” පන්තියට බලය – බලයට පක්ෂය ” තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව අද ( 2026. 03. 01 ) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට ආරම්භ විය. මෙහිදී සමුළුව අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා පළ කළ අදහස් සංක්ෂිප්තයක්.
” 2011 ඉඳල අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැදුවේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ. එදා අපේ ලලිත් සහ කුගන් සහෝදරවරු පැහැරගෙන අතුරදන් කිරීමේ ඉඳලා අද වෙනකල් අපි පස්සෙ දැවැන්ත රාජ්‍ය මර්දනයක් පන්නමින් ඉන්නවා. හැබැයි කොතරම් හිරගෙවල්වල ඉන්න වුනත් මර්දනයට ගොදුරු වුනත් අපේ සටන් කිරීමේ ගුණය එක දශමයක් අඩු වුනේ නැහැ. අපි මේ සමාජයේ ජනතාව එක්ක හැමවෙලාවෙම හිට ගත්තා.
හිට්ලර් කෙනෙක් කියලා ආව ගෝඨාභය රාජපක්ෂගේ පාලනය කාලේ මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙන වෙලාවේ මේ රටේ මිනිස්සු තීරණය කළා මේ දූෂිත පාලනය පෙරළන්න ඕන කියලා. ඒ වෙලාවෙ නායකත්වයක් නැති අරගලවලට අපි එන්නෙ නැහැ කියලා සමහරු ගුහාව ඇතුළට රිංගද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ජනතාව එක්ක පාරට බැස්සා. ඒක නිසාම තමයි එදා හොර පාරෙන් ජනාධිපති වුණ රනිල් වික්‍රමසිංහලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තහනම් කරන්න ආරක්ෂක කවුන්සිලය ඇතුළේ කතාකළේ. කොරෝනා වසංගතය වෙලාවේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් අපි හිටියා. දිට්වා ආපදාව වෙලාවෙත් අසිරි හදවත වැඩසටහන එක්ක අපි හිටියේ ජනතාව අතර. මේ රටේ පාලකයෝ ජනතාවගේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය නැති කරන්න යන හැමවෙලාවෙම අපි ඒකට විරුද්ධව සටන් බිමේ හිටියා. හෙටත් අපි ඔබත් එක්ක ඉන්නවා. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ නොනිදන පක්ෂයක් විදිහට ජනතාව අතර තහවුරු වෙලා ඉවරයි.
අපි පක්ෂයක් විදිහට හැමවෙලාවෙම ගත්තේ නිවැරදි දේශපාලන තීරණ. 2015 විධායක ජනාධිපති කම අහෝසි කරන්න පුලුවන් අන්තිම අවස්ථාව උදා වුනා කියාගෙන මෛත්‍රිපාලවත් කරේ තියාගෙන නඩයක් එනකොට කිසිඳු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ජවිපෙත් හොර පාරෙන් ඒ බස් එකේ නැඟලා ගියා. හැබැයි අපි ඒ බස් එකට නැග්ගෙ නැහැ. අපි එදා කිව්වා මේ ගොල්ලො ඔය විධායකය අහෝසි කරන්නෙ නැහැ ඕක මුලාවක් විතරයි කියලා. අපි එදා ඒ කියපු කතාව අද නිවැරදියි කියලා ඔප්පු වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහලා, එතනින් පස්සේ අනුර දිසානායකලා IMF ණය ගිවිසුම කරේ තියාගෙන යන වෙලාවෙත් අපි කිව්වා ඒ ණය ගිවිසුම නිසා මේ රටේ ජනතාවට විශාල වන්දියක් ගෙවන්න වෙනවා කියලා. ඒ ප්‍රතිපලය දැන් අපේ ඇස් පනාපිටම පෙනෙන්න පටන් අරගෙන. මේ ණය ගිවිසුම් නිසා මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ETF, EPF අරමුදල් විශාල හානියකට මුහුණ දෙන්න නියමිතයි. හැබැයි අන්න සුපිරි කෝටිපතියන්ගේ රුපියල් බිලියන 1811ක බැඳුම්කරවලට රුපියල් බිලියන 464ක සුපිරි පොලියක් මේ ගොල්ලො ගෙවනවා.
