Day: July 19, 2024

  • නිර්පාක්ෂික වී රනිල් වික්‍රමසිංහ හංසයා පිට නගින්න සූදානමක් 

    නිර්පාක්ෂික වී රනිල් වික්‍රමසිංහ හංසයා පිට නගින්න සූදානමක් 

    එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදීන් පුන පුනා ප්‍රකාශ කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් ඉදිරිපත් විය යුතු බවයි .   එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවොත් ඇපත් නැති වෙන බව දන්නා  ඔවුන් කෙසේ හෝ  ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සහයද ඇතිව රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සාකච්ඡා පැවැත් වුවද තවමත් ඔවුන්ගෙන් නිසි පිළිතුරක් ලැබී නොමැත  . වික්‍රමසිංහ උත්සාහ දරමින් සිටින්නේ කෙසේ හෝ තවදුරටත් ජනාධිපති පුටුවේ රැඳී සිටීමට   සුදුසු වාතාවරණයක් නිර්මාණය කර ගැනීම සඳහායි .

    කෙසේ වෙතත් දැනගන්නට තිබෙන ආරංචි මාර්ග තහවුරු කරන්නේ රනිල් වික්‍රමසිංහ බොහෝ දුරට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස  හංසයා ලකුණින් තරග කිරීමට අවශ්‍ය කරන සාකච්ඡා පවත්වමින් සිටින බවයි. සරත් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ අතර හදිසි හිතවත්කමක් නිර්මාණය වෙන්නෙ නිල්ට අවශ්‍ය වූ මොහොතක හංසයා ලබා ගැනීමේ උවමනාව ඇතිවයි.

  • මැතිවරණ කොමිසම පනින රිලවුන්ට ඉනිමං බදිනවා – වසන්ත මුදලිගේ

    මැතිවරණ කොමිසම පනින රිලවුන්ට ඉනිමං බදිනවා – වසන්ත මුදලිගේ

    ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරමින් තිබීම ප්‍රශ්නකාරී බව ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ පවසනවා.

    මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම සඳහා සුබ වේලාවක් බැලීම,අධිකරණ නියෝග පැමිණේද යන්න බල සිටීම යන කාරණා අදාළ නොවන අතර මේ මොහොතේ ඒ සම්බන්දයෙන් කිසිවෙකු හෝ අධිකරණයට ගොස් නැති බව මුදලිගේ සඳහන් කරනවා.

    ”මැතිවරණ කොමිසමට බලය ඇවිල්ලා පැය 48ක්. මැතිවරණ කොමිසම කියනවා රාහු කාලය බලල දින කියන්නම් කියල. අපි මැතිවරණ කොමිසමටත් කියනවා පනින රිලවුන්ට ඉනිමං බදින්න එපා කියල. අපිට මැතිවරණ කොමිසමෙන් අහන්න තියෙන්නේ ඇයි කල්දාන්නෙ. ඇයි දවස 15ක් ගන්නේ. රනිල් වික්‍රමසිංහ මේකට කල්දගන්න නම් බලන්නේ එකට එයා ගේම් ගහන්න බලනවා නම් මැතිවරණ කොමිසමට කියන්න බැහැ අපි හොඳ වෙලාවක් බලල කියන්නම් සුභ නැකත බලලා කියන්නම්, ඊට පස්සේ අධිකරණයෙන් නියෝග එයිද කියල බලල කියන්නම්.අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මැතිවරණ අයිතිය අහෝසි කරනවා නම් අපි ඒකටත් විරුද්ධයි.ඒ වගේම මැතිවරණ කොමිසම හිතාමතාම හෝ නොදනුවත්ව ඒකට අදාළව දවසක් හරි කල්දාලා මැදිහත්වීමක් කරනවා නම් අපි ඒකටත් විරුද්ධයි.”

  • වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 50%ක් ඇනහිටලා !

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 50%ක් ඇනහිටලා !

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදු නොකරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසා ඇත්තේ රෝගීන්ගේ අවශ්‍යතාවයෙන් සියයට පනහක් ඉටු නොකරන ආයතනයක අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යභාරය කුමක්ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනය කළ යුතු බවටයි.

    “සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යක්ෂකවරුන්ගේ පරිපාලනමය නොහැකියාව නිසා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රයෝජනයට ගැනෙන කොටස සියයට පනහකට වඩා අකාර්යක්ෂම වී ඇත. නිවැරදි පාලනයක් සිදු කරන්නේ නම් ප්‍රථමයෙන්ම එහි අධ්‍යක්ෂකවරයාගේ වැටුපෙන්ද සියයට පනහක් කපා දැමිය යුතුය.”

    මෙම පරීක්ෂණ සිදු නොකිරීම මගින් ඉතා සංකීර්ණ රෝග හඳුනා ගැනීමට ප්‍රමාද වන අතර ඇතැම් ඒවා සදාකාලිකව හඳුනා නොගනිමින් රෝගීන් ජීවිත කාලය තුළම පීඩා විඳින හෝ ජීවිතක්ෂයට පත්වෙන තත්ත්වයක් ඇතිවිය බවටයි සභාපතිවරයා අනතුරු අඟවන්නේ.

