Breaking News

රනිල් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන හැටි

මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බවත් එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවයි.

මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාර්ෂික බඳවා ගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ද උපදෙස් දුන් බවත්, එම පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ අයිතිය ලබාදී තිබෙන බවත් ලයිසියම් කැම්පස් ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයාම පවසන ආකාරයට ලංකාවේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති බවට වන අදහස තහවුරු වීමට බලපා ඇති ප්‍රධානම හේතුව වී ඇත්තේ එය නිදහස් සෞඛ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමයි. එසේම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය තර්ජනයට ලක්වන ආකාරයෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් රට හැරයාමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වසර ගණනාවක රනිල්ලා – රාජපක්ෂලාගේ පාලනය විසින් රට අර්බුදයකට ඇද දැමීමයි. ඊට අමතරව වෘත්තිකයන් මත ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියද මේ සඳහා බලපා ඇත.

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා බලපා ඇති අනිත් ප්‍රධාන හේතුව වී ඇත්තේ නිදහස් අධ්‍යාපනයයි. නමුත් රනිල් වික්‍රමසිංහ පවසන්නේ වැඩි වැඩියෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා අවස්ථාව ලබාදීමක් ගැනයි.

රනිල් වික්‍රමසිංහ කියන දේ සහ කරන දේ අතර ඇත්තේ අහසට පොළොව තරම් ගැප් එකකි. එසේම කතා කරන දේවල්වල සහ ඔහුගේ ප්‍රතිපත්ති අතර කිසිදු ගැලපීමක්ද දක්නට නොලැබේ.

 

leave a reply