“Pedagogy of the Oppressed” කෘතියේ පරිවර්තක, ශ්‍රී ලංකා රංග චිකිත්සන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය රවින්ද්‍ර රණසිංහ, ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ කල කතා බහා .
ඔබේ අලුත්ම පරිවර්තන කෘතිය “පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව” පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?
මෙම පොතේ මූලික අරමුණ වෙන්නේ අධ්‍යාපනය යනු දේශපාලනික ක්‍රියාවක් බව තහවුරු කිරීමයි. ෆ්‍රෙයර් තර්ක කරන්නේ, අධ්‍යාපනය කිසි විටෙකත් මධ්‍යස්ථ විය නොහැකි බවත්, එය එක්කෝ පවතින පීඩන ව්‍යුහය තහවුරු කරන මෙවලමක් බවට පත්වන බවත්, නැතහොත් විමුක්තිය උදෙසා යොදාගත හැකි බලවේගයක් බවට පත්වන බවත්ය. පොතේ සමස්ත අවධානය යොමු වන සංකල්ප දෙකක් තියෙනවා: එකක්, පීඩිත මනුස්සයාගේ විමුක්තිය; අනෙක මනුස්සයා සාරවත් මිනිස්සයෙකු වීම (Humanization) ගැන.

ෆ්‍රෙයරේ තමන්ගේ දර්ශනය ගොඩනගන ක්‍රියාවලියේදී සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය “බැංකුකරණ ආකෘතිය” (Banking Model of Education) හැටියට හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කරනවා. වෙන විදිහකට කිව්වොත් මේක ‘තැන්පතු’ අධ්‍යාපනයයි.
මෙතැනදී ගුරුවරයා යනු දැනුම නිපදවන්නා සහ “තැන්පත්කරුවා” වන අතර, ශිෂ්‍යයා යනු දැනුම “තැන්පත්” කළ යුතු හිස් භාජනයක් (Passive recipient) වැනිය. මෙහිදී ශිෂ්‍යයාගේ සිතීම යනු පිටතින් පුරවනු ලබන නිෂ්ක්‍රීය අවකාශයකි.
මෙම ක්‍රමය තුළ ශිෂ්‍යයාගේ විවේචනාත්මක චින්තනය සහ නිර්මාණශීලීත්වය අඩපණ වෙන බව ෆ්‍රෙයරේ පෙන්වා දෙනවා. එය ශිෂ්‍යයා පුහුණු කරන්නේ පීඩාකාරී සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමකින් තොරව අනුගත වීමට (Adaptation). ඒ අනුව තැන්පතු අධ්‍යාපනය යනු පීඩක පන්තියේ මතවාදයන් තහවුරු කරමින් පීඩිතයාගේ නිහඬභාවය පවත්වාගෙන යෑමේ ප්‍රබල දේශපාලන මෙවලමකි.
මේ “තැන්පතුකරණයට” විකල්පයක් ලෙස, ෆ්‍රෙයර් “ගැටලු සංවාදී අධ්‍යාපනය” (Problem-Posing Education) නම් විමුක්තිකාමී අධ්‍යාපනයක් යෝජනා කරයි.
විමුක්තිකාමී අධ්‍යාපනයේ හදවත වන්නේ සංවාදයයි. මෙහිදී ගුරුවරයා සහ ශිෂ්‍යයා යන භූමිකා දෙකම සම-ඉගෙන ගන්නන් ලෙස කටයුතු කරමින් එකිනෙකාට උගන්වති. ඔවුන් තමන් ජීවත් වන යථාර්ථය සහ සමාජයේ පවතින ගැටලු පිළිබඳව විවෘතව සංවාද කරයි.
මෙම සංවාදය තුළින් පීඩිත ජනතාවට තම දුක්ගැනවිලිවලට සැබෑ හේතුව තමන්ගේ නොහැකියාව නොව, අසාධාරණ සමාජ ව්‍යුහයන්ගේ වරද බව විවේචනාත්මකව අවබෝධ කර ගැනීමට හැකි වේ. මෙම ගැඹුරු සමාජ-දේශපාලනික අවබෝධය ෆ්‍රෙයර් හඳුන්වන්නේ විචාරශීලි සිහිනුවණ වැඩීම ලෙසයි.
