2026 අප්‍රේල් 27 සිළුමිණ පුවත්පතෙහි “මදුසමය අහිමි මංගල්‍යය” හා “පිටුවහල් කළ තරුණිය” ප්‍රබන්ධයන් පිළිබද නිර්මාණශීලී කිවිදියක, ලේඛිකාවක වන පද්මිණී ශ්‍රියාලතා විසින් පළ කළ විචාරාත්මක සටහන…
සමාජීය සංවාදයට එතරම් අවධානය යොමු නොවූ ස්ත්‍රියගේ පීඩනයට එරෙහි මේ ප්‍රබන්ධ පිළිබද අගනා අදහස් දැක්වීමක් කළ පද්මිණී ශ්‍රියාලතා සොයුරියට හා ඒ අදහස් සිළුමිණ පුවත්පතෙහි පළ කර සමාජගත කරන්න සහය වූ ජයත් පියදසුන් සොයුරාට ආදරණිය ප්‍රණාමය පුදමි
ස්ත්‍රීත්වය වෙනුවෙන් හඬ නඟන කෙටිකතා සහ තිලිනා වීරසිංහ
උඩුගං බලා පිහිනා යාමට කෙටිකතාව නම් වූ සාහිත්‍ය ප්‍රවාහය තුළට බට තිලිනා වීරසිංහ ලාංකේය සිංහල කෙටි කතා කලාව තුළ කාන්තා සලකුණ ගැඹුරින් මුද්‍රා තැබීමට සමත් වූ ලේඛිකාවකි. මෙයට දශක තුනකට පෙර ස්ත්‍රිය වෙනුවෙන් සිය පෑන මෙහෙයවූ තිලිනාගේ නිර්මාණ වලට නිසි වටිනාකම ලබාදිය යුත්තේ එම නිර්මාණ අදාළ කාලය තුළ පිහිටුවාගෙන කියවීමෙන් යැයි මම විශ්වාස කරමි.
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ, සංස්කෘතික සහ දේශපාලන වටපිටාව තුළ කුටුම්බගත ගැහැනිය මත පැටවෙන පීඩනය, හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කතා කරන තිලිනා ලිංගික ක්‍රියාවලියේ දී ගැහැනියට අත්විඳින්නට සිදුවන ක්‍රෑරත්වය පිළිබඳව වෙසෙසින් සාකච්ඡා කරයි.
නොනිමි සාපිපාසාවකින් පොත පත කියවීමෙන් සහ රාජකාරි කටයුතු වලදී සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන ජන කොටස් හා ගැටීමෙන් උරා පෙරා උකහාගත් අත්දැකීම් ඇය සිය කෙටිකතා සඳහා පාදක කරගෙන තිබේ. එම සිදුවීම් බහුතර සමාජය වෙත අනාවරණය කිරීමටත්, ඒ පිළිබඳ කතිකාවක් ගොඩනැගීමටත් ඇය ගත් උත්සාහය කෙතෙක් දුරට සාර්ථක වූවාදැයි නොදන්නා නමුත් කාලයට සාපේක්ෂව තරුණියක ලෙස අභීතව එවන් අසාධාරණ සහ ඛේදවාචක පිළිබඳව කතා කරන්නට තිලිනා ගත් උත්සාහය මම අගය කරමි.
වරක් ජර්මන් ජාතික රෛනමරියා රිල්ක, තමාට කවි ලිවීමට උගන්වන ලෙස ඉල්ලා සිටි කස්පුස් නම් ශිෂ්‍ය සොල්දාදුවාට කියන්නේ අත්දැකීම් ලෙස තම අභ්‍යන්තරයට ඇතුළු වී කැරලි ගසන දෑ නොලියා ජීවත්විය හැකි යැයි යමෙක් සිතන්නේ නම් එවැන්නෙක් නොලිවිය යුතු බවයි. එසේනම් තිලිනා මේ සියලු අත්දැකීම් ප්‍රතිනිර්මාණය කර ඇත්තේ නොලියා සිටිය නොහැකි තැනය යන්න මම විශ්වාස කරමි.
