මුළු ලෝකයම හෙලා දකින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උමතු වෙනිසියුලා ආක්‍රමණය පිළිබඳව ශ්‍රී ලංකාවේ වර්තමාන රජයට පැහැදිලි ස්ථාවරයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන නිවේදනයෙන් පැහැදිලි වෙනවා .
විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයෙන් උපුටා ගැනීම
බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරයි. ශ්‍රී ලංකා රජය ඒ බව අවධාරණය කරන්නේ කාට ද
වැනිසිවුලා ජනතාවගේ කැමැත්ත මත තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑම සිදු කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි . සෘජුවම මේ විවේචනය ඇමරිකාවට එල්ල කළ හැකිව තිබුණද ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳව සෘජු අදහසක් ප්‍රකාශ නොකොට වටේ යෑම තුළ ගම්‍ය වන්නේ ඇමරිකාවට එරෙහිව ඔවුන්ට කිසිදු මතයක් දැරීමට කොන්ද පණ නැති බවයි . ජේ.ආර් , රනිල් ඉක්මවා ගිය ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක අනුර කුමාර දිසානායක සිටින බවට එල්ල වී තිබුණු විවේචනය සත්‍යයක් බව සනාථ කිරීමට මේ හැසිරීම නිදසුන් සපයා තිබේ .
එපමණක් ද නොව බලය ලබාගන්නා මොහොත වන තෙක්ම අධිරාජ්‍යවාදයක් පිළිබඳව කතා කරපු ජනතාව විමුක්ති පෙරමුණට මෙරිකානු බලහත්කාරී ආක්‍රමණයට එරෙහිව ඍජුව ප්‍රකාශයක් නිකුත් කිරීමට තරම් කොන්දක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනයෙන් ගම්‍ය වෙනවා .
පැලවත්තේ සිටින තෙල්වින් ඇමරිකානු ආක්‍රමණයට සෘජු ස්ථාවරයක් නොදරන අතර ලෝකයේ වෙනත් රටවල සිටින තම අනුගාමිකයන්ට අධිරාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට ගිහින් තම පක්ෂයේ බැනරක දමන්නට අනුබල දී ඇති බව නම් පෙනේ .
ලංකාවේ දී කියන්න බැරි අධිරාජ්‍ය විරෝධී කතාව විදෙස් උද්ඝෝෂණ ළඟ සිට ගත් චායාරූප යටින් ලියන්නේ දෙබිඩි පිළිවෙතේ නිරුවත හෙළිදරව් කරමිනි .


ඇමරිකානු ආක්‍රමණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහ ශ්‍රී ලංකා රජයේ නිවේදන
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය
වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටී.
බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරයි.
වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.
මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයත්න මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව, යහ පැවැත්ම සහ ස්වෛරී අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින්, සාමකාමී විසඳුමක් ළඟා කර ගැනීම උදෙසා කටයුතු කිරීම වැදගත් වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කොළඹ
2026 ජනවාරි 05 වැනි දින
——————————————————————






