Breaking News

රජයේ වැටුප් වැඩිවීම ගැන වෘත්තීය සමිතිවල අප්‍රසාදය 

රජයේ වැටුප් වැඩිවීම ගැන වෘත්තීය සමිතිවල අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ වෙමින් තිබේ. බොහෝ වෘත්තීය සමිති පවසන්නේ ගණිත සූත්තර හරහා ඇත්ත වැටුප් වැඩිවීම වසා දමා ඇති බවයි.

වැටුප් වැඩිවීම් ඇත්ත

ජනපති අනුර කුමාර දිසානායක  ඉදරිපත් කළ අයවැයෙන් රාජ්‍ය සේවක අවම මූලික වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළත් එහිදී සිදුවන අවම ශුද්ධ වැටුප් වැඩිවීම රුපියල් 8250ක් බව පෙනේ. එයද වැඩිවන්නේ වසර තුනක් තුළයි.

අයවැය රුපියල් 15750ක මූලික වැටුප් වැඩිවීමක් යෝජනා කරමින් රාජ්‍ය සේවක වැටුපට මීට පෙර එකතු කර තිබූ (එල්ලන ලද ) රුපියල් 7500ක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

2019 වසරේදී හා 2022 වසරේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 2500ක් හා රුපියල් 5000ක් එකතු කර තිබුණ අතර එම වැටුප් එකතු කිරීම සිදුකළ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛණ නව අයවැය මගින් අවලංගු කර තිබේ.

මේ අනුව රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප ශුද්ද වැඩි වී ඇත්තේ රුපියල් 8250කි. කෙසේ වෙතත් මූලික වැටුප වැඩිවීම ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප්, ඉදිරියේදී සිදුවන වැටුප් වර්ධක මෙන්ම අනෙකුත් එකතු කිරීම්ද ඉහළ යනු ඇත.

අයවැය මගින් යෝජනා කළ වැටුප් වැඩිවිම අප්‍රේල් මාසයේදී සිදුවෙයි. එහිදී රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප 5975 කින් (5000 + (8750-5000) * 30%) + 975) වැඩි වෙනු ඇත. ඉන් අනතුරුව 2026 ජනවාරි මාසයේදී හා 2027 ජනවාරි මාසයේදී මෙම වැටුප් වැඩිවීමට අදාළ ඉතිරි මුදල් මූලික වැටුපට එකතු වෙනු ඇත.

නමුත් මින් පෙර රු 5000ක දීමනාවක් ලබාදී තිබූ නිසා සත්‍ය ලෙස වැඩිවන්නේ රුපියල් 975ක් පමණක් බව පැහැදිලිය.

වෘත්තීය සමිතිවල අප්‍රසාදය

මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එහි ලේකම් චානක ධර්මවික්‍රම  සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයාට සතියක කාලයක් ලබාදෙන බවය.

අදාළ සාකච්ඡාවක් ලබාදීමට පියවර නොගතහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම  පැවසීය.

මෙවර ඉදිරිපත් වූ අයවැයෙන් සිදු වූ වැටුප් සංශෝධනය පිළිබඳව අපැහැදිලි තැන් ගණනාවක්ම තිබෙන බවත් එය පැහැදිලි කර ගැනීමට ලබන 21 වන සිකුරාදා සංගමයේ මධ්‍යම කාරසභාවේ වැටුප් පිළිබඳ විශේෂඥ කමිටුව කැඳවීමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සංගමයේ විධායක සභාව කැඳවා සිදුකළ සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

වෛද්‍යවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුපට, දීමනාවන්ට අතිරේක රාජකාරී දීමනාවලට කුමක් සිදුව තිබෙන්නේද, වැටුප් අනුපාතවල විෂමතාවක් ඇතිව තිබෙනවාද? යන්න පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කරන අතර මෙහිදී වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට ගන්නා තීන්දු තීරණයන් මොනවාද? ගැටලුකාරී තත්ත්වය පැහැදිලි කර ගනිමින් එයට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද යන්න පිලිබඳව සහ ඉන් එහාට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිලිබඳව අවසන් තීන්දු තීරණයන් රටට හෙළිකරන බව හෙතෙම පවසයි.

පසුගියදා (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන්  පැවසුවේ, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ‘සුබෝදනි කමිටු වාර්තාව’ පිළිබඳව අවධානය යොමු කර නොමැති බවයි.

“වැටුප වැඩිකරලා තියෙන්නේ අවුරුදු තුනකට. අපි අහන්නේ, 2026 බජට් එකක් නැද්ද ? 2027 බජට් එකක් නැද්ද ? අවුරුදු 3කට වැටුප් වැඩිකිරීමක් කියන එකේ අර්ථය කුමක් ද ? අපි සියලුදෙනා බලාපොරොත්තු වුණේ රු 20,000ක වැටුප් වැඩිකිරීමක්. ප්‍රධානම දේ තමා අපේ වැටුප් අරගලය තිබුණේ සුබෝදනී කමිටු වාර්තාවේ ඉතිරි තුනෙන් දෙක ගන්න එක. මේ ගැන එක වචනයක කතාවක් නෑ. මේ ගැන කතා නොකිරීම බරපතළ ප්‍රශ්නයක්.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් සහ දීමනා පිළිබඳව යළි සලකා බැලීමක් රජය විසින් සිදුකරනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම  සඳහන් කළේ,

“සෞඛ්‍ය සේවයට යම් වැඩිපුර මුදලක් වැයකරලා තියෙනවා මේ සැරේ බජට් එකෙන්. නමුත් ඊට වැඩිය බරපතළ තත්ත්වයක් වෘත්තීකයන්ට දීමනා වැඩිකිරීම හෝ දීමනා සංශෝධනය කිරීමේ දී සිදුවෙලා තිබෙනවා. අතිකාල හෝ අමතර සේවා කිරීම අපේ අවශ්‍යතාවයක් නොවේ. එය රෝහල්වල අවශ්‍යතාවය මත සිදුකරනු ලබන්නක් රජය මේ ගැන නැවත සලකා බැලීමක් සිදුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කර සිටියා.

“වර්තමාන රජයේ පොරොන්දුව තමා රාජ්‍ය සේවකයින් සඳහා පවතින ජීවන වියදම් දර්ශකය සැලකිල්ලට ගෙන වැටුප් ගෙවනවා කියන කාරණය. වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගත්තහම ආණ්ඩුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. රු 15,000 හම්බවෙන්නේ අවුරුදු තුනකින්. ලෝකයේ සිදුවන සිදුවීම් එක්ක මේ අවුරුදු තුනක ක්‍රියාකාරීත්වය කොයි විදියට විසඳෙයි ද කියලා අපි දන්නේ නෑ. 2015 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවෙලා නෑ.”

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛතා ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් අවස්ථා තුනක ලිපි මඟින් දැනුම් දී ඇති බවත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් මේ ආණ්ඩුව ලබාදී නැති බවයි.

leave a reply