Breaking News

ඒකී හඳ එළියට හිනාවුණා

ලයනල් වික්‍රමාඅරච්චි රචිත”ඒකී හඳ එළියට හිනාවුණා..” ප්‍රබන්ධය
දොරට වැඩුම නිමිත්තෙන් 2026 ජූලි 12වෙනි දින කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයෙහි පවත්වන සංවාදයෙහි
අදහස් දැක්ම..

“ඒකී හඳ එළියට හිනා වුණා “සමගින්
මානවීයත්වයේ සිහින හඹා යන්නා…

අද අපට සුවිශේෂී දිනයක්..වගේම අපේ සාහිත්‍යයෙහි මෙන්ම සමාජ ප්‍රගමනය සදහා වන ගමන් මගෙහි නැවුම් බලාපොරොත්තුවක් තැබිය හැකි දවසක්..

වසර 31ක් පුරා
දිවි මග එක්ව පැමිණි මානවහිතවාදී නිර්මාණකාරිනියකගේ සහ නිර්මාණකරුවෙකුගේ කුළුදුල් නිර්මාණයන් එකම මොහොතක එළි දක්වන ඉතාමත් දුර්ලභ අවස්ථාවකට අප එක් වී සිටිනවා..ලයනල් වික්‍රමආරච්චිගේ “ඒකී හඳ එළියට හිනාවුණා” සහ කුමුදුනී මෙන්ඩිස් ගේ “කුරුලු සුන්දර මතක ඇහිදිමි” නිර්මාණ ද්විත්වය එළි දැක්වෙන සොදුරු නිමේෂයෙහි වික්‍රමආරච්චි
සහෝදරයා නිර්මාණය කළ

“ඒකී හඳ එළියට හිනා වුණා..” ප්‍රබන්ධය පිළිබද මගේ අදහස් ඔබ සමග බෙදා ගන්න ලැබීම සතුටක්..

මෙහි අත් පිටපත කියවන විට මා බරපතල සංවේදනාවකට..
කම්පනයකට ලක් වුණා වගේම මේ නිර්මාණය හරහා හඹා යාමට වෑයම් කරන සමාජ ප්‍රගමනයේ සිහිනය පිළිබද සියුම් බලාපොරොත්තුවක්ද මනසෙහි දල්වනු ලැබුවා.

ජීවිතයේ මෙතෙක් පිය මැන ආ ගමන් මග වඩා යහපත් සමාජයක් පිළිබද මේ අපූර්ව සිහින ලුහු බදින්නා..
ඔහු අත් විදි සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික අනුභූතීන් ගැඹුරු මානවීයත්වකින්..
පුළුල් දේශපාලනික දැක්මකින් ග්‍රහණය කර ගනිමින් ලාංකික සමාජයට නව සිතා බැලීමක් සදහා අභිමුඛ කරන්නට වෑයම් කර තිබෙනවා.

මා මේ නිර්මාණ කියවා ගන්නේ දේශපාලන ශානරයට අයත් ප්‍රබන්ධයන් ලෙසයි.

මාක්ස්වාදී විග්‍රහට අනුව කලාකරුවකු භෞතික ලෝකය අත්විඳින ආකාරය ග්‍රහණය කර ගන්නා ස්වභාවය හා ඒ පිළිබද දෘෂ්ටිමය කියවීම ඔහුගේ නිර්මාණයට පාදක වෙනවා.

“ඒකී හඳ එළියට හිනාවුණා” ප්‍රබන්ධය පුරාම මානවීයත්වයේ විවිධ කලාපයන්හි විවිධ ස්තරයන්හි මනුෂ්‍යත්වය මුහුණ දෙන පීඩිත ස්වභාවය වෙනස්ම මානයකින් ස්පර්ශ කරමින් ඒ පීඩනයට එරෙහිව සමාජ දේශපාලන නැගී සිටීමක සංවාදයක්..
අපේක්ෂණයක් … ඉතාම සියුම්ව ගොඩ නැංවීමට කතුවරයා උත්සාහ දරා තිබෙන බව පැහැදිලියි.