විමුක්තිය සඳහා අත්‍යවශ්‍යම පියවර වන්නේ ප්‍රයුක්තියයි. මෙය ආවර්ජනය (Reflection) සහ ක්‍රියාව (Action) ඓන්ද්‍රීයව බද්ධ වීමක්. ෆ්‍රෙයරේ පෙන්වා දෙන්නේ පීඩිතයා මුලින්ම තම පීඩාව පිළිබඳව විවේචනාත්මකව සිතා බැලිය යුතුයි (ආවර්ජනය). ඉන්පසු, ඒ අවබෝධය මත පදනම්ව සමාජ ව්‍යුහය වෙනස් කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි (ක්‍රියාව). නැවත, එම ක්‍රියාවෙන් ලද අත්දැකීම් පිළිබඳව විචාරශීලි විමර්ෂණයක් කළ යුතුයි.
ෆ්‍රෙයර් අවධාරණය කරන්නේ, පීඩිතයාගේ අරගලය අලුත් පීඩකයන් බිහිකිරීම සඳහා නොව, පීඩාව මුළුමනින්ම අවසන් කර සියලු දෙනාටම මානව ගරුත්වය දිනා දීම සඳහා විය යුතු බවයි.
මේ පරිවර්තනය ඒ ගැඹුරු දාර්ශනික පදනම ගොඩනැගීමට අවශ්‍ය කතිකාව අරමුණු කරගන්නවා.
මෙම කෘතියෙන් ඔබ සමාජයට කියන්නට උත්සාහ කරන්නේ කුමක් ද ?
මා විසින් පරිවර්තනය කරන ලද “පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව” (Pedagogy of the Oppressed) කෘතිය තුළින් ලාංකේය සමාජයට සන්නිවේදනය කිරීමට උත්සාහ කරන්නේ මේ පොත හුදෙක් අධ්‍යාපන ක්‍රමවේදයක් පිළිබඳ න්‍යායක් නොව, මෙය ලාංකීය යථාර්ථය විචාරශීලීව කියවීමට අවශ්‍ය දාර්ශනික මෙවලමක්.
අපේ සමාජයේ අධ්‍යාපනය බොහෝ විට දකින්නේ හොඳ රැකියාවක් ලබා ගැනීමට හෝ විභාග සමත් වීමට ඇති මාර්ගයක් ලෙසයි. ෆ්‍රෙයර්ගේ කෘතියෙන් අප ලාංකීය සමාජයට කියන්නට උත්සාහ කරන්නේ, දැනුම යනු විභාගවලට මතක තබා ගන්නා දෙයක් නොවන බවයි. අපි තවදුරටත් දැනුම හිස් භාජනවලට පුරවන “තැන්පතු අධ්‍යාපනය” අනුගමනය කළ යුතු නැති බවයි.
මේ පොත අරමුණු කරන්නේ ලාංකිකයා විචාරශීලීව සිතන පුරවැසියන් බවට පරිවර්තනය වීමයි. එනම්, තමන්ට ජීවිතයේ මුහුණ දීමට සිදුවන දරිද්‍රතාවය, දේශපාලන අසාධාරණය, පන්ති හෝ ජාති භේදය වැනි ගැටලුවලට හේතුව තමන්ගේම දෛවය නොව, පවතින පීඩාකාරී සමාජ ව්‍යුහවල වැරදි බව අවබෝධ කර ගැනීමට සැලැස්වීමයි.
ෆ්‍රෙයර්ගේ අදහස් ලංකාවට අදාළ වන්නේ අපේ සමාජය තුළ ද පීඩකයන් සහ පීඩිතයන් ලෙස පැහැදිලි බෙදීමක් පවතින නිසයි. මෙහිදී පීඩකයා යනු හුදෙක් දේශපාලනඥයා පමණක් නොවේ. පීඩකයා යනු බලය, ධනය හෝ සමාජ තත්ත්වය භාවිත කරමින් අනෙකාගේ මානව ගරුත්වය (Humanity) උදුරා ගන්නා ඕනෑම අයෙකි.
මේ පොත තුළින් අපි ලාංකීය සමාජයට කියන්නට උත්සාහ කරන්නේ ආර්ථික, දේශපාලන හෝ වෙනත් හේතු මත පීඩාවට පත් වූවන්, තමන් පීඩනයට ලක්ව ඇති බව විචාරශීලීව හඳුනා ගත යුතුයි. මෙතැනදී පීඩිත ප්‍රජාව තමන්ගේ ආවර්ජනයෙන් හා ක්‍රියාවෙන් (ප්‍රයුක්තියෙන්) තමා වටා ලෝකයේ සැබෑ වෙනසක් සඳහා නිර්භීතව ක්‍රියා ක්‍රියාත්මක විය යුතුයි. මේ විපරිවර්තනය තමයි අපේ බලාපොරොත්තුව. නමුත් අප වටා ඇති අර්බුදකාරිත්වයට හේතු ගැන අපේ ආවර්ජනය අවශ්‍යයි. ආවර්ජනය සඳහා සංවාදය අවශ්‍යයි. සමාජය තුළ ඒ සංවාදය ගොඩනැගෙන්නට ඕනේ. වමේ නායකත්වය සහ පීඩිත ජන කොටස් අතර සංවාදය අත්‍යවශ්‍යයි. ඒ සංවාදය තුළින් ම විතරයි අවශ්‍ය විපරිවර්තනය සඳහා ක්‍රියාත්මක විය හැක්කේ.
