටස් ඇසුරෙන් කරන ලද මූලික විමර්ශනවලට අනුව එසේ වළ දමා තිබෙන්නේ වෙඩි තැබීමෙන් මිය ගිය දෙමළ ඊළම් විමුකති කොටි සංවිධානයේ සමාජිකයන්ගේ බැව්, අදාළ මිනීවළේ පරීක්ෂණ කටයුතු භාර වෝහාරික විශේෂඥයෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර්කාලීන වාර්තාවක් මගින් හෙළිදරවු කර තිබේ.
කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව විසින් සම්පාදනය කරන ලද වාර්තාව භාරදීමෙන් පසු, හෙතෙම ජේඩීඑස් වෙත පවසා සිටියේ කොක්කුතෝඩුවායි සමූහ මිනීවළේ කාල නීර්ණය සම්බන්ධයෙන් තමන්ගේ මෙහෙයවීම මත සිදු කරන ලද පරීක්ෂණවලදි , සොයා ගත් මළ සිරුරුවල පැහැදිලි වෙඩි සලකුණු දක්නට ලැබුණු බවයි.
වෙඩි තැබීම්
“මරණයට නිශ්චිත හේතුව කියන්න පුලුවන් වෙන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් පවත්වනු ලබන පරික්ෂණයකින් අනතුරුව පමණයි. නමුත් සමූහ මිනීවළේ කාල නීර්ණය නිශ්චිත කර ගැනීම උදෙසා මා විසින් ඉතා ප්‍රවේසම් සහගතව, විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව පරික්ෂණ කිහිපයක්ම සිදු කළා. ඒ පරීක්ෂණ සිදු කිරීමේදි අපට පෙනී ගිය කරුණක් තමයි බොහෝමයක් මළ සිරුරුවල ඉතා පැහැදිලි වෙඩි සලකුණු තිබෙන බව. මෙයින් පැහැදලියි මරණකරුවන් ගිනි අවි ප්‍රහාරයකට ලක්ව තිබෙන බව” මහාචාර්ය රාජ් සෝමදේව කීය.
ඇතැම් අස්ථි කොටස් සහ ඒ ආශ්‍රිතව වෙඩි උණ්ඩවලින් නිකුත් කෙරුනු කොපු පවා දක්නට ලැබුණු බවයි මහාචාර්ය සෝමදේව වැඩිදුරටත් පවසා සිටියේ.
පසුගිය පෙබරවාරි 22 දින අධිකරණය වෙත භාරදුන් පිටු 34කින් යුතු අන්තර්කාලීන වාර්තාව මගින් ‘මළ සිරුරු අතර ඇති අක්‍රමවත් පරතරයත්, එකිනෙක මත අතිපිහිත වන සේ වළදමා ඇති ඇටසැකිලිත් විසින් කියාපාන්නේ මෙය රහසිගත මිහිදන් කිරීමක් බව”යැයි ඔහු අවධාරණය කර තිබේ.
2012 වසරේ දී මධ්‍යම පලාතේ, මාතලේ දිස්ත්‍රික්කයෙන් සොයා ගත් සමූහ මිනීවළේ සිට හමු වූ බොහෝ සමූහ මිනීවළවල්වල කැණීම්වලට අනුබද්ධ වෝහාරික පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සිදුකරන ලද්දේ මහාචාර්ය රාජ් සෝමදේව විසිනි.
“අධිකරණය මගෙන් ඉල්ලීමක් කළා සිදු කරන වෝහාරික පුරාවිද්‍යා පරික්ෂණයේ කරුණු ඇතුළත් වාර්තාවක් සකස් කරලා ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුවයි මම ඒ වාර්තාව සකස් කළේ. ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබුවේ සමූහ මිනීවළ අයත් කාලය නිශ්චිත කර ගැනීමට කාල නීර්ණ පරික්ෂණයක් වුණත් අදාළ පරීක්ෂණය සිද්ධ කිරීමේදි එයට සම්බන්ධ අවශේෂ සියළු කරුණුත් අදාළ කර ගන්න වෙනවා. ඒ නිසා තමයි අස්ථි කොටස් පවා මගේ නිරීක්ෂණයට ලක් වුණේ. අස්ථි, ඇඳුම් පැළදුම්, ඒවායෙ හි තිබුණු විවිධ සලකුණු , බැජ් ආදිය පවා අපි ඉතා සියුම්ව විමර්ශනය කළා. සමහර අස්ථි කොටස් එක්ක සයනයිඩ් කරල් පවා තිබුණා. මේ සියළු දේ මම මගේ වාර්තාවේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා.” මහාචාර්ය සෝමදේව කීය.
