Breaking News

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මාලදිවයිනට අයත් “සන් සියාම් රිසෝට්” නම් සංචාරක හෝටල් සමාගමට අක්කර 8 ක භූමියක් ලබා දීමට ප්‍රාදේශීය ලේකම් ආර්.ජී.එස්.ඊ.කේ. විජේරත්න විසින් සැලැසුම් සකස් කර තිබේ. හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ හිටපු ග්‍රාම නිලධාරී ධම්මික රාජපක්ෂ විසින් මෙම රක්ෂිත වනාන්තර ඉඩම් ජාවාරම මෙහෙයවන අතර මොහු දැනට පලුගස්වැව ග්‍රාම නිලධාරී වසමේ කටයුතු කරයි.

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් හා හිටපු හිරිවඩුන්න ග්‍රාම නිලධාරී එක් වී ජනාධිපතිවරයා, පරිසර අමාත්‍යවරයා හා වන සංරක්ෂණ ජනරාල්වරයාට සාවද්‍ය කරුණු ඉදිරිපත් කර මේ ඉඩම් “සන් සියාම්” සමාගමට ලබා දීමට සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා තුම්බිකුලම රක්ෂිතයට අයත් වනාන්තර රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට ධම්මික පටබැදි පරිසර අමාත්‍යවරයාට, එස්.සී. පාලමකුඹුර වන සංරක්ෂණ ජනරාල්වරයාට හා ඩී.පී.සී. උදය කුමාර පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාට බලපෑම් කර තිබේ. ඒ මත පදනම් ව මෙම ඉඩම් නිදහස් කිරීමට පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදි කරුණු සොයා බැලීමකින් තොර ව මේ වන විට සැලැසුම් සකස් කරමින් තිබීම කණගාටුවට කරුණකි.

තුම්බිකුලම වන රක්ෂිතයේ අවශ්‍යතාව

හෙක්ටයාර 2744 ක් වන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර පද්ධතියක් තුම්බිකුලම වන රක්ෂිතය ලෙස 2013 අගෝස්තු මස 01 වන දින අංක 1821/34 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අවශ්‍යතාව වී ඇත්තේ වැව් ගණනාවක ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීම තුළින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය වාරි ජලය සැපයීම, කලා වැව හා මින්නේරිය ජාතික වනෝද්‍යානය අතර අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම හා අලි – මිනිස් ගැටුම පාලනය කර අවට ජනතාව ගේ කෘෂිකර්මාන්තය සුරක්ෂිත කිරීම සඳහා ය.
“සන් සියාම්” සමාගම ලබා දීමට සූදානම් වන්නේ තුම්බිකුලම වන රක්ෂිතයේ පිහිටි මීගස්වැවේ ජල පෝෂක ප්‍රදේශයකි. මීගස්වැව යටතේ කුඹුරු අක්කර 16 ක් පමණ, ගොවීන් 15 දෙනෙකු විසින් වී වගා කරනු ලැබේ. හිරිවඩුන්න හා දිගම්පතහ යන ගම්මානවල ගොවි ජනතාව මෙම ප්‍රදේශයේ වී ගොවිතැනේ නිරත වේ.
මාතලේ හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ව්‍යාප්ත ව ඇති උණගොල්ලෑව වනාන්තරයේ සිට තුම්බිකුලම වන රක්ෂිතය ඔස්සේ කලා වැව දක්වා මෙන් ම මින්නේරිය ජාතික වනෝද්‍යානය දක්වා අලින් ගමන් කරන ප්‍රධාන මංකඩ ලෙස මීගස්වැව ප්‍රදේශය හඳුනා ගෙන ඇත. මෙම ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි මංකඩක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා මැනීම් කර සැලැසුම් සකස් කර තිබේ.