මෙය නිහඬව බලා ඉන්න හෝ උදාසීන ව විසීමට ඉඩක් ලබා දෙන්නේ නැහැ. මිනිසුන් සක්‍රීය වීම අවශ්‍යයි. ඒකට අධ්‍යාපනය තමයි එකම අවිය. ඒ අධ්‍යාපනය පීඩිතයා හා සමග සංවාදයෙන් ගොඩනැගෙන්නක්. ඒක උඩ සිට පහළට සිදුවෙන්නක් නෙවෙයි. ඒ නිසා විප්ලවවාදී නායකයා පීඩිත ජන කොටස් සමග එක තලයක සිට කතා බහකට අවතීර්ණ වෙන්න ඕනේ. මේ පොතේ ෆ්‍රෙයරේ කියන්නේ පංති කාමරයක ගුරුවරයා සිසුන්ගෙන් ඉගෙන ගන්නට. ගුරුවරයා සහ සිසුන්ඉගෙනීම කරන්නට එකට වාඩිවෙන්නට ඕනේ. ගැටලුව සොයා ඒකට උත්තර සෙවීම දෙගොල්ලේ සහයෝගයෙන් කරන්නට ඕනේ. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ ඉගෙනීම සිදුවෙනවා. ඒක අධිකාරි බලය සහිත ගුරුවරයාගේ භූමිකාවට වඩා හාත්පසින්ම වෙනස්. මෙතැනදී තැන්පතු අධ්‍යාපනයට ඉඩක් නැහැ. ඒ වෙනුවට සිදුවන්නේ ගැටලු සංවාදයට ලක් කරලා ඊට අදාල පිළිතුර සහ-නිර්මාණය කිරීමයි. මෙතැන තමයි ඉගෙනීම විපරිවර්තනීය ක්‍රියාවලියක් බවට පත්වෙන්නේ. “පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව” පොත ලාංකීය සමාජයට කියන්නේ: ඔබේ යථාර්ථය ප්‍රශ්න කරන්න. ඔබේ නිදහස ඔබ විසින්ම දිනා ගන්න. තවත් අලුත් පීඩකයෙක් වීම නතර කරන්න.
ඔබ 2025 වසරේම ප්‍රකාශයට පත් කළ “ළමෝ” ඇතුළු, ඔබ විසින් රචිත අනෙකුත් කෘති සම්බන්ධයෙන් සඳහන් කළොත්?
මා විසින් රචිත සහ 2025 වසරේම ප්‍රකාශයට පත් කළ “ළමෝ” කෘතිය ඇතුළුව, අනෙකුත් සියලු කෘති මානව මනෝවිද්‍යාව, උපදේශනය සහ නිර්මාණාත්මක චිකිත්සා යන අංශයන්හි ගැඹුරු න්‍යායාත්මක හා ප්‍රායෝගික ගවේෂණයක් සිදු කරනවා.
මගේ අලුත්ම කෘතිය වන “ළමෝ” (2025) මඟින් අවධානය යොමු කරන්නේ වර්තමාන සමාජයේ ළමා හා යොවුන් වියේ මනෝවිද්‍යාවේ සංකීර්ණතා පිළිබඳවයි. නූතන දරුවන් මුහුණ දෙන අධ්‍යාපනික පීඩනය, තාක්ෂණික ඇබ්බැහිවීම් සහ චිත්තවේගීය ගැටලු මධ්‍යයේ ඔවුන්ගේ මානසික යහපැවැත්ම සහ සමස්ත වර්ධනයට වැඩිහිටියන් හා ගුරුවරුන් දායක විය යුතු ආකාරය මෙම කෘතියෙන් විග්‍රහ කෙරෙනවා. අපි අමතක කරන්න හොඳ නැහැ පීඩාකාරී අධ්‍යාපන පද්ධතිය විසින් ළමුන්ව මොනතරම් හිංසාවට ලක්කරනවාද කියලා. ලංකාවේ මීට උදාහරණ හැමදාම සොයාගන්න පුලුවන්. “ළමෝ” කියන්නේ මේ පීඩාකාරි යාන්ත්‍රණයේ කුරිරු ස්වභාවය පරාවර්තනය කරන්නක්. මේ අධ්‍යාපන පද්ධතියේ පීඩාකාරිත්වයට දෙමාපියනුත් හවුල් වෙනවා. ගුරුවරුන් වගේම දෙමාපියනුත් තමන්ගේ දේපල බවට දරුවන් ට සැලකීම අතිශය ශෝචනීයයි. ඔවුන්ගේ විශාල ආකල්පමය වෙනසක් සිදුවිය යුතුව තිබෙනවා. ඔවුන් නිර්මාණාත්මක විය යුතුයි. දරුවන් කියන්නේ අශ්ව රේස් එකකට යොදවන තවත් සත්වයෙක් නොවෙයි කියන එක වටහා ගත යුතුයි.