දෙමළ සටන්කරුවන්
සමූහ මිනීවළ 94- 96 කාල සීමාව පසු නොකරන බවට තමන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ ද කාල නීර්ණ පරීක්ෂණයේ දි සොයා ගත් සියළු තොරුතුරු , මූලාශ්‍ර විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව යැයි පවසන මහාචාර්ය සෝමදේව ඉදිරියේදි සිදු කෙරෙන කැණීම්වලදි සොයා ගන්නා තොරතුරු , දත්ත අවසන් වාර්තාවට තවදුරටත් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
දැනට සොයා ගෙන ඇති වෙඩි උණ්ඩ, කාලය සනාත කෙරෙන ඇඳුම් පැළඳුම් ආදී ප්‍රධාන සාක්ෂි හැරුණු විට මිනීවළ ආශ්‍රිත භූමියෙන් හෝ පස් තට්ටු ආශ්‍රිතව වෙනත් මුලාශ්‍ර හෝ ද්‍රව්‍යම සාක්ෂි ලැබී ඇතිදැයි ජේඩීඑස් විසින් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස මහාචාර්ය රාජ් සෝමදේව පවසා සිටියේ මේ වන විට එවැනි සැලකිය යුතු කිසිවක් හමුවී නැති බවයි.
“මේ මරලා දාලා ඉන්නේ එල්ටීටීඊ සටන්කරුවන් ය කියන එක ඉතාම පැහැදිලියි. ඒ ගැන තර්ක කරන්න දෙයක් නෑ. නමුත් ඔබ අහන විදිහට මාතලේ හරි මන්නාරමේ හරි වගේ වෙනස් අමුතු දේවල් අපිට ලැබුණේ නෑ. ඒකට හේතුව අපිට හොයා ගන්න ලැබෙන්නේ ඒ අය මරණයට පත්වුණු මොහොතට අදාළ දේවල් නිසායැ”යි හෙතම කීය.
ජේඩීඒස් සතුව ඇති වාර්තාවේ දැක්වෙන අවසන් නිගමන පහත පරිදි සම්පිණ්ඩනය කර තිබේ:
“1. කණින ලද අගලේ වළදමා ඇත්තේ රහසිගතවය. වළ දැමූ අගලේ වැතිර සිටින මළවුන් දෙමළ ඊළම් විමුක්ති කොටි (LTTE) නම් සංවිධානයේ සටන්කරුවන් ය.
- වින්දිතයන්ගේ දිවි තොර වීමට පෙර ඔවුන්ට ගිනි අවි ගැටුමකට මුහුණ දීමට සිදුවී තිබේ.
-
වළ දැමීමේ සිද්ධියේ දිනය 1994ට පෙර හෝ 1996 ට පසුව සිදුවී නැත. එමනිසා ගොඩගන්නා ලද මෙවලම්වලින් යෝජනා කෙරෙන පරිදි මෙම සිද්ධිය 1994 හා 1996 අතර යම් දිනයක සිදු වූ බවට නිගමනය කළ හැකි ය.”
වාර්තාව මගින් දක්වා තිබෙන කාල සීමාව තුළ සමූහ මිනීවළ හමුවී ඇති ප්‍රදේශය, මියගිය එවකට බ්‍රිගේඩියර් ජානක පෙරේරාගේ ආඥාපතිත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවැනි ‘වැලිඔය’ බලසේනාව යටතේ පැවති අතර 1995 රිවිරැස මෙහෙයුමත් සමගම ඔහු, 53වැනි සේනාංකය වශයෙන් පසුව නම් කරන ලද එවකට පැවති අතිරේක ප්‍රහාරක බලකායේ අණදෙන්නා වශයෙන් යාපනයට කැඳවනු ලැබුණි. ඉහත සඳහන් කාල සීමාවේ මිනීවළ පිහිටා ඇති භූමියට යාබද කොක්කුතෝඩුවායි යුද හමුදා කඳවුර, ක්‍රියාන්විත රාජකාරියේදී පසුව මියගිය ලුතිනන් කර්නල් රෝහිත වික්‍රමතිලක යටතේ ස්ථානගත කර තිබූ 4වැනි ගැමුණු හේවා බලඇණිය යටතේ පැවතුණි. 1995 පෙබරවාරි සිට 1996 නොවැම්බර් දක්වා බලඇණි අණදෙන්නා වශයෙන් ක්‍රියාකරන ලද්දේ ලුතිනන් කර්නල් වික්‍රමතිලක ය.