    එසේම ඇතැම් පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර අයාලේ යන හෝ, නිවැරදිව කළමනාකරණය නොවන තත්ත්වයකට පත්වීම මගින් සමස්ත සෞඛ්‍ය සේවාවේ වෑයම ව්‍යාර්ථ වීමට හැකියාව ඇත.

    රෝග පූර්ව වශයෙන් හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගයකින් ගැලවී සිටීමට මහජනතාවට ඇති අයිතිය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය උල්ලංඝනය කර ඇති බවට ද රවි කුමුදේශ් චෝදනා කරයි.

  • විජේදාස ‘නාට්‍ය’

    විජේදාස ‘නාට්‍ය’

    ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

    ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

    මේ අතර ඊයේ දිනයේදීම මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රට බේරාගන්නා ලෙසට මහා සංඝරත්නයෙන් දැනුම් දීමක් කළ බවයි.

    තමන් සමග මුලු මහනුවර ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ම එක්ව සිටින බව ඔහු පවසා ඇත.

    මේ වනවිට රටේ ආර්ථික දේශපාලන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව හැසිරවීම වෙනුවෙන් පනත් සංශෝධනය වෙනුවෙන් රනිල්ට සහය වෙමින් සිටින්නේ විජේදාස රාජපක්ෂයි.

    නමුත් ඔහු එක විට රනිල්ට පක්ෂපාති මෙන්ම විරුද්ධ චරිත ද රඟපාමින් සිටියි. කෙසේවෙතත් මේ පිටුපස බලයට ඇති කෑදරකම නම් අනිවාර්යයෙන් පවතින බව බොහෝ පිරිසක් පවසමින් සිටියි.

  • පොලීසියට තව තවත් නීති කැඩීමට උඩගෙඩි දෙන පොලිසිය බාර ඇමති

    පොලීසියට තව තවත් නීති කැඩීමට උඩගෙඩි දෙන පොලිසිය බාර ඇමති

    ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

    ටිරාන් අලස් සඳහන් කරේ අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව දෙදෙනෙකු හැර මේ වන විට සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඔහු මේ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (18) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

    බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ඔහුට අවවාද කර ඇති බවත් මින් මතුවට එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගන්නා බවට දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

    එම සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ පීඩනය හේතුවෙන් එම වරද සිදුවී තිබූ බව පැවසු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තවදුරටත් සඳහන් කළා.

    “දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා කරත් කිසිම දෙයක් නොවුණ විදියට තමා කතා කරන්නේ. මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. යන්න ගමින් ගමට යන්න. නගරයෙන් නගරයට යන්න. ගිහින් අහන්න මහජනතාවගෙන් ඉස්සර වගේම කුඩු තියෙනවා ද? ඉස්සර වගේම පාතාලේ ක්‍රියාත්මක වෙනවා ද? එතකොට හරි තත්ත්වය බලාගන්න පුළුවන්. මම කියන්නේ කුඩු විකුණන අයට සහ පාතාලේ අයට අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. පොලීසියත් STF එකත් මොවුන් පසුපස හඹා යනවා. කොහේ හිටියත් අල්ලනවා.අතුරුගිරිය සිද්ධියේ අපි අත්අඩංගුවට ගත යුතු බොහෝ දෙනා අරන් තියෙන්නේ. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. ඇඹිලිපිටියේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සහ රයිඩ යන දෙන්නම අත්අඩංගුවට ගත්තා. අම්බලන්ගොඩ වෙඩිතැබීමේ ඊයේ වෙද්දි අත්අඩංගුවට අරන් ඉවරයි. සිද්ධිය වෙන එක නවත්ත ගන්න බැරි වෙන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් පස්සේ එළියට ගිය ආයුධ තියෙන්නේ.”

    පොලිස් නිලධාරීන් විසින් නීතිය උල්ලංඝණය කිරීමේ අවස්ථා වාර්තා වීම සාමාන්‍යකරණය වී තිබේ. අත්අඩංගුවේදී පුද්ගලයන්ට පහරදීම්, ඝාතනයන්, මහජන ඒකරාශී වීමකදී සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා වැනි දේවල් ඉතා සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. මෙයට හේතුව වන්නේ නීතිය උල්ලඝණය කිරීමට ඔවුන්ට බලය ඇති බවට වන අදහසයි. නීතිය උල්ලංඝනයකදී අදාළ නිලධාරීන්ට නිසි පරිදි දඬුවම් නොලැබීමද බහුලව සිදුවේ. මේ හරහා පොලිසිය විසින් කරන අපරාධ වැඩි වීමක් මිස අඩුවීමක් සිදුනොවේ. ඉතා සිද්ධියේ පොලිස් නිලධාරීන්ට දඬුවම් නොකිරීමෙන් පොලීසිය බාර අමතිවරණය ලෙස ටිරාන් අලස් සිදුකරන්නේ තවත් නීති උල්ලංඝණය කිරීම සඳහා අනුබල දීමකි.