අපූර්ව අනුභූතීන් 6ක් ඔස්සේ ගොඩ නංවන මේ සංවාදය හරහා ලාංකික සමාජයේ යටපත් කරන ලද අවධානයට ලක් නොවූ පීඩිත පංතියේ දිළිදුකමේ හා සමාජ සංස්කෘතික හුදකලාවේ නව ගැඹුරු හරස්කඩක් නිරූපණය කෙරෙනවා.

සිය වෛද්‍ය වෘත්තිමය ජීවිතයේදී ලද බොහෝ අද්දැකීම් අතරින් බිදක් කැටිකර ලාංකික සමාජ දේශපාලන සංවාදයට ලයනල් වික්‍රමආරච්චි සොයුරා රැගෙන එනුයේ ශිෂ්‍ය අවධියෙහි සිට ඔහු විශ්වාස කරන සමානත්වයෙන් යුක්ති සහගත බවින් පරිපූර්ණ මානවීය දේශපාලන ආර්ථික සමාජ පසුතලයක් බිහි කරලීමේ මානවීය අරමුණ පෙරදැරිවයි. පසුගිය සියවස් දෙක පුරා ලොව මානව දයාව පෙර දැරි කර ගත් අතිශයින් සංවේදී කලාකරුවන්..
සමාජ දේශපාලන ක්‍රියාධරයන්..
මාධ්‍යවේදීන් ..
තමා ජීවත්වන දේශපාලන සමාජ සංස්කෘතියේ පීඩාකාරී යථාර්ථය මග හැර නොයා ස්පර්ශ කරමින් විදහා දැක්වීමට ගත් උත්සාහයට වික්‍රමආරච්චි සොයුරාද පුළුල් දේශපාලන
සවිඥානකත්වයකින් යුතුව ලාංකික සංදර්භයට එක්ව සිටීම “ඒකී හඳ එළියට හිනා වුණා”
ප්‍රබන්ධය සිසාරා පිළිඹිඹු වෙනවා.
ඒ නිසා මෙය හුදු සාහිත්‍යමය නිර්මාණයකින් ඔබ්බේ පැහැදිලි සමාජ දේශපාලන සංස්කෘතික මතවාදී පරිවර්තනයක් සහ අපේ සංස්කෘතික ජීවන භාවිතාවෙහි වඩා යහපත් පරිවර්තනයක් වෙනුවෙන් මුදා හරින අදහස් ප්‍රකාශනයක් ලෙස හදුන්වන්න කැමැතියි.

මට මෙහි “ඒකී හඳ එළියට හිනාවුණා” ස්පර්ශ කිරීමේදී ජෝන් ස්ටෙයින්බෙක් ගේ “වෛරයේ මිදිඵලය” කෘතිය සහ ඇන්ටන් චෙකොෆ්ගේ “හයේ වාට්ටුව “කෘතිය සිහිපත් වුණා..
විශ්ව සාහිත්‍යය තුළ ඉතාමත් සම්භාවනට පාත්‍රව ඇති මෙම කෘතීන් හරහා එකී නිර්මාණකරුවන් තමා අයත් දේශපාලන සමාජ පරිසරයන්හි පාලකයන් හා ධනපතීන් විසින් සමාජයේ ආන්තික කංඩායම් පීඩනයට පත් කරන ම්ලේච්ඡත්වය හා සමාජ සිතීම්හි වන මුග්ධත්වය ඉතාම සියුම්ව නිරූපණය කර ඇති සේම ලයනල් වික්‍රමආරච්චි ඔහුගේ කුලුඳුල් කෘතියෙන්ම ලාංකික පාලකයන්ගේ හා නිලධාරීන්ගේ මෙන්ම සමාජ මතවාදයන්හි මුග්ධත්වය සහ සමාජ ආර්ථික පීඩනයේ රළු බව ලාංකික ස්වරූපයෙන් ප්‍රශස්ත ලෙස නිරූපණය කරන්නට සමත්ව තිබීම අගයනවා.