රක්ෂිත වනාන්තර සමාගම් සතු කිරීමේ පළමු සැලැසුම

මේ ආකාරයෙන් සුවිශේෂී අලි මංකඩක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලැසුම් කර ඇති ප්‍රදේශයේ තිබලව විදුලි වැට ඉදි කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් ගේ, ග්‍රාම නිලධාරී ගේ හා වන සංරක්ෂණ නිලධාරීන් ගේ මැදිහත් වීම හා බලපෑම මත මෙම අලි මංකඩ අවහිර කර, රක්ෂිතයෙන් ඉවත් කිරීමට යෝජිත ඉඩම් ඉවත් කර විදුලි වැට ඉදි කර තිබේ. ඒ අනුව මෙම ඉඩම් සමාගම්වලට ලබා දීම ඉතා සැලැසුම්සහගත ව සිදු කර ඇති බව පෙනෙන්නට තිබේ.


මීගස්වැව අලි මංකඩ අවහිර කිරීම හේතුවෙන් පලුගස්වැව ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශයේ ගම්මාන රැසක් අලි – මිනිස් ගැටුමට ගොදුරු කර තිබේ. ඒ අතුරෙන් ප්‍රධාන බලපෑමට ලක් වන ගම්මාන වන්නේ අවුඩන්ගාව, දිගන්පතහ, කිඹිස්ස, ගෙඩිගස්වලාන, ගෙඩිවලයාගම, හිරිවඩුන්න හා පින්සිරිගම ය. මෙම ගම්මානවල ජනතාවට අලි – ඇතුන් ගම් වැදීමෙන් සිදු වන තර්ජන වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කළ වන රක්ෂිතයක කොටසක් ඉවත් කර සමාගම් සතු කිරීමට උත්සාහ කිරීමෙන් මෙරට රක්ෂිත වනාන්තරවල අනාගත පැවැත්ම පිළිබඳ ව මෙන් ම රක්ෂිත වනාන්තර ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවන් පිළිබඳ ව ජනතාවට විශ්වාසයක් නොමැති තත්ත්වයක් ඇති වේ.

වන සංරක්ෂණ ආඥාපනත අභියෝගයට ලක් කිරීම

2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 3(1)(ඇ) වගන්තියට අනුව රජයට අයත් වනාන්තර ඉඩම් පමණක් වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට ඇත. එසේ ප්‍රකාශයට පත් කරන වන රක්ෂිතයක් සඳහා පනතේ 3(2) වගන්තියට අනුව කළමනාකරණ සැලැසුමක් සකස් කළ යුතු ය. එම අනුමත සැලැසුමට අනුව වන රක්ෂිතයේ ඉදිරි කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කළ යුතු වේ. වන සංරක්ෂණ ආඥාපනතට අනුව විෂය භාර අමාත්‍යවරයාට පනතේ 4(2) වගන්තියට අනුව වන රක්ෂිතය හෝ ඉන් කොටසක් රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමේ බලය ද ඇත. නමුත් එය අභිමත බලයක් ලෙස භාවිත කළ නොහැකි ය.

ඊට හේතු ව වන සංරක්ෂණ ආඥාපනතේ මූලික අර්ථනිරූපනයට අනුව, වන සම්පත් සංරක්ෂණය කිරීමට, ආරක්ෂා කිරීමට හා ඒවායේ තිරසර කළමනාකරණය සඳහා විධිවිධාන සැලැස්වීමට මෙම පනත ක්‍රියාත්මක වේ. ඒ අනුව රක්ෂිතයකින් කොටසක් ඉවත් කළ හැකි වන්නේ පනතේ මූලික අර්ථනිරූපනයේ සඳහන් තත්ත්වයන් අදාළ රක්ෂිතය තුළ නොපවතින අවස්ථාවල දී පමණි. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ දැක්වෙන 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය. එසේ තිබිය දී ස්වාභාවික සම්පත් විනාශ කිරීම සඳහා තීන්දු තීරණ ගැනීමේ බලයක් විෂය භාර අමාත්‍යවරයාට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොමැත.