සුප්‍රකට ඇමෙරිකානු කිවිඳියක වන මායා ඇන්ජලෝ වයස අවුරුදු අටේදී සිය මවගේ පෙම්වතා අතින් ලිංගික අතවරයකට ලක් වූ බවත්, පසුව මවගේ සොහොයුරන් අතින් ඔහු මරණයට පත් වූ බවත්, තම වචනය නිසා මිනිසෙක් ඝාතනය වූවා ය යන වේදනාව හේතුවෙන් මායා වසර පහක් කතා නොකර සිටි බවත් පැවසේ.
කාලය, ජාතිය, රට ආදී නාමකරණ නොසලකා අද ද එවන් ඛේදවාචක ලොව සෑම තැනකම සිදුවේ. අපේ රටේ කියා වෙනසක් නැත. සාදාචාරය අගය කරන සාධු සමාජය තුළ දැරියක් අතවරයට ලක්වූ අවස්ථාවකදී පවා වින්දිත පාර්ශවය එය වසං කිරීමට උත්සාහ කරන්නේ කබලෙන් ලිපට වැටීම, නොවේ නම් සිදු වූ අතවරය කරණකොටගෙන සමාජ සංස්ථාවෙන් එල්ලවන අපහාස, උපහාස, චෝදනා වළක්වා ගැනීම සඳහා ය. අනෙක් අතට මෙවැනි කාරණාවකදී චූදිත පාර්ශවය ශක්තිමත් ය. ඇතැම් විට දේශපාලනයේ නිරත වූවන් ය. නැතහොත් දේශපාලකයින්ගේ සමීපතමයෝ ය. නීතිය පවා අසරණයින්ගේ පස හිටගන්නේ කලාතුරකින් ය.
මදු සමය අහිමි මංගල්‍යය කෙටිකතා පොතෙහි එන “සාක්කි නැති කන්‍යා පටලය” එවන් ඛේදවාචකයක් අලලා රචිත කෙටිකතාවකි. බුත්තල ප්‍රදේශයේ කම්කරුවකුගේ 14 හැවිරිදි දියණියක පාසල් නොගොස් මැලේරියාව වැලදී ඇද්දැයි පරීක්ෂා කිරීමට රෝහලට ගොස් යළි නිවස බලා යාමට බසයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටියදී පැහැරගෙන ගොස් හත් දෙනෙකු විසින් බලහත්කාරී සංසර්ගය පැමිණවීමෙන් අනතුරුව වෙනත් තැනකට රැගෙන යාමේදී පලාගොස් තිබේ.
සිද්ධිය පොලීසිය වෙත පැමිණිළි කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට කෙටිකතාවේ කතිකාව ද සහභාගී වේ. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ දී දැරිය සාක්ෂිකරුවන් සය දෙනෙකු හඳුනා ගත්ත ද වෛද්‍ය වාර්තා හා අනෙකුත් සාක්ෂි මත මහසේත්‍රාත්වරිය තීරණය කරන්නේ දැරියට ලිංගික අනතුරක් සිදු වී නොමැති බවයි. එපමණක් නොව ඇපකරුවන් ද නිදහස් කරනු ලබයි. හත්දෙනෙක් විසින් බලහත්කාරී සංසර්ගය පැමිණවීම කරන ලද දැරියකට එසේ පලා යා හැකිද යන්න යමෙකුට ගැටලුවක් උද්ගත විය හැකි වන මුත්, උපතේ සිට කාෂ්ඨක පරිසරයකට සහ නැතිබැරිකම් වලට අනුවර්තනය වූ දැරිවියකට පලා යාමට තරම් දිරි වඩවා ගැනීමට නොහැකියාවක් නැත.
මෙම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරන තිලිනා ඒවායෙහි ගැබ්වුණු ව්‍යාජත්වය, මනුෂ්‍යත්වය, අපේක්ෂා භංගවීම්, ප්‍රාර්ථනා ආදිය සියුම්ව සිය ද්‍රෘෂ්ඨියට හසුකරගන්නී, අසාධාරණය හමුවේ ඇස්කන් පියාගෙන නොසිටිය යුතු යැයි පාඨකයා වෙත ඒත්තු ගන්වන්නී ය.