රනිල් වික්‍රමසිංහ හදපු සුරංගනා ලෝකෙ ඇතුළට යන්න එපා වැල්ලේ මාළිගා හදන්න එපා කියලා අපි මේ ආණ්ඩුවට කට කැඩෙනකල් කිව්වා. ඔන්න දැන් අපි කියපුවා ඇස් පනා පිට පෙනෙන්න පටන් අරගෙන. දැනට තියන තොරතුරු අනුව 2028 වෙද්දි අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 187කින් ඩොලර් මිලියන 250කින් ඉහළ යන්න නියමිතයි. මේ මුදල් ගෙවන්න වෙන්නේ දැනටමත් බෙල්ල මුලට හිරවෙලා ඉන්න මේ රටේ ජනතාවටම තමයි. ඔන්න අනුරගේ ආර්ථික කෙරුවාව. අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයිය ගහපු අය අන්න දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට වඩා හපන් පනතක් කර ගහගෙන ඇවිත්. මේ රටේ සටන් කරන බලවේග වෘත්තීය සමිති මර්දනය කරන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. සුදුහුණු ගාපු, පම්පෝරි ගහපු අයට දැන් ගල් අඟුරු ප්‍රශ්නය ගැන මීක් ගහන්නෙ නෑ. තවමත් සිදුවුණේ මොකද්ද කියලා හොයන්න පරීක්ෂණයක් කරන්න ආණ්ඩුව සූදානම් නැත්තෙ ඇයි ? ඒ මෙතන අනිවාර්ය ප්‍රශ්නයක් තියෙන නිසා. අපි ආවම විනිවිදභාවයකින් වැඩ කරනවා කියපු අනුරලා දැන් ගහන්නෙම හොර ගිවිසුම්. ඉන්දියාව එක්ක ඇමරිකාව එක්ක දවසින් දවස හොර ගිවිසුම් ගහනවා. ඒවා මොනවද කියලා රටේ ජනතාවට තවමත් හෙළි කරලා නෑ. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ආවේ වංචා දූෂණ සටන් පාඨය එක්ක. හැබැයි මේක තමයි ඔය සටන් පාඨය පාවිච්චි කරල බලයට එන අන්තිම ආණ්ඩුව. නැවත ඔය සටන් පාඨය පාවිච්චි කරන්න කාටවත් පුලුවන් කමක් නෑ. එක්කෝ මේ ආණ්ඩුව හොරු අල්ලනවා. එහෙම නැත්තං හොරු ටික එකතුවෙලා ආණ්ඩුව අල්ලනවා. ඔය දෙකෙන් එකක් ඉදිරි අවුරුදු කිහිපය ඇතුළේ වෙන්න නියමිතයි.
සමහරු අපෙන් අහනවා සහෝදරයා මේ ආණ්ඩුව වැටෙන දවස හරියටම කියන්නලු. අපි ඔවුන්ට කියනවා අපිට ආණ්ඩුව වැටෙන දවස හරියට කියන්න බැහැ. හැබැයි අපිට එක දෙයක් කියන්න පුලුවන්. ඒ තමයි මේ ආණ්ඩුව ගොඩනපු දේශපාලන රසායනය, එහෙම නැත්තම් දේශපාලන සන්ධානය ඉරිතලලා ඉවරයි. ඒ ඉරිතැලීම එක්ක මේ සන්ධානයේ බිඳ වැටීම කාටවත් නවත්වන්න පුලුවන් කමක් නැහැ. අන්න ඒ බිඳ වැටීම වෙලාවේ මේ රටේ දේශපාලනය තුළ අනිවාර්යයෙන් රික්තකයක් මතුවෙන්න නියමිතයි. IMF ණය ගිවිසුම්වල කොන්දේසි මත රටේ ජනතාවට බදු පිට බදු ගහද්දි අනිවාර්යයෙන් ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා. ඉන්දියාව එක්ක ගහපු හොර ගිවිසුම් අනුව මේ රටේ ඉඩම් ටික බලශක්තිය ඉන්දියාවට පාවාදෙනකොට ඒකට විරුද්ධව මේ රටේ සටන් ඇවිලෙනවා. ඒ නිසයි අපි කියන්නේ අනිවාර්ය දේශපාලන රික්තකයක් මේ රටේ මතුවෙනවා කියලා. හැබැයි ඒ රික්තකය පුරවන්න තවදුරටත් සජිත්ලට නාමල්ලට පුලුවන් කමක් නැහැ. ජාතිවාදය අවුස්සලා වාසි ගන්න බලන, මොකක් හරි මේකප් විවේචනයක් කරලා ෂේප් වෙන අඳබාල විපක්ෂයට බැහැ මේ රික්තකය පුරවන්න. ඒ නිසා මේ ඇතිවෙන රික්තකය පුරවන්න පුලුවන් කමක් හැකියාවක් තියෙන්නේ නිර්ධන පන්තියට විතරයි. තවදුරත් පක්ෂවලට මුහුණුවලට බලය දුන්න ක්‍රමය වෙනුවට මේ රටේ වැඩකරන ජනතාව අතට බලය ගැනීම තුළ විතරයි මේ රික්තකය පිරවෙන්නේ.
