Breaking News

සියලුම බැංකු ගිණුම්වලට 10% බද්ද වදින බව ආණ්ඩුව පිළිගනී

සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපාගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඊයේ (26දා) පිළිගෙන තිබේ.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26දා) උදේ පැවති මාධ්‍ය හමුවකදී ය.

එසේ කපාගත්තත් බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බවද ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රනාන්දු පවසා ඇත.

එවැනි යාන්ත්‍රණයක් සකස් කරන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත්, ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය සකසන බවත්, බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපාගැනීමෙන් අසාධාරණයක් වීමට ඉඩ නොතියන බවට සහතික වන බවත් ඇමැති අනිල් ජයන්ත පැවසිය.

මේ අනුව ඇමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනාවරණය වූයේ, රු. 150,000 ක මාසික පොලී ආදායමක් ලබන අයට පමණක්, වැඩිකළ සියයට 10ක රැඳවා ගැනීමේ බද්ද අදාළ වුවත්, බද්දට යටත් නොවන අයගෙන්, එලෙස කපාගත් මුදල නැවත අදාළ තැන්පත්කරුවන්ට ලබාදීමට ක්‍රමවේදයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

මේ අනුව රුපියල් 100ක මාසික පොලී ආදායමක් ලැබුණත් බැංකුවලින් සියයට 10ක රැඳවුම් බද්දක් කපාගන්නා නිසා අදාළ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ලබාගැනීමට බස් ගාස්තු වශයෙන්ම ඊට වැඩි මුදලක් දැරීමට සිදුවෙනවා නොවේදැයි මෙහිදී ජනමාධ්‍යවේදීන් ඇමැති ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඒ සියල්ලටම උත්තරය ගෙනෙන බවයි.

“රඳවා ගැනීමේ බද්ද හරහා රජය වැඩිපුර බදු ගැහුවා කියන එක වැරදියි. රජය අතිරේක ආදායම් බදු ගහන්නේ නෑ. බදු දැල පුළුල් කරගන්න ඕන. බදු අය කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කරගන්න ඕන. ප්‍රභවයේදී බදු අයකර ගැනීම තමයි කාර්යක්ෂම ක්‍රමවේදය. බදු අයකිරීම සාධාරණ ක්‍රමවේදයකට යන්න ඕන. ලොකු තැන්පතු තියන අය බදු ගෙවන ක්‍රමවේදයට ගෙන ඒම සඳහා මේ රැඳවුම් බද්ද වැඩි කළා” යැයි ද ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

රජය පසුගියදා රැඳවුම් බද්ද සියයට 5 සිට 10 ක් දක්වා වැඩ කර තිබුණි.

එහෙත් රුපියල් ලක්ෂ එකහමාරක මාසික පොලිය ලැබුණොත් පමණක් මේ බද්දට යටත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

leave a reply