ගතානුගතික අදහස් කරපින්නාගත් සාම්ප්‍රදායක සමාජය තුළ ගැහැනියකට ස්වාධීනව ජීවත් වීමේ ඉඩකඩ කොතෙක් දුරට අහුරා තිබේද? ඇයගේ අත්පා යුතුකම්, වගකීම්, සිරිත් විරිත් ආදියෙන් ගැට ගසා තිබේ. එවන් තත්ත්වයක් තුළදී වුව ද නොබියව ඒ වරපට පුපුරුවා හරිමින් තමන්ට ඕනෑ හැටියට ජීවත් වූ ගැහැනු එදාත් සිටිය හ. අදත් සිටිති. ඔවුනට ලෝකයා සිතන පතන ආකාරය පලක් නැත. තමාට එරෙහි වන්නන්ට, ගරහන්නන්ට සේම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පැමිනෙන්නන්ට ද ඇය ඇගේ ක්‍රමයට පිළිතුරු දෙයි. තමාට ඕන හැටියට ජීවත් වෙයි.
පිටුවහල් කළ තරුණිය කෘතියේ එන” සමුගත් උණුසුම” කෙටි කතාවෙහි හමුවන ගැහැනිය එවැන්නියකි.
“ඇය කිසිවෙකු සමග සැසඳුණේ නැත.
වඩාත් හොඳ වූයේ නැත.
වෙනත් ගැහැනියකට කරන්නට බැරි කිසිවක් කළේ ද නැත.
ඇය බිය නොවී සිටියා.
අවශ්‍ය තරමට උණුසුම් වූවා.
පිරිමින් ඇය සොයා ගියා.
ඇය විශේෂතා නොදක්වා ඔවුන්ව පිළිගනු ලැබුවා.
අපහසුවකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.” (පි.21)
ගැහැනුන් බිය වූ, පිරිමින් ප්‍රිය වූ එවන් ගැහැනියක් ප්‍රතිනිර්මාණය කරමින්, පාඨකයාගේ සිතිවිලි ප්‍රවාහය වෙනස් කිරීමට තිලිනා උත්සාහ කරන්නේ මීට දශක දෙකකට එපිටදී ය.
“පිටුවහල් කළ තරුණිය” ද මෙම කෘතියේ එන අපූරු කෙටිකතාවකි. පරපීඩක කාමුකත්වය තුළ දෛනිකව හිංසනයට ලක්වන ගැහැනියක විඳින ශාරීරික මෙන්ම මානසික පීඩනය ද මනාව ග්‍රහණය කර ගැනීමට එතුළ තිලිනා සමත් වී තිබේ.
මදුසමය අහිමි මංගල්‍යය කෘතියේ එනමින්ම එන කෙටිකතාව වෙනස් ආකාරයක අපූරු කෙටිකතාවකි. මා සැලකිය යුතු තරමක ප්‍රබන්ධ සාහිත්‍ය කෘති කියවා ඇතත්, මෙවන් අනුභූතියක් විවෘතව සහ තාත්විකව සාකච්ඡාවට බදුන් වු අයුරු ඇස ගැසුණේ ප්‍රථම වතාවට ය. කතාව ගොඩනැගී ඇත්තේ තරමක් වත්කම් සහිත පවුලක ලාබාල තරුණියක සහ ඇය විවාහ කර ගැනීමට ඇයගේ “හොඳ හිත” භාවිතා කරන කිසිඳු වැදගැම්මකට නැති තරුණයෙක් වටා ය. ඔහු මෙම රූමතිය විවාහ කරගැනීමට එවක භාවිතා කළ හැකි වූ හොඳම තුරුම්පුව වූ භීෂණ සමයක මරණ තර්ජනය භාවිතා කරයි. විවාහ වූ නමුදු ඔවුන’තර කිසිඳු ආදරයක් හෝ බැදීමක් නොමැත.
මෙම විවාහය තුළ ගැහැනිය මෙන්ම පිරිමියා ද එක හා සමානව අපහසුතාවයට පත් වේ. ගැහැනිය අපේක්ෂා කරන මෘදු ආදරණීය පිරිමියා ඇයට හමු නොවෙයි. ඇය අපේක්ෂා කරන රැකවරණය, ගෞරවය හෝ වටිනාකම් වෙනුවට ඇයට හිමිවන්නේ ගැරහීම් සහ අවමානයන් පමණි. අනික් අතට පිරිමියා අපේක්ෂිත සම්භෝගය සඳහා ඔහුට ගැහැනියගෙන් ඉඩ හසර ලැබෙන්නේ ද නැත.