කොක්කුතෝඩුවායි – කෝකිලායි ප්‍රධාන මර්ගයේ ජල නළ ඇතිරීමක් වෙනුවෙන් කරන ලද කැණීම් කටයුතු අතර තුරදි පසුගිය වසරේ ජූනි මස 29 දින මුල්ම අස්ථි කොටස් කිහිපය සොයා ගනු ලැබු අතර ජූනි 30 දා ස්ථානීය පරික්ෂාවක් සිදුකළ මුලතිවු හිටපු මහේස්ත්‍රාත් ටී සරවනරාජා විසින් අදාළ අංශ වෙත නියෝග කරනු ලැබුවේ ජූලී 06 දින සිට කැණීම කටයුතු ආරම්භ කරන ලෙසයි. නමුත් පළමු අදියරේ කැණීම් කටයුතු එදිනම අවසන් වූ අතර යළ ආරම්භ කෙරුනේ 2023 සැප්තැම්බර් මස 06 වන දා ය. සමූහ මිනිවළේ තෙවන අදියරේ කැණිමි කටයුතු එම වසරේම නොවැම්බර් මස 20 දින ආරම්භ කෙරී දින නමයකට පසුව එනම් 29 දා අවසන් කෙරුනි. මෙම වසරේ මාර්තු මාසයේ දී යළි කැණීම කටයුතු ඇරඹීමට නියමිතව තිබුණද මුලතිවු දිසා ලේකම් කාර්යාලයෙන් මුලතිවු මහේස්ත්‍රාත් ධර්මලංගම් ප්‍රදීපන් වෙත දැනුම් දී ඇත්තේ ඉදිරි කැණීම කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් මුදා නොහැරීම හේතු කොට ගෙන කැණීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.
මූල්‍ය ප්‍රතිපාදන නෑ
සමූහ මිනීවළවල්වල සිදු කෙරෙන කැණීම් කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන මුදා හැරීම් නිසි කාර්යපටිපාටියක් නොමැති වීමේ තත්ත්වය පිළිබඳව ජේඩීඑස් විසින් මෙයට පෙර අවස්ථාවකදි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් දෙපලකගෙන් කරුණු විමසු අතර, ඒ පිළිබඳව ඔවුන්ගේ මතය වූයේ සමූහ මිනීවළවල කැණීම් කටයුතු සිදු කිරීම සහ ඒ සම්බන්ධ අනෙකුත් කටයුතු වෙනුවෙන් පරිපාලනමය හෝ නෛතික වශයෙන් වගකීම නිසි පරිදි භාර ගන්නා ආයතනයක් ලංකාවේ නොමැතිකම එයට බලපා ඇති බවකි.
2013 වසරේ දි සොයා ගත් මන්නාරම තිරුකේතීස්වරම් සමූහ මිනීවළේ පළමු අදියරේ කැණීම් කටයුතු භාරව සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ ධනංජය වෛද්‍යරත්න ට අනුව, එවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට බලපා ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේ සමූහ මිනීවළවල්වල කැණීම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් පිළිගත් නීති ප්‍රතිපාදන ලංකාවේ නොමැති කමයි. ඒ නිසාම රාජ්‍ය ආයතනවලට සහ බලධාරින්ට වගකීම පැහැරහැරීමේ වැඩි ඉඩකඩක් ලැබෙන බවට ඔහු කියා සිටියේය.
මාතලේ සමූහ මිනීවළේ කැණීම් කටයුතු සිදුකළ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන ජේඩීඑස් හා කියා සිටියේ පරිපාලනමය වශයෙන් නිසි පරිදි වගකීම භාර ගන්නා ආයතන පද්ධතියක් නොමැති කම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවකි. කලින් කරන ලද ගවේෂණවලදි විටෙක අධිකරණ අමාත්‍යංශයත්, තවත් විටෙක සෞඛ්‍ය අමාත්‍යංශයත් කැණීම කටයුතු සඳහා මැදිහත් වුණ ද, මෙයින් එක් අමාත්‍යංශයක් හෝ පූර්ණ වශයෙන් වගකීම භාරගෙන කටයුතු නොකළ බවද හෙතම කියා සිටියේ ය.
විශේෂඥ මණ්ඩලයක්
කෙසේ වෙතත් කොක්කුතෝඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු වෙනුවෙන් අධිකරණ නියෝග මත ක්ෂේත්‍ර කිහිපයක්ම ආවරණය වන පරිද්දෙන් විශේෂඥ මණ්ඩලයක්ම පත් කොට තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිවු රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේවා, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. පිරිනාවන් මෙන්ම මුලතිවු දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදිකරන හමුවේ කරුණු දක්වන මානව හිමිකම් නීතිඥවරුන් ඇතුළු පිරිසක් සමූහ මිනීවළේ කැණීම් කටයුතු වලට සම්බන්ධව කටයුතු කරති.
උපුටා ගැනීම – JDS