ස්ටෙයින් බෙක් සිය නිර්මාණයෙහි 1930 දශකයේ ඇමරිකාවේ මහා ආර්ථික අවපාත සමයේ දරිද්‍රතාව කුසගින්න සමග ඉතාම දුක්ඛිත දිවි පෙවතක් ගෙවන අලුත් ජීවිතයක් සොයා බලාපොරොත්තු දල්වාගෙන වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වන කෘෂි කම්කරුවන් මුහුණ දෙන අතිශයින් පීඩිත ජීවන අරගලය නිරූපණය කරනවා.
වික්‍රමආරච්චි සොයුරා ලාංකික නිර්මාණත්මක ප්‍රකාශනයේ බරැති සලකුණක් සනිටුහන් කරමින් පාලකයන් ගේ අභිලාෂයන් මත මානව දිවියට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සම්පාදනය නොකර විධිමත් සැලැස්මකින් තොරව ගොඩ නැංවූ ලාංකික ගොවි ජනපදකරණයේ අසාර්ථක බිද වැටීම හමුවේ තමා මුහුණ පාන කටුක ජීවිතයෙන් මිදී නව ජීවිතයක් සොයා පලා යන පීඩිත කෘෂි කම්කරුවන් ලේ දහදිය කදුළු කුසගින්න සමගින් කරන ජීවන අරගලය දේශපාලනිකව මනා ලෙස සංකේතවත් කරමින් නිරූපණය කරනවා. කුසගින්නේ සිටින බිළිදු පුතුගේ කුසගින්න නිවීමට කිරි කදුලක් නැති පියයුර කපා විමලාවතී රුධිරය පොවන්නේ මේ සමාජ අසාධාරණය ඔඩු දිවූ ලාංකික සමාජ ව්‍යුහයේ පදනම් බරපතල ලෙස අභියෝගාත්මකව ප්‍රශ්න කරමින් පුපුරුවා හරිමිනි.
පීඩිතයා යළි යළිත් පීඩනයට පත් කරවන මේ චක්‍රීය දූෂිත බල ව්‍යුහය ..නීතිය..
ආර්ථිකය.. කතුවරයා මෙම රූපකාර්ථයන් හරහා මෙහි ඍජුව ප්‍රශ්න කරමින් මේ පීඩනය අවසන් කිරීමට සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාව පිළිබද ඉගියක් දල්වනවා.
“ඒකී හඳ එළියට හිනාවුණා” අනුභූතියෙහි මෙන්ම “ගුණවතී” “භාරකරු” “අනුත්තරා” නිර්මාණයන් විමසීමේදී මට හැගෙන්නේ මෙයට ශත වර්ෂයකට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ලාංකික ගැමියන් අත් විදින පීඩනයෙහි කටෝරත්වය සිය නිර්මාණාත්මක චින්තනය හරහා විදහා දැක්වූ ලෙනාඩ් වුල්ෆ් ගේ මානවීය අදහස් ප්‍රකාශනයේ දිගුවක් ලයනල් වික්‍රආරච්චි විසින් වර්තමානයේ නව යටත් විජිත පාලන බල ව්‍යුහයක නව ලිබරල් ධනවාදී ආර්ථික රටාවක ගැමි ජීවිතයේ පීඩනයේ සැබෑ ස්වරූපය සමග බද්ධ කර ඔහුට ආවේණික ස්වීය ශෛලයකින් යාවත්කාලීන කරමින් නිර්මාණය කර ඇති බවයි.

එකිනෙකට වෙනස් වුවද එකම හුයකින් යා කර ඇති මෙම ප්‍රබන්ධයෙහි හමුවන අනුත්තරා..ගුණවතී..ජේමිස්..විමලාවතී..සයිමන් පෙරේරා.. .. නිමන්ති..සුරංගලාගේ ජීවන අනුභූතින් නිර්මාණාත්මක ලෙස පරිකල්පනය
අපේම සමාජ සංස්කෘතිය තුළ දිවි ගෙවන ජීවිතයේ අනන්ත පීඩා උසුලා..මිය යන සමාජමය ජීවිතයේ හුදකලා කළ ..නොතකා හළ.. මනුෂ්‍ය ප්‍රජාවක ගේ ජීවිතය පුළුල් ලෙස විනිවිදිමින් ඒ ජීවිත යන්ට වටිනාකමක් ආරෝපණය කරන්නට ගත් වෑයමක්..එසේම මෙය පීඩාකාරී සමාජ සංස්කෘතික පවුරු බිද දැමීමට වෑයම් කරන සමාජ දේශපාලන පැහැදිලි ක්‍රම වෙනසක් අපේක්ෂා කරමින් අපව හුදකලා ආත්මීය භාෂණයකට මෙන්ම පොදු සමාජ දේශපාලන සංවාදයකට කැදවන සහෝදරාත්මක නිර්මාණාත්මක සංවාදයක්..

