Breaking News

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම එන්න එන්නම ප්‍රචණ්ඩ වෙමින් තවදුරටත් ව්‍යාප්ත වෙයි…

♦ දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක අලි – මිනිස් ගැටුම්
♦ වාර්ෂිකව අලි – මිනිස් ගැටුම දරුණු අතට, ගැටුම් වාර්තාවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවත් වාර්ෂිකව වැඩි වෙලා
♦ ගැටුම හේතුවෙන් වසරකට මිනිස් මරණ 81 ක්, 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී මරණ සංඛ්‍යාව 50% කින් සහ 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 14% කින් වර්ධනයක්
♦ වසරකට අලි 263 ක් ගැටුමට බිලිවෙයි, 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී හස්ති මරණ සංඛ්‍යාව 92%කින් සහ 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 31% ක වර්ධනයක්
♦ ප්‍රධාන අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම හතරක් සඳහා වැයකළ මුදල 2010 – 2018 කාලසීමාව තුල 110% කින් වර්ධනය වෙලා
♦ වසරේ සෑම කාලසීමවකම නොවෙනස්ව අලි – මිනිස් ගැටුම් මගින් අලි – මිනිස් ජීවිත රටට අහිමිවේ
♦ අවිද්‍යාත්මක සහ යල්පැනගිය අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම සහ අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් අලි – මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවයි

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යනයකින් අනාවරණයවී ඇත. ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණය පත්වන රට ශ්‍රී ලංකාව බව එම අධ්‍යනය මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත. වර්ෂ 2010 – 2019 කාලසීමාව තුල මෙරට වාර්තාවූ අලි – මිනිස් ගැටුම් ආශ්‍රයෙන් සිදුකෙරුණු මෙම අධ්‍යනයට අනුව දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක පමණ අලි – මිනිස් ගැටුම් වාර්තාවී ඇති අතර එම ප්‍රමාණය මෙරට සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් තුනෙන් එකකටත් වඩා ඉහළ අගයක් ගනී.

සුපුන් ළහිරු ප්‍රරකාශ්

අධ්‍යනයට පදනම්වූ කාලසීමාව තුල ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 807 ක් අලි – මිනිස් ගැටුම හේතුවෙන් රටට අහිමිවී ඇති අතර එම ප්‍රමාණය වසරකට 81 ක් පමණ වේ. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 112 ක එම කාලය තුල මිනිස් මරණ වාර්තාවී ඇත. 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී අලි – මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ මිනිස් මරණ සංඛ්‍යාව 50%කින් වර්ධනය වී ඇති අතර 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 14% වර්ධනයක් පෙන්නුම් කෙරේ. අලි – මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන්නන්ගෙන් වැඩිම පිරිසක් පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් අවරුදු 51 – 60 ත් අතර පසුවුවන්වේ. තවද වැඩිම කාන්තාවන් පිරිසක් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 61 – 70 වයස් කාණ්ඩයේය.