පහේ ශිෂ්‍යත්වයේ සිට මෙන්න මේ රේස් එක තමයි වැඩිහිටි ප්‍රජාව ක්‍රියාත්මක කරවන්නේ. ළමයි මේ පීඩාවෙන් මුදවා ගත යුතුයි. ඒකට හඬක් අවශ්‍යයි. ළමෝ ඒ හඬ නැගීම සිදු කරනවා. අධ්‍යාපන පද්ධතියේ මහා පෙරලියකින් තොරව ළමයා විමුක්ත කරගන්නට පුලුවන්කමක් නැහැ. සැබෑ විමුක්තිය තියෙන්නේ දරුවා අධ්‍යාපනයේ කාර්යභාරය තමන් අතට ගන්න දවසටයි. ඒ මොහොත නම් අධ්‍යාපන පද්ධතිය අධිකාරිත්වය හොබවන, පීඩාව යොදන යාන්ත්‍රණයක් වීම අවසන් කරන මොහොතයි.
මෙයට අමතරව, “ළමා ලිංගික අපයෝජන සහ ලිංගික අධ්‍යාපනයේ අත්‍යවශ්‍යතාවය” නම් කෘතිය තුළින් ලංකාවේ තවත් ගැටලුකාරී මාතෘකාවක් ගැන සාකච්ඡා කරනවා. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය කරන්නේ ළමුන් ලිංගික ගොදුරු බවට ලාංකීය සමාජය තුළ පත්ව ඇති නිසයි. ළමයාට කිසි ගෞරවයක් නොදෙන සමාජ පරිසරයක් තුළ ළමයා ට ඇති සුරක්ෂිතතාවය ගැටලුකාරීයි. ඒ සුරක්ෂිතතාවය ගොඩනැගීමට දරුවා බලගැන්වීම අවශ්‍ය කාරණයක්. දරුවන් ලිංගිකව හිංසාවට පත්වෙන මූලික ම තැන තමයි ගෙදර, ඒ තමාට කිට්ටුම අයගෙන්. මේ නිසා පාසල් පද්ධතිය තුළ කුඩාම පංතිවල සිට ලිංගිකත්වය ගැන අවබෝධය ලබා දිය යුතුයි. මේක හුදෙක් ශරීරය ගැන කාරණයක් පමණක් නෙවෙයි. සමාජයේ වටිනාකම් ගැන කාරණයක්. ඒ ගැන ළමුන් ට කතා කරන්නට අවස්ථාව තිබෙන්නට ඕනේ. තමාට ඇති ගරුත්වය වගේම අනෙකාට ගරුත්වය පෑම ද අත්‍යවශ්‍යයි. අපිට අපේ හැඟීම්වලට විතරක් නොවෙයි, අනෙකා ට දැනෙන දේ ගැනත් අපේ සහකම්පනයක් තියෙන්නට ඕනේ. මේවා පාසල් පද්ධතියේ විෂයයක් බවට පත්විය යුතුයි.
අද ලිංගික අධ්‍යාපනය කියන්නේ තහංචි වැටුනු මාතෘකාවක්. ඒ නිසා ගුරුවරුත් ඒ ගැන නිහඬයි. ලංකාවේ ගුරුවරයාව මුල පටන්ම හදන්නට ඕන තත්ත්වයක් තියෙන්නේ. දැනට ඒ අයට පුහුණුවීම් දෙන තැන් ඇවිල්ලා තාක්ෂණික කාරණා බෙදා හරින තැන් හැටියටයි මම දකින්නේ. නමුත් ජීවිතය ගැන කියාදෙන ගුරුවරයෙකුයි අපිට පංති කාමරයට උවමනා කරන්නේ. සමාජීයිය සබඳතා, ආචාර ධර්ම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භූමිකා හා බැඳුණු පුළුල් මානව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක මාතෘකා සාකච්ඡා කරන්න පුලුවන් ගුරුවරුන් අපට අවශ්‍යයි.