“ඇත්ත වශයෙන්ම මධු සමය ගෙවා ගන්නා සියලු ම මනාලියන් සතුටෙන් සිටී ද? .. ඔවුනට මෘදු ආදරණීය මනාලයන් හමු වේද? .. මනාලයෙකු බලහත්කාරී ලෙස සංසර්ගයේ යෙදීම ලිංගික ප්‍රචණ්ඩත්වයක් ලෙස නොසිතන්නේද?.. මධුසමයක් නොමැති මංගල්ලයක දරුවන් බිහිකළ හැකිද? සෑම මංගල්‍යයක් තුළ ම එක ම එක් වරක් හෝ මනාලියක… ප්‍රචණ්ඩත්වයකට ලක්වන්නේ නැතිද? … එම ප්‍රචණ්ඩත්වයට එරෙහි වීමට මනාලියට අයිතියක් නැතිද? මනාලිය තමා ප්‍රශ්න කරන්නන් පෙරළා ප්‍රශ්න කරන්නේ නම් ප්‍රශ්න එයාකාරයෙන් විය යුතු යැයි සිතුවාය.” (පි.102)
සැබැවින්ම කුටුමිබය තුළ ගැහැනිය ඉහත කී ගැටලුවලට එක්වරක්වත් මුහුණ පා නැද්ද? විවාහ වී මධුසමය ගත කිරීමට යන සියලු මනාලියන්ට එකම එක මොහොතකවත් සිය විවාහය හැරදමා ආපසු යාමට නොසිතෙන්නේද?. තිලිනා ප්‍රශ්න කරන්නේ ලාංකේය සංස්කෘතිය තුළ ගැඹුරු කතිකාවකට ලක් විය යුතු සංස්කෘතික කටුකම්බි පිළිබඳව නොවේද? මෙම ප්‍රශ්න කිරීම් ලේඛිකාවගේ පෞද්ගලික සිදුවීම්ය යන පටු මානසිකත්වය තුළටම ලඝු කළ හැකිද?
“මනාලයා ඉකි බිඳිමින් , දත් කූරු සපමින් මංගල යහනට දෑත් මොලවා පහර ගසමින් ඇඳ ඇතිරිලි කොට්ට එහා මෙහා වීසි කරමින් කෑගැසුවේ ය. බිත්තියේ හිස ගසා ගනිමින් වැළපුණේ ය. සිය ලිගුවෙහි වෘෂණ කෝෂ මිරිකා ගනිමින් කෑගෑවේය.”(පි.103)
මෙම කෙටිකතාව තුළ අදාළ ප්‍රධාන චරිත දෙක හැසිරිවීමේ දී ඔවුන්ගේ හැසිරීම්, චිත්ත චෛතසික ආවේගයන් සමීපව කියවා ගන්නා ආකාරය සැබැවින්ම අගය කළ යුතුය. අඳුරු කළු කුහර තුළ ඕනෑම මොහොතක දෝනා බැසීමට සූදානම් ජාගර මිනිස් සන්තානය තුළ මිනිසා ඉක්මවා නරුම ම්ලේච්ඡත්වය නිසඟයෙන්ම ඉස්මතු වන ආකාරය ප්‍රකාශ කිරීමට කතුවරිය දරා ඇති උත්සාහය බොහෝ දුරට සාර්ථක වී තිබේ.
“තවත් ගෑනුන්ට මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද?
එහෙම නම් නම් කවුරුවත් ඒ ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි?