අදාළ කාලසීමාව තුල අලි ඇතුන් 2631 ක් මරණයට පත්වී ඇති අතර එම ප්‍රමාණය වසරකට 263 කි. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක එම කාලය තුල අලි මරණ වාර්තාවී ඇත. වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ පිරිමි අලින් ය. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී අලි – මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ හස්ති මරණ සංඛ්‍යාව 92%කින් වර්ධනය වී ඇති අතර 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 31%කින් වර්ධනයවී ඇති බවයි. එසේම වසරේ සෑම කලාසීමාවකදීම නොවෙනස්ව අලි – මිනිස් ගැටුම් වාර්තාවන බව පෙන්වාදෙන පර්යේෂකයින් පවසන්නේ වසර පුරාම මෙසේ අලි – මිනිස් මරණ වාර්තාවීමට වාරි ජලය මගින් වගා කිරීම නිසා වසරේ සෑම කාලසීමාවකම කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම, බහුවාර්ෂික භෝග වගාව, නිවෙස් වල අස්වනු තැන්පත්කර තැබීම, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ වල වසරේ සෑම කාලසීමාවකම ජනතාව අනාරක්ෂිතව හැසිරීම වැනි කරුණු හේතුවිය හැකි බවයි. මීට අමතරව ගැටුම් හේතුවෙන් මිනිසුන්ට සිදුවූ ශාරීරික හානි 579 ක් සහ දේපොළ හානි 10,532 ක් මෙම කාලසීමාව තුලදී වාර්තාවී ඇත.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් ලැබී ඇති ප්‍රතිපාදන යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත සහ එම දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව නිකුත්කරන කාර්ය සාධන වාර්තා උපයෝගී කරගෙන මෙම අධ්‍යනය සිදුකර ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පාදක කරගනිමින් අලි – මිනිස් ගැටුම පිළිබඳව අධ්‍යනය කල ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මින් පෙර ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ අධ්‍යනයන් සියල්ලක්ම පාහේ සිදුකර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන කලාප පදනම්කරගෙන වන නමුත් ඒවායේ ප්‍රමාණය කලින් කලට වෙනස්වීම සහ නව කලාප හඳුන්වාදීම සිදුවේ. ඒ හේතුවෙන් එම වනජීවී කලාප පදනම් කරගෙන යම් කිසි කාල පරාසයක් තුල සිදුවූ අලි – මිනිස් ගැටුම් වල ප්‍රවනතා අධ්‍යනය කිරීමෙන් නිවැරදි අවබෝධයක් ලබාගැනීම අපහසුය. එබැවින් කලින් කලට ප්‍රමාණාත්මකව සහ සංඛ්‍යාත්මකව වෙනස් නොවන ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගනිමින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර එමගින් අලි මිනිස් ගැටුමේ ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි අවබෝදයක් ලබාගතහැකි බවයි පර්යේෂකයින් පවසන්නේ. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් මෙම අධ්‍යනය සිදුකර ඇත. ඒ පිළිබඳ සවිස්තර විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ආසියානු අලි ඇතුන් පිළිබඳ ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ ‘Gajah’ ජර්නලයේ නවතම කලාපයේ පසුගියදා පලවිය.

වසරක් පාසා අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන මිනිස් මරණ, ශාරීරික හානි, දේපොළ හානි සහ අලි මරණ ප්‍රමාණය ඉහළ යමින් පවතින අතර ඒ අනුව ගැටුම එන්න එන්නම දරුණු අතට හැරෙමින් පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. තවද ගැටුම් වාර්තාවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවද වාර්ෂිකව වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඒ අනුව අලි – මිනිස් ගැටුම නව ප්‍රදේශ කරා ව්‍යාප්ත වන බවයි පර්යේෂකයින් අවධාරණය කරන්නේ. මිනිස් මරණ, ශාරීරික හානි හා අලි මරණ සංඛ්‍යාව එක්ව ගත්කල වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, අම්පාර සහ මොණරාගල පිළිවෙලින් එහි ඉදිරියෙන්ම පසුවන සෙසු දිස්ත්‍රික්ක වේ. පර්යේෂණය අනුව හෙළිවී ඇත්තේ දකුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට යාපනය අර්ධද්වීපයට අයත් මදුරන්කේණි හෙවත් වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දක්වා උතුරට අලි – මිනිස් ගැටුම් පැතිරී ඇති බවයි. වැඩිම දේපොළ හානි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, බදුල්ල සහ මොණරාගල දේපොළ හානි වැඩි වශයෙන් වාර්තාවූ සෙසු දිස්ත්‍රික්ක වේ.

තවද මෙම පර්යේෂණය මගින් අනාවරණයවී ඇති විශේෂ කරුණක් වන්නේ මෙතෙක් දිවයිනේ වැඩිම අලි – මිනිස් ගැටුම් ප්‍රමාණයක් වාර්තාවී තිබූ වයඹ පළාතේ ගැටුම් අඩුවෙමින් පවතින අතර අතීතයේ තරමක් අඩු වශයෙන් ගැටුම් වාර්තාවූ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගැටුම් ඉහළ යමින් පවතින බවයි. සංරක්ෂණ පර්යේෂණ ආයතනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසර ගණනාව පුරාවට වයඹ පළාතේ අලි – මිනිස් ගැටුම අවමකර ගැනීම සඳහා ගම්මාන වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීමේ සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීමේ ප්‍රජා සහභාගීත්ව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කල අතර මෙසේ එම කලාපයේ අලි – මිනිස් ගැටුම් අඩුවීමට එම ව්‍යාපෘති හේතුවන්නට ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි. නමුත් ඒ වෙනුවට උතුරුමැද පළාතේ අලි ඇතුන් වනජීවී රක්ෂිත වලට ගාල් කරමින් විදුලි වැට ඉදිකිරීම සහ නැගෙනහිර පළාතේ පසුගිය යුද සමයේ වල් බිහිවී තිබූ ගම්බිම් සහ කුඹුරු නැවත ජනාවාස වීම සහ එම කලාපයේ ඉතිරිව තිබූ වනාන්තර සීග්‍රයෙන් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම එම දෙපලාතේ අලි මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවිය හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ.