මා විසින් රචිත “ආදරය-ලිංගිකත්වය-විවාහය” කෘතිය මෙරට සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ නිහඬ කර ඇති මාතෘකා කිහිපයක් විවෘත සංවාදයට යොමු කරනවා. ලාංකීය සංස්කෘතිය තුළ මෙම මාතෘකා සාකච්ඡා කිරීම තවමත් මතවාදී පවුරු සහ පුද්ගලික අපහසුතා මධ්‍යයේ සිර වී තිබෙනවා.මෙම කෘතිය තුළින් අප උත්සාහ කරන්නේ ආදරය, ලිංගිකත්වය සහ විවාහය දෙස මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක කෝණයකින් විවෘතව බැලීමටයි.
විවාහයට පෙර ඇතිවන ලිංගිකත්වය පිළිබඳ ආකල්ප, පවුල් සැලසුම්, අඹුසැමි සබඳතාවල ගැටලු සහ විවාහයෙන් පිටත ලිංගිකත්වය වැනි සංකීර්ණ මාතෘකා අපි මෙහිදී සාකච්ඡාවට ගනු ලබනවා. මේ පොත සැබෑ දත්ත විශ්ලේෂණය කරමින් මේ කාරණා ගැන අවදියක් ඇති කරනවා. අපේ රටේ පවුල් ආරවුල් සහ දික්කසාද ඉහළ යමින් පවතින මේ අවස්ථාවේ, සාර්ථක පවුල් ඒකකයක් ගොඩනැගීමට නම් සෞඛ්‍ය සම්පන්න සන්නිවේදනය සහ චිත්තවේගීය සමීපත්වය අත්‍යවශ්‍ය වෙනවා. මෙම පොත, ඒ සඳහා නිවැරදි දැනුම ලබා දෙන මාර්ගෝපදේශකයෙක්. ප්‍රශ්න කිරීම වෙනුවට අවබෝධය සහ නිහඬතාව වෙනුවට සංවාදය වෙනුවෙන් පෙනී සිටීමට මෙම පොත ලාංකීය සමාජයට ආරාධනා කරනවා.
මනෝ උපදේශනය පුහුණුව සඳහා විශේෂයෙන් වැදගත් වන කෘතිය වන්නේ “පුද්ගල උපදේශනය පුහුණුව” යන කෘතියයි. මනෝ උපදේශන ක්ෂේත්‍රයට පිවිසෙන අයට මූලික න්‍යායන්, සන්නිවේදන ශිල්පක්‍රම සහ ආචාර ධර්ම පිළිබඳව විස්තීර්ණ දැනුමක් සපයන මාර්ගෝපදේශයෙක් තමයි මේ කෘතිය. මෙය පරිවර්තනයක්. කාල් රෝජර්ස් කියන මනෝ විද්‍යාඥයාගේ පුද්ගල-කේන්ද්‍රීය මනෝ චිකිත්සාව වැඩි වර්ධනය කරනවා ඉන්දියාවේ මනෝ චිකිත්සකයෙකු වුනු ෆුස්ටර් නමැති දේවගැතිවරයා. ඔහු තම අත්දැකීම් අලලා මේ කෘතිය ලියනවා. මේක අත්පොතක් කිව්වොත් නිවැදියි. මේ පොත මා පරිවර්තනය කලේ ලංකාවේ මනෝ උපදේශකයින් ට මින් අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබන්නට පුලුවන්.
ඒ වගේම ලංකාවට රංග චිකිත්සාව හඳුන්වාදුන් ඉතාම වටින කෘතිය තමයි “මනෝ උපදේශන පසුබිමෙහි රංග චිකිත්සාව” කෘතිය. මේ කෘතිය මනෝ උපදේශකයින් ට අලුත් මානයන්ගෙන් තමන්ගේ සේවාලාභීන් දෙස බලන්නටත්, ඔවුන් සමග කටයුතු කරන්නට අවශ්‍ය මෙවලම් සපයනවා. මේ කෘතිය මුලින්ම පළ වුනේ 2013 වසරේ. පසුගිය වසර 12 ක කාලය තුළ මේ කෘතිය ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල බිහිවුනු ඉතා වැදගත් කෘතියක් හැටියට හඳුන්වන්නට පුලුවන්. මෙහි න්‍යාය වගේම භාවිතය ගැනත් විශාල විස්තර අඩංගු වෙනවා.
