පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 6ක් ගතවන විට, මාලිමා ආණ්ඩුව යටතේත් මෙම ප්‍රහාරයට වගකිවයුතු අය කවුද යන්න ගැන හෙලිකිරීමක් සිදුව නැත. ඒ වෙනුවට ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් ඉදිරියට රැගෙන යන බව පමණක් පවසා තිබේ.
එහෙත් ආණ්ඩුව පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන නව දිශානතියක් වෙත ගෙනයමින් තිබෙන බවයි. එයට හේතුව ලෙස දක්වන්නේ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමයි.
නමුත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව යි.
පසුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන දින 90ක් කාලයක් සඳහා රඳවා තබා ප්‍රශ්න කරමින් සිටියි.
මීට පෙර පැවති රජයන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විමර්ශන ගැන කතෝලික සභාව ඇතුළු රටේ ජනතාව එතරම් සෑහීමකට පත් නොවීය. සියලු දෙනා දිගින් දිගට ම අවධාරණය කළේ, මෙම ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි අනාවරණය කරන ලෙස ය.
එහෙත් නව ආණ්ඩුවද කල් ගැනීම හැර මහමොලකරුවන් කවුද යන්න ගැන හෙළිකිරීමට උත්සාහ කරන බවක් දක්නට නැත. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙන බව ආණ්ඩුව පවසයි.
ඊට අමතරව අනුර කුමාර දිසානායක පොළොන්නරුවේදී ඊයේ (20) පැවති ජන හමුවකදී පැවසුවේ මෙම පරීක්ෂණ වාර්තා ඉදිරියට ගෙනයමින් සැබෑ වගඋත්තරකරුවන් හෙළිකරන බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
අද පාස්කු ඉරිදා දිනයයි. 2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් විශාල ඛේදවාචකයක් සිදු වුණා. 2019 අප්‍රේල් සිට 2024 සැප්තැම්බර් දක්වා ආසන්න වශයෙන් ගත් විට වසර පහමාරක් මෙම පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවා යටත්පත් කිරීමයි. 2019 පැවති ආණ්ඩුව හෝ නැවත 2019 නොවැම්බර්වල බලයට පත් වූ ආණ්ඩුවට හෝ සැබෑ වගඋත්තරකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. දැන් පාස්කු ප්‍රහාරයට වසර 06ක් ගත වී තිබෙනවා. අපි බලය අරගෙන මාස 06කට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. අපි ඉතාමත් නිරවුල්ව පියවරින් පියවර පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණ වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර ගනිමින් ද සිටිනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් අද මට ලැබුණා. එම සියලු වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙම වාර්තා එළියට දැමුවේ ඇතැම් ලේඛන කොටස් සඟවලයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේඛන විමර්ශනය කිරීම වෙනුවෙන් අද මම එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළා. අපි බලයට පත් නොවන්න තවමත් එම ලේඛන සඟවා තිබෙනවා. අපි අද ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා හොඳට කියවා නිර්දේශ ඉදිරිපත් කිරීමට.
එහි නිර්දේශ ගණනාවක් තිබෙනවා. එම නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම මෙම ප්‍රහාරය පිළිබද තැන තැන ආන්දෝලනයට තුඩු දුන් සිදුවීම් තිබෙනවා. පළමු පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගිහින් දැම්මේ කවුද? එහි සැකයක් තිබෙනවා. සමහර එමි අංක තිබෙන දුරකථන අංක භාවිත කළේ කවුද කියා සැකයක් තිබෙනවා. අපි ඒ සියලු සැක නිරාකරණය කරමින් පරීක්ෂණ හා විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා. මේ රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් හෙළි කිරිමේ වගකීම අපි ඉටු කරනවා.