Breaking News

රනිල්ගේ ’’හයිය’’ ආර්ථිකේ අධ්‍යාපනයට වෙන්න යන දේ

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද රනිල් වික්‍රමසිංහ පවසයි.

රනිල් මේ පළමුවෙන්ම පවසන අධ්‍යාපන අයිතිය ලබාදෙන ආකාරය පිළිබඳ උදාහරණයක් පසුගියදා දක්නට ලැබුණි. එනම් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිමයි. ඊට අමතරව NSBM ආයතනයටද වෛද්‍ය උපාධි පිරිනැමීමේ අවස්ථාව ලබාදෙන බව රනිල් වරක් පැවසිය. ඒ වෙනුවෙන් ද කැබිනට් තීරණයක් ගනු ලැබුණි.

රනිල් අධ්‍යාපන අයිතිය ලබාදෙන ආකාරය ගැන පසුගිය 09 වනදා පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් විස්තර කර තිබේ.

ඔහු පැවසුවේ ‘

” මිට දින කිහිපයකට කලින් NSBM ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා ආචාර්යවරුන් බඳවා ගැනීම ප්‍රසිද්ධ කර තිබුණා. එහි මහාචාර්යවරයෙකුට අවශ්‍ය සුදුසුකම් ලෙස තිබුනේ MD එකක් තියෙන්න ඕනා සහ MBBS උපාධියේ පළමු සාමාර්ථයක් හෝ second class upper එකක් තියෙන්න ඕනා. රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීටයක මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට කරුණු කාරණා රාශියක් බලපානවා. පශ්චාත් උපාධිය, අත්දැකීම්, උගන්වන ලද කාල සීමාව, පරීක්ෂණ නිබන්ධනවල තත්ත්වය අවශ්‍යයි. ඒ අනුව පේනවා ඉතාම අඩු සුදුසුකම් සහිත ආචාර්යවරු මහාචාර්යවරු තමයි බඳවා ගන්නේ.

කොතලාවල වෛද්‍ය පිඨයේ වෛද්‍ය පීටයක් තියෙනවා. ඒකෙ ඉගනගන්න අවස්ථාව තියෙන්නේ කැඩෙට් නිලධාරීන් විදිහට. කොතලාවල විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමේ මූලික අරමුණ ආරක්ෂක අංශවලට අවශ්‍ය වෘත්තිකයන් නිපදවා ගන්න. ඒ වෙනුවෙන් වෛද්‍ය පීටයක් ආරම්භ කර තියෙනවා. මේ විශ්ව විද්‍යාලයේ උපාධිය ලැබුවට පස්සේ වසර ගණනක් ආරක්ෂක සේවයේ නිරත වී ඉන්න ඕනා. එක තමයි තිබෙන ගිවිසුම. දැන් කියනවා සිවිල් ශිෂ්‍යන්ට ඇවිත් මුදලට වෛද්‍ය උපාධිය ගන්න පුළුවන් කියලා.

රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන එක. අධ්‍යාපනය සමාජයේ සීමිත පිරිසකට පමණක් මුදල් බලය මත පදනම් වෙච්ච ඉතා සීමිත පිරිසකට භුක්ති විදින්න පුළුවන් දෙයක් බවට පත්කරන්න යන්නේ.

රාජ්‍ය වෛද්‍ය පීටවල කප්පරකට ගැටළු ගොඩගැහිලා තියෙනවා. මේවා එකකවත් විසදන්න මැදිහත්වීමක් ආණ්ඩුව කරන්නේ නෑ. ඒ ප්‍රශ්න විසදලා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා බඳවා ගන්නා ශිෂ්‍යන් ප්‍රමාණය වැඩි කරලා වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහලා උත්සාහකරමින් ඉන්නේ අධ්‍යාපනයට දැරිය යුතු වගකීමෙන් නිදහස්වෙලා මේවා සියල්ල ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට ලාභ ලබන්න හැකි අවස්ථා ලබාදීම.”

leave a reply