නිර්මාණාත්මක චිකිත්සාවන් සම්බන්ධයෙන් අපි ලියූ ඉංග්‍රීසි කෘති දෙකක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. “Dramatherapy in Sri Lanka” කෘතිය තුළින් රංග චිකිත්සාව ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික පසුබිම් තුළ භාවිත කළ හැකි ආකාරය පර්යේෂණාත්මකව ඉදිරිපත් කරනවා. තවද, “Creative Arts Therapies for Autistic Children” මඟින් ඕටිස්ටික (Autistic) දරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා කලාව, සංගීතය සහ නාට්‍ය වැනි නිර්මාණාත්මක චිකිත්සා යොදා ගත හැකි ආකාරය පිළිබඳව ප්‍රායෝගික මාර්ගෝපදේශ සපයනවා.
මා විසින් පරිවර්තනය කරන ලද “රතු වස්සානය” (“Great Love”) කෘතිය, රුසියානු බොල්ෂෙවික් පක්ෂයේ ප්‍රමුඛ කාන්තා නායිකාවක් වූ ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායි විසින් ලියන ලද්දක්. මෙය හුදු දේශපාලන කෘතියක් නොව, ඓතිහාසික චරිතවල මානවීය පැතිකඩ විවරණය කරන අතිශය සංවේදී සහ වැදගත් නිර්මාණයක් හැටියට නම් කරන්නට පුලුවන්.
“රතු වස්සානය” කෘතියෙන් අනාවරණය කරන්නේ බොල්ෂෙවික් පක්ෂයේ නායක ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් සහ ඔහුගේ සමීපතම සගයකු වූ ඉනෙස්සා ආර්මන්ඩ් අතර පැවති සංකීර්ණ ප්‍රේම සම්බන්ධයයි. කෘතියේ මෙම චරිත පිළිවෙලින් සෙන්යා සහ නතාෂා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වා දී තිබෙනවා.
බොහෝ දෙනා ලෙනින් දකින්නේ දෘඪ, දේශපාලන තීරණ ගන්නා විප්ලවවාදී නායකයෙකු ලෙස පමණි. එහෙත්, “රතු වස්සානය” තුළින් ලෙනින්ගේ මානුෂීය පැතිකඩ වඩාත් සංවේදී ලෙස නිරූපණය කෙරෙනවා. සෙන්යා (ලෙනින්) ලෙස ඔහු, නායකයෙකු වශයෙන් මුහුණ දෙන දැවැන්ත වගකීම් සහ අරගල මධ්‍යයේ පවා, ප්‍රේමයක් තුළින් සැනසීම, සහයෝගය සහ ශක්තිය අපේක්ෂා කරන සාමාන්‍ය මිනිසෙකු ලෙස අපට සමීප වෙනවා. මෙම ආඛ්‍යානය පාඨකයාට ලෙනින් දෙස වඩාත් මානුෂීය කෝණයකින් බැලීමට ඉඩ සලසනවා.
කතාවේ කේන්ද්‍රීය අවධානය යොමු වන්නේ ඉනෙස්සා ආර්මන්ඩ් (නතාෂා) කෙරෙහියි. ඇය හුදෙක් ලෙනින්ගේ පෙම්වතිය ලෙස පමණක් නොව, විප්ලවීය කාර්යභාරයට අතිශය ශක්තියක් වූ කැපී පෙනෙන කාන්තා චරිතයක් ලෙස නිරූපණය වෙනවා. මෙම කෙටි නවකථාව මගින් පෙන්වා දෙන්නේ විප්ලවයේ දරුණු අභියෝග හමුවේ නායකයෙකුට අවශ්‍ය වූ මානසික සහ බුද්ධිමය සහය නතාෂා (ඉනෙස්සා) විසින් කොතරම් දුරට ලබා දුන්නා ද යන්නයි. ඇගේ කැපවීම, ධෛර්යය සහ බුද්ධිය ලෙනින්ගේ දේශපාලන ගමනට සෘජුවම බලපෑ ආකාරය මෙහිදී මතු කර දැක්වෙනවා.
“රතු වස්සානය” කෘතිය තුළින් ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායි උත්සාහ කරන්නේ, ඉනෙස්සා ආර්මන්ඩ් නම් වූ මේ ශ්‍රේෂ්ඨ ගැහැනිය විප්ලවය වෙනුවෙන් සහ ලෙනින්ගේ කාර්යභාරය වෙනුවෙන් සිදු කළ අතිමහත් කැපවීම සහ ආත්ම පරිත්‍යාගය ඓතිහාසික වාර්තාවන්ට එක් කිරීමයි. මේ අනුව, මෙය ප්‍රේමය, කැපවීම සහ දේශපාලන අරගලය එකිනෙක බැඳුණු සංකීර්ණ මානුෂීයිය වෘතාන්තයක් ලෙස ඉතා වැදගත් වෙනවා.
