සංතුට්ඨී පරමං ධනං කීවාට ලෝක සතුටු දර්ශකයේ අපි ඉන්නේ පහළය.ධනය හිමි කොටස අතරද සතුට ඇත්දැයි සැකය.එසේනම් නිර්ධනයන් ගැන කුමන කතාද?
වසවිස සහිත කෑම වැඩිපුර කන රටවල් අතර අපි ප්‍රමුඛය .
වාරේ අවාරේ මල් පිපේ.ගෙඩි හැදේ.ලා ගෙඩි කඩා බෙහෙත් ගසා ඉඳවා වස කන්නට අප ප්‍රියය.හොඳම කෑම පනුවන්ට හෝ නොදෙන්නට තරම් අපි කුහකය.කුඹුරට හේනට කොම්පෝස්ට් ගසා ගෙඩිවලට රසායනික දමා ඉඳවා අපි කන්නෙමු.
දූ දරු සබඳතා මව්පිය සබඳතා ගැන පෙළපොත් හි පවා සඳහන් ය.එහෙත් ගෘහස්ථ හිංසනය සාමාන්‍ය වන අතර ළමා අතවර වාර්තා නොවෙන තරම් බහුලය.එහෙත් හොඳම දේ ළමයිට කියා අපි නිරන්තර මුමුණන්නෙමු.කොච්චර හොඳදයත් ලිංගිකත්වය පිළිබඳ නව යොවුන්වියේ විවෘතව කතා නොකරන්නට තරම් අපි පරිස්සං ය.
වසර 2500 පැන්න ප්‍රෞඩ ඓතිහාසික ස්ථාන නරඹා ගල්වල නම්කොටා,ගස්වල පොතු කපා, කන කන දෑ වසුරු හැමතැන හෙළා එන ජාතියක් ය. දහතුන් වසරක පාසල් අධ්‍යාපනයක් තිබුණත් ලංකාවේ හැම කානුවකම,ඇළකම,දොළකම ප්ලාස්ටික්ය. ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයේ කුණු වර්ගීකරණය ,කොම්පෝස්ට් වලවල් සෑදීම විභාග ප්‍රශ්න පමණි.
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයැයි කියාගන්නා මහී ප්‍රවාහන රථවල ගැහුණුන්ට හේත්තු දාන පිරිමින් ය.මාතලීලා රියදුරු අසුන්වලය.ආලවක බඳු කොන්දොස්තර මහතුන් ය.බුඳුන්ගේ දේශ කතා ගිනි පුපුරුය.සිංහ ලේ,රාවණාල නැග යන්නේ වැඩිපුර පෞද්ගලික බස් රථවලය.
උසාවිය ළඟ නිහඬ වුනාට සාක්කි නැති මරණ සහතික ලියන ජාතියක් ය.අනවසර ගබ්සා නිරතුරය.විනිශ්චය හෘදසාක්ශිය පමණි.
තේ,පොල්,රබර්,කුරුඳු ගම්මිරිස් වගාවට වඩා සංකා නැතුව ජීවත් වෙන්න කංසා වවන්නට අපි උත්සහ ගමු.රටවටා මුහුදය.පන්,කුඹල්,හස්ත,කිතුල් පැණි වැනි කර්මාන්ත සඳහා වෘත්තිකයන් බිහිකරන අධ්‍යාපනයක් අපට නැත.පහසුම වෘත්තීය අතිශය කම්මැලි,නීරස ත්‍රීවිල් රස්සාවයි.
මෙලෙස යථාව දැක දැක අපි විජ්ජාවට රැවටෙමු.ආර්ථික ,දේශපාලන ,සංස්කෘතික ප්‍රශ්න කොච්චර දැක්කත් අපි පුදුමාකාර විදියට ජාතිකාභිමානීය.ජාතිකානුරාගීය.එය කොතරම් ප්‍රබලද යත් ජීවන අපේක්ෂා අමු අමුවේ විනාස වෙද්දීත් අපි කාගේ හෝ උද්වේගකර හඬකින් අවුලන ජාතිමාමක හඬක් නිසා මුළු මහත් අනාගතයක් ම විනාසයට ගොදුරු කටවන්නට සමත්ය.
එය ඊයේත් විය.හෙටත් වෙයි.ඒ අපේ හැටිය.
ඒ වූ කලී ප්‍රෞඩ ශ්‍රී ලාංකීය අභිමානයයි.