මේ ආර්ථිකය ඇතුළේ අපිට පෙන්නන්නෙ සිහින ලෝකයක් විතරයි. මේ ආර්ථික බුබුළ ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුලුවන්. අද පාරට බැහැලා බලන්න හන්දියේ ත්‍රීවිල් එක එලවන මනුස්සයා ඔළුවට අත ගහගෙන කල්පනා කරන්නේ කොහොමද හෙට උදේට දරුවට කිරිපිටි ටිකක් දෙන්නෙ කියලා. රණවිරුවෝ ගැන ලොකුවට කියෙව්වට හමුදාවෙ පොලීසියේ අය රෑට කොළඹ නගරේ ඌබර් පිග්මී දුවනවා. අද කොල්ලොන්ට කෙල්ලන්ට ටික්ටොක් කරලා, යූටියුබ් වීඩියෝ කරලා සල්ලි හොයන්න වෙලා. සමහරු කියනවා ඒක හොඳයිලු. අපි අහන්නේ ඒවා ස්ථාවරයිද ? රක්ෂණයක් තියනවද ? කවදහරි ඕවා කඩ වැටුණම ඒ තරුණ තරුණියන්ගේ ජීවිතවලට වන්දි ගෙවන්නේ කොහොමද ? ඒ නිසා මේ සිහින ලෝකයෙන් ඇහැරිලා දැන් මහපොළොවට බහින්න මේ රටේ ජනතාවට කාලය ඇවිත්. ප්‍රාග්ධනයේ වුවමනාවන් වෙනුවෙන් තරුණ තරුණියන්ගේ ජීවිත පාවිච්චි කරන නවලිබරල් ආර්ථිකය වෙනුවට සමාජයේ වුවමනාවන් වෙනුවෙන් හැසිරෙන ජනතාවාදී ආර්ථිකයේ න්‍යායපත්‍රයක් ඇතුළේ විතරයි මේ ගැටලුව විසඳන්න පුලුවන් වෙන්නේ.
දැන් සමහරු මේ කඩං වැටෙන සිස්ටම් එක ඇතුළේ ආයෙමත් ජාතිවාදය අවුස්සල බලය ගන්න මාන බලමින් ඉන්නවා. මේගොල්ලො තමයි එදා යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බේ. ඊටපස්සෙ අලුත්ගම දර්ග නගරයට ගිනි තිබ්බා. මේ ගොල්ලො දන්න එකම දේ ගිනි තියන එක විතරයි. අද වතුකරයේ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණයට ගොදුරු වෙලා.
මේ රටට වාර්ෂිකව ඩොලර් බිලියන ගාණක් හොයලා දෙන මිනිස්සුන්ට අවුරුදු 200ක් තිස්සේ ඉන්න ගෙයක් නෑ. ස්ථිර ලිපිනයක් නෑ. දරුවට යන්න පාසලක් නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ සිස්ටම් එක ඇතුළේ තවදුරටත් ජාතික පීඩනයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. හැබැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ආවේ ජාතික ගැටළුවට ඇත්ත විසඳුමක් අරගෙන. ජාතික ගැටළුවට විසඳුමක් ලැබෙන්න නම් සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් රැකෙන ස්වයංපාලන ප්‍රදේශ පිහිටුවන්න ඔන. ඒ වගේම ජාතිවාදී අණපනත් සම්මත වෙන වළක්වන විදිහට ද්විමණ්ඩල ව්‍යවස්ථාවක් ස්ථාපිත වෙන්න ඕන. ඒ වගේම මලෛයහ තමිල් ජනතාව මේ රටේ ජාතියක් විදිහට පිළිගන්න ඕන. මේ කියන ඉල්ලීම දිනාගැනීම සඳහා සටන් කරන්න සූදානම්.
ලෝක දේශපානලනය තුළත් මේ වෙද්දි වාමාංශික දේශපාලනයට රික්තකයක් නිර්මාණය වෙමින් යනවා. අපි දන්නවා චීනය ඉදිරියේදී ලෝක ආර්ථික බලවතා බවට පත්වෙන්න නියමිතයි. ඒ පරාජය දරාගන්න බැරුව වියරු වැටුණු ඇමරිකාව අද වෙද්දි මැදපෙරදිග දැවැන්ත ජන සංහාරයක් කරමින් යනවා. ජාතිවාදී යුද්ධ ලේබලේ ඇලෙව්වට ඇත්තටම මේ දිගහැරෙන්න ඇමරිකන් – චීන ආර්ථික යුද්ධයක්. ලෝක දේශපාලනයේ ප්‍රබලම බලකඳවුරු දෙක යුද්ධයකට පැටලෙනවා කියන්නේම මුළු ලෝකයම යම් මොහොතකට අරාජිකත්වයට පත්වෙන්න නියමිත බවට සාක්ෂියක්. මේ අරාජිකත්වය වාමාංශික ව්‍යාපාරවලට ඉතාම වාසිදායකයි. ඒ නිසා ලංකාවටත් අනිවාරෙන් මේ අරාජිකත්වය කඩා වදිනවා. ඒ කඩා වදින මොහොත පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ගණං බලමින් ඉන්නවා. අන්න ඒ මොහොත ඇතුළේ මේ රටේ නිර්ධන පන්තිය ඒකරාශි කරගත් පුළුල් විප්ලවීය මහජන ව්‍යාපාරයක් යටතේ වැඩකරන පන්තිය අතට ආර්ථික දේශපාලන බලය ලබාගැනීම සඳහා වන විප්ලවයට අපි සූදානම්. අපි මෙවර සමුළුවේදී ඉලක්ක කරන්නේ අන්න ඒ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළයි. “