මා විසින් පරිවර්තනය කරන ලද “චේ නම් මිනිසා” කෘතිය, ලෝක විප්ලවීය ව්‍යාපාරයේ අයිකනයක් වන අර්නෙස්ටෝ “චේ” ගුවේරාගේ ජීවිතය පිළිබඳ Iosif Lavretsky ගේ චරිතාපදානයේ සාරවත් සම්පිණ්ඩනයක්. මෙය හුදෙක් ඓතිහාසික වාර්තාවක් නොව, චේ ගුවේරාගේ විප්ලවීය දර්ශනය සහ මානව විමුක්තිය වෙනුවෙන් ඔහු කළ අසීමිත කැපවීම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් ලෙස සැලකිය හැකියි. නූතන සමාජයට චේ අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ, ඔහුගේ ජීවිතය විසින් පෙන්වා දෙනු ලබන මානුෂීය වටිනාකම් හේතුවෙනි.
අවාසනාවකට, අද වන විට ලංකාව තුළ ‘චේ’ යනු ඔහුගේ මුල් දර්ශනයෙන් තොර වූ ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්ව ඇති අයුරු දක්නට ලැබෙනවා. ඔහුගේ රුව සහිත ටී-ෂර්ට් සහ පෝස්ටර් අතරේ, ඔහු නියෝජනය කළ සැබෑ දර්ශනය සහ ආත්මීය වටිනාකම් අපට මඟ හැරී තිබෙනවා. එහෙත්, අප අවබෝධ කරගත යුත්තේ චේ අපට කියා දුන් දේ හුදෙක් සන්නද්ධ අරගලයකට පමණක් සීමා නොවන බවයි.
චේ ගේ චරිතය තුළින් මානුෂීය ගතිය අනෙක් සෑම දේශපාලනික ක්‍රියාකාරිත්වයකටම වඩා ඉහළින් නැගී සිටිනු දැකිය හැකියි. ඔහුට තිබුණේ පීඩාවට පත් වූ මනුෂ්‍යයා කෙරෙහි මහා ආදරයකි. එම ආදරය, අයුක්තියට එරෙහිව නැගී සිටීමට ඔහුට ශක්තියක් විනි. එමෙන්ම, ලෝකය වෙනස් කළ හැකි බලවතෙකු වුවද, ඔහු සතුව තිබූ නිහතමානීත්වය අති විශේෂය. මේ උදාර ගුණාංග — ආදරය, නිහතමානීකම, කැපවීම සහ ගැඹුරු ප්‍රඥාව — විප්ලවයක සැබෑ හරය බව ඔහු සිය ජීවිතයෙන්ම පෙන්වා දුන්නේය.
මෙම කෘතිය කියවන අපට ‘චේ’ තුළින් දකින්නට ලැබෙන්නේ එම වටිනාකම් සියල්ල කැටිකරගත් ප්‍රතිමූර්තියකි. එබැවින්, චේගේ මුහුණුවර පමණක් නොව, ඔහුගේ මානුෂිකත්වය සහ ආත්ම පරිත්‍යාගය ද අපේ ඇස ගැටෙන්නටත්, අපේ අවබෝධයට පාත්‍ර වන්නටත් මෙම පරිවර්තන කෘතිය තුළින් අවකාශය විවර කර දෙයි.
ඉතාම මෑතකදී ඔබ මියන්මාරයේ රංග චිකිත්සාව පිළිබඳ වැඩමුළුවකට සහභාගී වුණා. එම අත්දැකීම පිළිබඳව විස්තරයක් දැක්වුවහොත්?
මියන්මාරයේ යුද්ධයෙන් සහ භූමිකම්පාවෙන් පීඩාවට පත් වූවන් විශාල මානසික කම්පනයකට හසුව තිබෙනවා. සිවිල් යුද්ධය ආර්ථික වශයෙන් මියන්මාරය කඩා දමා තිබෙනවා. මේ නිසා ඒ රටේ ජනතාවට තමන්ගේ කම්පනයට පිළිතුරු සොයාගන්න සහායක් අවශ්‍යයි. අපි කලේ එරට මානසික සෞඛ්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් පුහුණු කරන එක. රංග චිකිත්සාව (Dramatherapy) පිළිබඳ පුහුණුව ඔවුන්ට ඉතාමත්ම වැදගත්. සාම්ප්‍රදායික උපදේශනයේදී වචනවලින් වේදනාව ප්‍රකාශ කිරීම අපහසුයි. ඒකට වචන සොයාගන්නත් අපහසුයි. ඒ අයට රංග චිකිත්සාව තමයි හොඳටම දැනුනේ. තමන් ශරීරාරූඨ කරගෙන ඉන්න වේදනාකාරී අත්දැකීම් බොහොම ආරක්ෂිතව මුදාහරින්න රංග චිකිත්සාව උපකාරයක් වෙනවා. එහිදී, රඟපෑම, කතන්දර කීම සහ සංකේත භාවිතයෙන් ඔවුන්ට ආරක්ෂිතව තම හැඟීම් සහ කම්පනීය අත්දැකීම් මුදා හැරීමට අවස්ථාව ලැබෙනවා.