මේ නිර්මාණාත්මක සංවාදයේදී ඔහු මානවීයත්වය දෙස හෙළන පෘථුල දෘෂ්ටිය මෙන්ම ස්ත්‍රීත්වය..
මාතෘත්වය..
දෙස හෙළන සුවිශේෂී මානව හිතවාදී භාවයද කැපී පෙනෙනවා.

අප ඇසුරු කර ඇති සාහිත්‍ය නිර්මාණ අතර වික්‍රමආරච්චි සොයුරා නිමවූ “භාරකරු” කිසිදු භාරකරුවකු නොමැති දිවියක අදුරු රෝහල් කොරිඩෝවක “හුදකලා මරණයක්” ප්‍රති නිර්මාණය කරනුයේ කැමූ හෙමිංවේ වැන්නවුන් මනුෂ්‍යත්වයේ හුදකලා පීඩනය නිරූපණය කරන්නාක් මෙන් ඔහුටම අනන්‍යය සුවිශේෂී තානයකිනි. “භාරකරු” ගේ හුදකලා මිනිය
කියවන්නා ගැඹුරු ක්ෂිතිමය කම්පනයකට ලක් කරමින් ජීවිතය හුදකලාව ගවේෂණය කරන්නට මනස් පොළඹවාලන විශිෂ්ට අනුභූතියකි..

උතුරේ ලේ විලක් මැද දකුණේ කිරිබත් පිස කෑමේ අමානුෂික මනෝභාවය බරපතල ලෙස ප්‍රශ්න කරනා ප්‍රතික්ෂේප කරනා සුරංග ගේ සිහිනය දශක ගණනාවක් ලාංකික සමාජය පෙළූ කදුළු කෙතක් තරණය කර සහෝදරත්වයෙන් උතුර දකුණ යා කිරීමේ මානවීය සංවාදයක් ගොඩ නැංවීමය.

“රතු පොතේ කථාවක් ද ” සංස්කෘතිය නීතිය හා මනුෂ්‍යත්වය අතර දෝලනය වෙමින් ස්ත්‍රීත්වයේ මානවීය වටිනාකම් පිළිබද ගැහැනියගේ නිදහස සීමා කරනා පීඩාවට පත් කරනා ගර්භය හා ගැට ගැසූ සංස්කෘතික නෛතික සිතීම් වලින් මිදී නව ආකාරයකින් ගැහැනියකගේ ජීවිතය දෙස සිතා බලන්නට ගත් අපූර්ව නිර්මාණයකි.

මෙවන් වූ ගැඹුරු මානවීය දෘෂ්ටියකින් අපූර්ව පරිකල්පනයක් ඔස්සේ කාලය හා අවකාශය අපූර්ව හා සූක්ෂම ලෙස ග්‍රහණය කර ගනිමින් සමාජ ජීවන යථාර්ථය නිර්මාණය ඔස්සේ ලාංකික පාඨකාගාරයට ප්‍රවේශ වන “ඒකී හඳ එළියට
හිනා වුණා..” ප්‍රබන්ධය අපේ පාඨක මනස් නිසැකවම නව සිතීමේ රේඛාවක් කරා රැගෙන යනු ඇත.එවන් නිර්මාණාත්මක දේශපාලන අදහස් ප්‍රකාශයක් සිය කුළුදුල් ප්‍රකාශනය හරහා අප හමුවට ප්‍රවේශ කිරීම පිළිබද ලයනල් වික්‍රමාආරච්චි සහෝදරයාට අපගේ හෘදයාංගම ප්‍රණාමය පුදනවා.එසේම ඉදිරියේදී තවත් පෘථුල මැදිහත්වීමක් ඔස්සේ අපගේ දේශපාලන සමාජ ප්‍රගමනය වෙනුවෙන් ඔබගේ නිර්මාණාත්මක චින්තනය..
හා ලේඛන
කෞශල්‍ය..
දායක කරන්නට උණුසුම් සුභාශිංසන පතනවා.

තිලිනා වීරසිංහ
තිලිනා වීරසිංහ


2026 ජූලි 12

leave a reply