Breaking News

පොලිස් අත්අඩංගුවේ සිටියදී කළ පහරදීමෙන් වඩුක්කෝට්ටේ තරුණයෙකු මරුට

පොලිස් අත්අඩංගුවේදී පහරකෑමට ලක් වූ නාගරාසා ඇලෙක්ස් නැමැති විසි හය හැවිරිදි දෙමළ තරුණයෙකු මිය ගොස් තිබේ.

මහේස්ත්‍රාත් ඒ.ඒ ආනන්දරාජා යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පවත්වන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ අත් අඩංගුවේ සිටි තරුණයා නොවැම්බර් 19 වැනි ඉරිදා යාපනය ශික්ෂණ රෝහලට ගෙන එන විටත් මරණයට පත්ව සිටි බවයි.

මරණයට පත්වූ තරුණයාගේ පිට කොන්දේ, අත් සහ කකුල්වල තුවාල ගණනාවක් තිබු බව වෝහාරික විශේෂඥ රුද්‍රපසුපති මයෝරදන් නොවැම්බර් 20 වැනිදා නිකුත් කරන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්ය. එහි වැඩිදුරටත් සදහන්ව ඇත්තේ මරණයට හේතුව විමර්ශනය කෙරෙමින් පවතින බවයි.

පළාත් බද වාර්තාකරුවන්ට අනුව වඩුක්කෝට්ටේ, සිත්තංකේනි ලිපිනයේ පදිංචි නාගරාසා ඇලෙක්ස් වඩුක්කෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නොවැම්බර් 08 වැනි දිනයි.

නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට නාගරාසා ඇලෙක්ස්ගේ මව පැමිණිලි කර ඇත්තේ පරීක්ෂණයක් සදහා බව පවසමින් සිය පුතු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය විසින් නොවැම්බර් 10 වැනිදා නාගරාසා ඇලෙක්ස් මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණ නියෝග කර ඇත්තේ සැකකරු බන්ධනාගාරගත කරන ලෙසයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නාගරාසා ඇලෙක්ස් යාපනය බන්ධනාගාරයේ බන්ධනාගාරගත කිරීමෙන් පසුව මීට දින කිහිපයකට පෙරදී ද අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලැබු බවයි.

ඒ අවස්ථාවේදී ඔහු බැලීමට රෝහලට පැමිණි පවුලේ ඥාතියෙකුට නාගරාසා ඇලෙක්ස් තමන් පොලීසිය තුලදී වධ බන්ධනයට මුහුණ දුන් ආකාරය පිළිබඳව කර ඇති විස්තරය එම ඥාතියා විසින් සිය ජංගම දුරකතනයෙන් විඩියෝ ගත කර ඇත.

“පොලිසිය සැක කේස් එකකට අරන් ගිහින් ගැහුවා. හොරකම් සිදු වෙලා කියලා ගැහුවා. පිටි පස්සේ ගැට ගහලා මූණ රෙදි කෑල්ලකින් වහලා වතුර වක්කර, වක්කර ගැහුවා. පොඩ්ඩයි කන්න දුන්නේ. එක ලණුවකින් ගැට ගහලා ගැහුවා. අහ, අහ ගැහුවා. මම නෑ කිව්වා. බෑගයකට පෙට්‍රල් තවරලා දාලා ගැහුවා. මට සිහිනැති උනා. අත් දෙකම උස්සන්න බෑ. මුලින්ම කෑම දුන්නේ නැ. පසුවදා තමයි කෑම දිලා එයාලගේ කාමරේට අරන් ගිහිල්ලා මුකුත් කියන්න එපා කියලා කිව්වා. ඊලග දවසේ මට තර්ජන කරා. මත්පැන් බොන්න දුන්නා පැක් එකක්,“ යැයි නාගරාජා ඇලෙක්ස් පවසන ආකාරය විඩියෝ ගතව තිබේ.

leave a reply