Breaking News

ළමා සාහිත්‍යයේ නූතන ප්‍රවණතා සහ ලේඛක වගකීම කුමක්ද ?

ජූලි 28 වැනි ඉරුදින පස්වරු 7ට සූම් අවකාශය ඔස්සේ Lit room සංවාද මණ්ඩපයේ 26 වන සංවාදය ලෙසින් විවරණය වන්නේ සාහිත්‍යයේ වත්මන් තත්වය දරුවන් කෙරෙහි බලපාන අන්දම සහ ඒ දරුවන් කෙරෙහි ලේඛක ලේඛිකාවන්ගේ වගවීම පිලිබඳවයි.

සිරිත් පරිදි, ලිට් රූම් සූම් සංවාදය “සාහිත සංවාද” යු ටියුබ් චැනලය හා “ලිට් රූම් ෆේස් බුක් පිටුව” හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත. ළමා සාහිත්‍යය පිලිබඳ රුචි ඔබ සැමට ලිට් රූම් සංවාද මණ්ඩපය සමගින් එක්වන ලෙස “ලිට් රූම් සාමුහිකය” ගෞරවයෙන් ආරාධනා කර සිටියි. (Meeting ID: 845 8577 1133 Passcode: 805451)

උක්ත වැඩසටහනට අප හා සම්පත් දායකත්වයෙන් එක් වන්නේ ලේඛිකා ප්‍රගීතිකා ජයසේකර මහත්මියයි. ඇය කාව්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නමක් දිනා සිටින කිවිඳියකි. ඇයගේ කාව්‍ය නිර්මාණයන් වූ “හත්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්” සහ “වසිලිස්සා වැස්සේ” යන කාව්‍ය සංග්‍රහයන් ද්වීත්වයම මෑත කාලයේදී ප්‍රකාශයට පත් වූ විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහයන් ලෙස හඳුන්වා දීමට පුළුවන. ප්‍රගීතිකා ජයසේකර කිවිඳිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙස ද සේවය කරන්නීය. පාසල් විෂය නිර්දේශ සැකසීම පිළිබඳව ද දැනුමකින් යුතු ඇය “ළමා නවකතාවක් නිර්මාණය කිරන්නේ කෙසේද” යන තේමාව මූලික කරගෙන මෙම සංවාදයේදි අදහස් පළකරනු ඇත.

ළමා ලෝකය යනු මනඃකල්පිතයන්ගෙන් පිරි අසිරිමත් ස්ථානයකි. ළමා සාහිත්‍යය යනු හුදෙක් වැඩිහිටි සාහිත්‍යයේ සරල කළ සංස්කරණයක් හෝ වචන පෙරළීමක් නොවේ. එය දරුවාගේ සුවිශේෂී වර්ධනීය අවධීන්, සංජානන කුසලතා සහ මනෝවිද්‍යාත්මක සාධක මත පදනම් වන ස්වාධීන, අන්තර්-විෂයාත්මක ක්ෂේත්‍රයකි. වැඩිහිටියන්ගේ වර්ධනය ස්ථාවර මට්ටමක පවතින විට, ළමයා ශීඝ්‍ර වර්ධන වක්‍රයක පසුවේ. එම නිසා, දරුවෙකු වෙනුවෙන් ස්වතන්ත්‍ර නිර්මාණයක්, පරිවර්තනයක් හෝ අනුවර්තනයක් සිදු කිරීම සූක්ෂ්ම ශාස්ත්‍රීය මෙහෙයුමකි.

ස්වතන්ත්‍ර ළමා කතාවක් නිර්මාණයේදී කතුවරයා දරුවාගේ ලෝකයටම පිවිසිය යුතු අතර, එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

වයස් කාණ්ඩ හඳුනා ගෙන ඒ ඔස්සේ තමා නිර්මාණය කරන කෘතියේ ඇතුලත් වචන මාලාව, අකුරු ප්‍රමාණය සහ කතාවේ දිග තීරණය කළ යුත්තේ මේ මතය.

ළමා මනස පටලැවිලි සහගත සංකීර්ණ කතා වස්තුවලට සූදානම් නැත. ආරම්භය, මැද සහ අවසානය පැහැදිලි සෘජු, රේඛීය ගලායාමක් සහ සරල චරිත භාවිතය වඩාත් සුදුසුය.