මෙම පර්යේෂණය මගින් අනාවරණයවී ඇති තවත් කරුණක් වන්නේ අලි වෙඩි, වන්දි ගෙවීම්, වන අලි පරිස්ථාපනය, සහ වන අලි පලවාහැරීම යන ප්‍රධාන අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම හතර සඳහා රජය මගින් වැයකළ මුදල 2010 – 2018 කාලසීමාව තුල 110% කින් පමණ වර්ධනය වී ඇති බවයි. 2010 වසරේදී මේ සඳහා රුපියල් මිලියන 92 ක් පමණ වැයකර ඇති අතර 2018 වන විට එම ප්‍රමාණය රුපියල් මිලියන 194 දක්වා ඉහළ ගොස් තිබේ. අලි – මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267 ක් පමණ (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට මෙම කාලසීමාව තුලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකර ඇති අතර මහා පරිමාණයේ වන අලි පලවාහැරීම් 10 ක් පමණ (දෙපාර්තමේන්තුව මගින් කුඩා අලි පලවාහැරීමේ මෙහෙයුම් සිය ගණනක් දින පතා සිදුකරයි) වසරක් පාසා සිදුකර ඇත. නමුත් එවන් පසුබිමක අදාළ කාලසීමාව තුල අලි – මිනිස් ගැටුමේ කිසිඳු අඩුවක් සිදුවී නොමැති බව මෙම අධ්‍යනය අනුව පෙනී යයි. ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ ජීවත්වන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වන අතර එම සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කර අලි – මිනිස් ගැටුම විසඳීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසර හැත්තෑවක පමණ කාලය තුල නොගත් උත්සාහයක් නැත. එසේම ඔවුන් අලි – මිනිස් ගැටුම පාලනය සඳහා යොදාගන්නා වනජීවී රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම, අලි පලවාහැරීම, මිනිස් ජීවිත හා දේපොළ වලට හානි සිදුකරන අලින් අල්ලා හොරොව්පතාන වැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගාල් කිරීම වැනි අවිද්‍යාත්මක සහ යල්පැනගිය අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේද මෙන්ම අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම්ද මෙසේ දිවයිනේ අලි – මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවන බවයි පර්යේෂකයින් අවධාරණය කරන්නේ.

එබැවින් වන අලි ඇතුන් තවත් ප්‍රචණ්ඩත්වයට ඇද දමන යල්පැනගිය අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම වලින් මිදී එම සතුන් ඔවුන්ගේ වාසභූමි තුලම සංරක්ෂණය කරමින් විද්‍යාත්මක භූමි පරිහරණ රටාවකට අනුව කටයුතු කිරීම තුලින් අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවියයුතු බවයි පර්යේෂකයින් පවසන්නේ. එසේම වන අලි ඇතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කිරීම වෙනුවට වන අලින්ගේ ප්‍රහාර වලින් බැටකන ගම්මාන ආරක්ෂාවන පරිදි ඒ වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීම සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීම මෙන්ම වන අලි ගැවසෙන ප්‍රදේශවල විශේෂයෙන් රාත්‍රී කාලයේ කටයුතු කිරීමේදී සැළකිලිමත්වීම වැනි කරුණු මගින්ද ජීවිත හා දේපොළ හානි අවමකර ගැනීමට හැකියාව පවතී. තවද වන අලින් නිවෙස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වන කෘෂි අස්වනු නිවෙස් තුල ගබඩාකර තැබීම වැලැක්වීම සඳහා වන අලි – මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල කෘෂි අස්වනු සාධාරණ මිලකට මිලදීගැනීමට රජය මගින් කටයුතු කිරීමද කාලෝචිත බවයි පර්යේෂකයින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

 

ආචාර්ය ප්‍රතිවිරාජ් ප්‍රනාන්දු
ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න
සුපුන් ළහිරු ප්‍රරකාශ්

leave a reply