මියන්මාරයේ මානසික සෞඛ්‍ය වෘත්තිකයන් රංග චිකිත්සාවට දැක්වූ උනන්දුව සහ ඔවුන්ගේ දේශීය සංස්කෘතික ක්‍රම මේ සඳහා යොදා ගැනීමට තිබූ හැකියාව මට මහත් බලාපොරොත්තුවක් ගෙන දුන්නා. යුද්ධය හා ස්වභාවික විපත් නිසා වචනයට හසු නොවන මානසික වේදනාවන්ට ප්‍රතිකාර කිරීමට නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කොතරම් වැදගත්ද යන්න එම අත්දැකීමෙන් මනාව තහවුරු වුනා.
අවසාන වශයෙන්, ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
මගේ ඉදිරි නිර්මාණ කටයුතු සියල්ලම පාහේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සමීපව බැඳී පවතින පර්යේෂණාත්මක ගවේෂණයන් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම, අපගේ රංග චිකිත්සන පර්යේෂණ මධ්‍යස්ථානයේ ඉදිරි ගමන රඳා පවතින්නේ මේ පර්යේෂණවල සාර්ථකත්වය මතයි. අපගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ලාංකීය සමාජයේ තරුණ පරපුර මුහුණ දෙන අනන්‍යතා ගැටලු සහ මානසික අභියෝග කෙරෙහිය.
අද වන විට විශ්වවිද්‍යාල ප්‍රජාව අතර මෙන්ම සමස්ත තරුණ පිරිස අතරද විශාල මානසික අර්බුදයක් ඇතිවී තිබෙනවා. තරගකාරී අධ්‍යාපන ක්‍රමය, රැකියා අවිනිශ්චිතතාව සහ සමාජීය පීඩනය හමුවේ අපේ තරුණයාට අත්‍යවශ්‍ය වී ඇත්තේ එම අභියෝගවලට ඔරොත්තු දීමේ ශක්තියක් (Resilience) ගොඩනගා ගැනීමටයි. කනගාටුවට කරුණක් නම්, තරුණ පිරිස අතර සිය දිවි නසා ගැනීම අද වන විට සෘණාත්මක රටාවක් බවට පත්ව තිබීමයි. මෙවැනි තීරණාත්මක තත්ත්වයන්ට ඔවුන් යොමු වන්නේ, ඔවුන්ගේ ජීවිතය වටිනාකමක් නැති තැනකට වැටී ඇති බව දැනෙන නිසයි.
මෙම අර්බුදයේ මූල හේතුව නම්, ඔවුන්ගේ වේදනාවට සවන්දෙන්න කෙනෙක් නොමැති වීමයි. ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම් සහ දුක්ඛිත අත්දැකීම් දකින්නට හෝ පිළිගන්නට අපේ සමාජය අසමත් වී තිබෙනවා. තමන්ගේ කතාව සමාජයට කියන්නට, ඊට ඇහුම්කන් දෙන අය සිටින බව දැනෙන්නට ආරක්ෂිත අවකාශයක් විවෘත කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි. අපගේ රංග චිකිත්සන පර්යේෂණ ආයතනය ක්‍රියාත්මක වන්නේ හරියටම එම අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙනුයි.
මේ නිසා අපගේ පර්යේෂණ තුළින්, නිර්මාණාත්මක කලා චිකිත්සාවන් භාවිත කරමින් තරුණ ප්‍රජාවට තමන්ව ප්‍රකාශ කරගන්නට සහ තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගන්නට පුළුල් අවස්ථා විවර කර දීමට අප උත්සාහ දරනවා. තරුණ පරම්පරාවට තමන්ගේ වේදනාව සහ බලාපොරොත්තු, වචනවලට වඩා ගැඹුරු ලෙස කලාව හරහා ප්‍රකාශ කිරීමට ඉඩ දීම අපගේ ප්‍රධාන අරමුණයි. ඒ වෙනුවෙන් අවශ්‍ය නව චිකිත්සා ක්‍රමවේද සහ පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීමට අපි කැපවෙලා සිටිනවා.
සංවාද සටහන: චන්දිම
“Pedagogy of the Oppressed” කෘතියේ පරිවර්තනය “පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව” [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.