ළමා සාහිත්‍යයේදී පුනරාවර්තනය ප්‍රබල මෙවලමකි. දරුවන් එකම වාක්‍ය රටාවන් නැවත නැවත කියවීමට ප්‍රිය කරති.

සුබවාදී දිශානතිය (Optimistic & Happy Ending) දරුවන්ගේ මානසික නිරෝගීභාවය සහ පෞරුෂ වර්ධනය උදෙසා කෘතිය ක්‍රියාව කේන්ද්‍ර කරගත්, ප්‍රීතිමත් අවසානයක් සහිත එකක් විය යුතුය.

අධ්‍යාපනික ක්‍රියාවලිය ආකාර දෙකකින් සමන්විතය . – සෘජු අධ්‍යාපනය යනු සැඟවුණු අධ්‍යාපනය

ළමා පොත් පරිවර්තනය වැඩිහිටි පොතකට වඩා බෙහෙවින් සංකීර්ණ වගකීමකි. ළමා සාහිත්‍යය යනු උපතේ සිටම සමාජීකරණ අරමුණක් සහිතව.ගොඩ නැගී නිර්මාණය වන්නක් වීමයි.

රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති පවා ළමා සාහිත්‍යය කෙරෙහි බලපායි.

උදාහරණයක් ලෙස, චීන නව විෂයමාලා ප්‍රමිතීන් තුළ Robinson Crusoe වැනි සම්භාව්‍ය කෘති නිර්දේශ කර ඇත්තේ සිසුන්ගේ සදාචාරාත්මක වර්ධනය උදෙසාය.

ගෝලීය මට්ටමින් සිංහල යනු ‘කුඩා භාෂා පද්ධතියක්’ බැවින් ලංකාවේ ළමා සාහිත්‍යය තුළ පරිවර්තන සහ අනුවර්තනවලට (උදා තොප්පි වෙළෙන්දා, පිනෝකියෝ, හැරී පොටර්) ඉහළ ස්ථානයක් හිමිවේ.

මාටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, සිබිල් වෙත්තසිංහ වැනි ලේඛකයන්ගේ සිට පැවතෙන ලාංකීය ළමා සාහිත්‍යය තුළ ආගමික සහ සදාචාරාත්මක වටිනාකම් අන්තර්ගතය. කෙසේ වෙතත්, ඇතැම් කෘති ඕනෑවට වඩා සෘජු උපදේශනාත්මක (Didactic) මුහුණුවරක් ගැනීම නිසා කලාත්මක රසය යටපත් වේ.

දරුවන්ගේ මානසික සහ සංජානන වර්ධනයට හානි නොවන පරිදි ලේඛකයන් සිය නිර්මාණයන් ඉදිරිපත් කල යුතුය.

ළමා සාහිත්‍යය යනු දරුවාගේ පරිකල්පන පියාපත් විහිදුවාලන ජීවමාන කලාවකි. ලේඛකයෙකු, පරිවර්තකයෙකු හෝ අනුවර්තකයෙකු ලෙස ක්‍රියා කිරීමේදී කෝපස් ශෛලිවේදය, ආඛ්‍යානවේදය සහ සංජානන විද්‍යාව වැනි නූතන ප්‍රවේශයන්ගෙන් ලැබෙන අන්තර්-විෂය ආලෝකය මිල කළ නොහැකිය. දරුවාගේ වර්ධන වක්‍රය සහ සංස්කෘතික සීමාවන් නිසි ලෙස වටහා ගනිමින්, නිර්මාණකරණයේ සීමාවන් පිළිබඳව අවදිව සිටීමෙන් ලාංකීය පොත් ලෝකය තුළ ජාත්‍යන්තර මට්ටමේ ළමා නිර්මාණ පද්ධතියක් බිහි කළ හැකිය. හෙට දවසේ ලෝකය භාර ගන්නා දරුවන්ගේ පෞරුෂය නිරෝගීව වර්ධනය කරමින් ඔවුන්ව සුබවාදී දිශානතියකට රැගෙන යාම සමස්ත ළමා ලේඛක ප්‍රජාවගේම අත්‍යවශ්‍ය වගකීමකි.

නිලක්ෂි බණ්ඩාර

leave a reply