2013 වසරේ දී රක්ෂිතයක් බවට පත් කළ වනාන්තර ප්‍රදේශයක් වසර 13 කට පසු ව ඉන් කොටසක් රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලැසුම් කිරීමෙන් පෙනී යන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතා ම දුර්වල පාලනයයි. රක්ෂිත වනාන්තරයකින් කොටසක් කෙටි කාලයක් තුළ රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ නම් ජනතාව ගේ බදු මුදල්වලින් මෙම දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා යුතු ද යන්න සිතා බැලිය යුතු ය. මෙවන් තත්ත්වයන් පිළිබඳ ව අවධානය යොමු නොකර ජාවාරම්කාර නිලධාරීන් ගේ බලපෑම මත පරිසර අමාත්‍යවරයා මෙම රක්ෂිත ඉඩම් ඉවත් කිරීමට සැලැසුම් කිරීමෙන් පෙනී යන්නේ පරිසර අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වන දුර්වල පාලනය හා පරිසර නීති පිළිබඳ ව ඇති අඩු අවබෝධයයි.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

වන රක්ෂිතයකට අයත් ඉඩම් නිදහස් කළ හැකි වන්නේ නිවැරදි විකල්ප අධ්‍යයනයක් මත ක්‍රියාත්මක කරන පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියකට යටත් ව පොදු කාර්යක් සඳහා ය. එපමණක් නොව ඒ සඳහා හානි අවම උපායමාර්ග යෝජනා කළ යුතු අතර ඇති විය හැකි බලපෑම් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීම ද කළ යුතු ය. ඊට අමතර ව ඒ සඳහා එම ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වන ජනතාව ගේ අදහස් ලබා ගැනීම ද සිදු විය යුතු ය. ඒ සඳහා ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය වැදගත් වේ. මෙම ගැසට් නිවේදනයට අනුව වන රක්ෂිතයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර 100 ක් ඇතුළත ප්‍රදේශයේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් ක්‍රියාවලියකින් තොර ව ඉඩම් නිදහස් කිරීමට හෝ ඉඩම් බදු දීමට කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාවක් නොමැත.
එසේ සිදු කිරීම බල අතික්‍රමණය නැතහොත් නීතිය අවභාවිත කිරීමකි. මෙවන් වැරදි පූර්වාදර්ශ ලබා දීමට නිලධාරීන්ට අවස්ථාව ලබා දීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැත. ඊට හේතු ව වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්මුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” හා “මිහිකත පරිසර ප්‍රතිපත්තිය” යන ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ කළ හැකි වනජීවී හා වන සංරක්ෂණ කලාප හඳුනාගෙන ඒ සඳහා නව මංකඩවල් ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත්, අලි – මිනිස් ගැටුම වැළැක්වීමට විද්‍යාත්මක ක්‍රම භාවිත කරන බවත් ස්වාභාවික වනාන්තර ආවරණය පරිසර සේවා පවත්වා ගෙන යාමට හැකි වන පරිදි කළමනාකරණය කිරීම හා සංරක්ෂණය කිරීම සිදු කරන බවත් ය.

මේ ආකාරයෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ ආණ්ඩුවට ජාවාරම්කාරී නිලධාරීන්ට අවශ්‍ය පරිදි රක්ෂිත වනාන්තර විනාශ කිරීමට, අලි මංකඩවල් විනාශ කිරීමට මෙන් ම සංවේදී පරිසර පද්ධති ඛණ්ඩනය කිරීමට ඉඩ දිය යුතු නැත. මේ නිසා අප අවධාරණය කරන්නේ තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට ලබා දීමට එම ඉඩම් රක්ෂිතයෙන් ඉවත් කිරීම වහා ම නතර කර රක්ෂිත වනාන්තරයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන් ම විදුලි වැට නිසි පරිදි සකස් කර අලි මංකඩ විවෘත කිරීමට කටයුතු කර අලි – මිනිස් ගැටුම පාලනයට හා කෘෂිකර්මාන්තය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ය.

leave a reply