Breaking News

ජපානයේ ණය ගැන තීරණය අනිත් ණය හිමියන් සමඟ එකඟතාවලින් පසුව

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව තහවුරු වූ පසු ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක වී දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය අදහස් කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා ඊයේ (04) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පවතියි. සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ චීනයට ලබාදීමට පසුව තීරණය වූ නමුත් නැවතත් එය ජපානයට ලබාදෙන බව මෙවර සංචාරයේදී ලංකාව පොරොන්දු වී තිබේ.

මෙරට සියලුම ණය හිමියන් සමඟ විනිවිදභාවයකින් සහ සංසන්දනාත්මක ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීම ඉතා වැදගත් බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

2022 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 46 ක විදේශ ණය ගෙවීම පැහැර හරින ලද ශ්‍රී ලංකා රජය, මේ වසරේ අප්‍රේල් මාසය වන විට විදේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිවියුහගතකරණයට අදාළ එකඟතා අවසන් කිරීමට බලාපොරොත්තු වූ නමුත් තවමත් එය අවසන් වී නොමැත.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ වූ සිව් අවුරුදු ඩොලර් බිලියන 2.9 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරගැනීමට නම් සියලුම නිල ණය හිමියන්ගෙන් සහ බහුතර පෞද්ගලික බැඳුම්කර හිමියන්ගෙන් එකඟතාව ලබා ගත යුතුය.

ලංකාවේ දෙවන විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන ජපානය, ශ්‍රී ලංකාවේ සහ කලාපයේ වෙනත් තැන්වල චීනයේ විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව සතුටු නැත.

ජපානයේ අදහස වන්නේ චීනයේ අරමුදල් සපයන ව්‍යාපෘති ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවූ බවයි.

මේ අනුව තවදුරටත් ජපානය, ලංකාව චීනයේ ණය සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙල කුමක්ද යන්න ගැන අවධානයෙන් සිටින බව පැහැදිලිය. චීනය සහ අනෙකුත් ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් අපට ජපානය සමඟ එකඟතාවයකට එළඹීමට නොහැකි වනු ඇත.

 

 

leave a reply