මම මේ ගැන කතා කරනවා. ඔව්… අද හෙට බැරි වුණත් කවදහරි දවසක මේ ගැන කතා කරනවා” (පි.104)
තිලිනා මේ හඬ නගන්නේ වසර දහස් ගණනක් විවාහ සංස්ථාව තුළ පීඩනය සඟවා ගනිමින් තනිව විඳවන සමස්ත ස්ත්‍රී වර්ගයා වෙනුවෙන්මය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිංසනය පිළිබඳව ජන විඤ්ඤාණය අද තරමටවත් පුළුල් නොවු දශක දෙකකට එපිට ගැහැනියක යනු හුදු ලිංගික මෙවලමකට එහා ගිය ලේ මස් ඇට නහර වලින් සුසැදි මනුෂ්‍ය ප්‍රාණියෙකු ය යන්න සහ ඔවුනටද හිමිවිය යුතු මානුෂීය හිමිකම් තිබේය යන්න පිළිබඳ සාධනීය කතිකාවක් ගොඩනඟන්නට ඇය උත්සාහ කරයි. ඒ සඳහා පුළුල් චින්තනයකින් යුතු පුරවැසියන් පිරිසක් බිහි කරමින් සමාජය යහපත් අතට වෙනස් කළ යුතු ය යන තිලිනාගේ හඬ යටපත් වී ගියේ ඇයගේ නිර්මාණ මතුපිටින් පමණක් කියවා පසෙකට දැමීම තුළද?…
නොවේනම් නිර්මාණකරණය තුළ ඇය ස්පර්ශ කරන සියුම් සමාජ දේශපාලන කියවීම යම් තරමකට හෝ ග්‍රහණය කර ගැනීමට ලාංකේය ලේඛක, පාඨක, විචාරක ප්‍රජාව අපොහොසත් වීම ම ද යන්න ප්‍රශ්නාර්ථයක් මතු කරයි. දශක දෙකකට එපිටදීත් ඇය ග්‍රහණය කරගන්නා අනුභූතිය සහ එය ප්‍රකාශ කිරීමේ ප්‍රබලත්වය වෙනත් රටක නම් බොහෝ සේ ඇගැයීමට ලක්වනු ඇත.
ගැහැනිය යනු අතිශයින් කාමුක, තෘප්ත කළ නොහැකි, දුටු දුටුවන්ගෙන් තම ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට උත්සාහ කරන මනුෂ්‍ය කොට්ඨාශයකැයි ලොවට කියා පෑ බමුණු මත තහවුරු කරමින් අද ද ඇතැම් ලේඛිකාවන් අතින් පවා යම් යම් නිර්මාණ බිහිවෙනු ද, ඒවා උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස අගය කරමින් සමාජ ගතවනු ද බොහෝ දෙනෙක් නිසොල්මනේ බලා සිටිති. පිරිමින් කෙසේ වතු ද ගැහැනුන් වන ඔබගෙන් විමසීමට කැමැත්තෙමි. අවංකව ඔබගේ හදවතින් විමසා බලන්න. කිසිදා තෘප්ත කළ නොහැකි කාමුක ගැහැනියක් ඔබ තුළ සිටින්නේද? නැතැයි මම විශ්වාස කරමි. දුක් විඳින, පීඩාවට පත් වන, යළි නැගී සිටින, තම ස්වාධීනත්වය වෙනුවෙන් අරගල කරන ගැහැනුන් මිස එවැනි අතිශයෝක්තියෙන් යුතු ගැහැනු චරිත තිලිනාගේ කෙටිකතා තුළ හමුවන්නේ නැත.
ඇයගේ භාෂාව පරිණත සහ පිරිපුන් ය. අඛ්‍යාන රටාව පැහැදිලිය. ඇතැම් කතාවක හැර බොහෝ ඒවායේ කතාවට එළඹීම, පවත්වාගෙන යාම සහ අවසානය ද පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් ය. අන්තර්ගතය යළි සිතා බලන්නට කෙරෙන ඇරයුම් ය.
එහෙයින් කියමි. දශක තුනකට පෙර ඉදිරිගාමි කෙටිකතාවකට අතපොත් තැබූ තිලිනා පැමිණි දුර කිසිසේත් ප්‍රමාණවත් නැත. ඇය මේ වන විට ද බොහෝ දුර යා යුතුව තිබූ කෙටිකතාකාරිණියකි. එළඹ ඇත්තේ තිලිනා අලුතින් කෙටිකතාවට අවතීර්ණ විය යුතු කාලයයි. ලියූ කෙටිකතා කෘති ඉතිහාසය විසින් රැකගනු ඇති. තිලිනා වහා වහා අලුතින්, ඔව් අලුතින්ම කෙටිකතා ලිවිය යුතුය. ඒවා කෘති වශයෙන් පාඨකයා අතට පත් කළ යුතුය.
පද්මිණී ශ්‍රියාලතා






