යෝජිත විදුලි බල සංශෝධන පනතේ සංකල්ප පත‍්‍රිකාව පිලිබඳ මහජන අදහස් විමසීම කම්කරු අරගල මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ වත්මන් ආණ්ඩුව කළ යුත්තේ ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකා වලදී පොරොන්දු වූ පරිදි මෙම පනත අහෝසි කිරීම මිස එයට සංශෝධන කැඳවමින් එය නීතියක් බවට පත් කිරීම සඳහා පාර කැපීම නොවන බවයි. එසේම ආණ්ඩුව හා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට පනත සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක් ඇත්නම් මහජන අදහස් විමසිය යුතුව තිබුණේ 2024 අංක 36 දරණ විදුලි බල පනත සම්බන්ධයෙන් මිස ඊනියා සංකල්ප පත‍්‍රිකාවක් සම්බන්ධයෙන් නොවන බවද කම්කරු අරගල මධ්‍යස්ථානය අවධාරණය කර තිබේ. එබැවින් මෙම වංචනික මහජන අදහස් විමසීම අවලංගු කර පනත සම්බන්ධයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික ජන සහභාගීත්වයකට අවකාශය සලසා දෙන ලෙස යෝජනා කරන බවද එම නිවේදනය දැක්වේ.
කම්කරු අරගල මධ්‍යස්ථානය නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
2024 ජුනි 06 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදුව කතානායකවරයා විසින් 2024 ජුනි 27 වැනිදා අත්සන් කර නීතියක් බවට පත්කළ 2024 අංක 36 දරණ විදුලි බල පනතේ සංශෝධන පිලිබඳ මහජන අදහස් විමසීමක් සිදු කෙරෙන බව 2025 ජනවාරි 28 වැනිදා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ දැන්වීමක් පළ කර තිබිණි. එම සංශෝධන පිළිබඳව දස පුද්ගල කමිටුවක් විසින් සකස් කරන ලද සංකල්ප පත‍්‍රිකාවක්ද ඒ සමග පළකර තිබිණි. මෙම අදහස් විමසීම සම්බන්ධයෙන් අපට ඇති නොඑකඟතා ගණනාවක් තිබේ. මෙකී මහජන අදහස් විමසීම සද් චේතනාවෙන් යුතුව සිදු කරන්නක් නොවන බවද අපගේ අදහසයි. මෙම ක‍්‍රියාවලිය පිලිබඳ පහත විවේචන අපට ඉදිරිපත් කළ හැක්කේ ඒ සඳහා වන සාක්ෂියක් ලෙසිනි.
(අ* 2024 අංක 36 දරණ විදුලි බල පනත කෙටුම්පත් කිරීමේ ක‍්‍රියාවලියේ සිටම අත්තනෝමතික හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන එකක් බව නොරහසකි. මුලින්ම නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කරන ලදී. එම අනු කමිටුවේ වාර්තාව සහ පනත් කෙටුම්පත අතර බරපතල වෙනස්කම් තිබීම තුළ මෙන්ම මූලික කරුණු වලදී ප‍්‍රතිවිරෝධී කරුණු අඩංගුව තිබීම විසින් පෙනී යන්නේ අනු කමිටුවක් පත් කිරීම මුළුමනින්ම වංචාවක් බවයි. ජනතාව රැුවටීම සඳහා අනු කමිටුවක් පත්කර, ආණ්ඩුවේ අන්තේවාසිකයන් පිරිසක් විසින් එය කෙටුම්පත් කර ඇති බව පැහැදිලිය. පනත් කෙටුම්පත ගැසට් කිරීමේදී එය සැබවින්ම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුළු කළ දිනයට දින තුනකට පෙර දිනයක් සඳහන් කර ජනතාව එයට එරෙහිව අධිකරණයට යාම සීමා කිරීමට අසාර්ථක උත්සාහයක් ගත්තේය. එමෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා පවා පනත් කෙටුම්පත ගැසට් කළ බව දැන නොසිටි බව ඔහු පාර්ලිමේන්තු කාරක සභාවකදී පිලි ගත්තේය. එනම් කෙටුම්පත නෛතික ක‍්‍රියාවලියට ප‍්‍රවේශ කර තිබුණේ අමාත්‍යංශ නිලධාරීන්ට පවා රහසිනි. ඉන් අනතුරුව මහජන අදහස් විමසීමක නමින් තවත් මහා වංචාවක් සිදු කළ අතර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට ඉදිරිපත් වූ කිසිදු අදහසක් සැලකිල්ලට ගෙන වෙනස්කම් සිදු කර නොතිබිණි.
එබැවින් මෙම පනත වහාම අහෝසි කර දැනට බලපවත්නා 1969 අංක 17 ලංකා විදුලි බල මණ්ඩල පනත සහ 2009 අංක 20 දරන ශ‍්‍රී ලංකා විදුලි බල පනත යලි බලාත්මක කළ යුතුය. එය සිදු කිරීමේ කිසිදු නෛතික බාධාවක් නැත. මන්ද යත් 2024 ජුනි 27 වැනිදා කතානායකවරයා පනතට අත්සන් තබන ලදමුත් අමාත්‍යවරයා එහි රෙගුලාසි සහ නියමයන් ගැසට් කරන තුරු පනත නීත්‍යානුකූලව බලාත්මක නොවන බව පනතේම සඳහන් වන හෙයිනි. නමුත් කතානායකවරයා පනතට අත්සන් තබා වසරකින්, එනම් 2025 ජුනි 26 වැනිදා සිට අදාළ රෙගුලාසි ගැසට් කළත් නැතත් පනත බලාත්මක වන බවද පනතේම සඳහන් වේ. එබැවින් වත්මන් ආණ්ඩුව කළ යුත්තේ ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකා වලදී පොරොන්දු වූ පරිදි මෙම පනත අහෝසි කිරීම මිස එයට සංශෝධන කැඳවමින් එය නීතියක් බවට පත් කිරීම සඳහා පාර කැපීම නොවේ. එබැවින් ඉහත කී ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනතක් සංශෝධනය කිරීම සඳහා අදහස් කැඳවීම අප තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. ආණ්ඩුව වහාම පනත අහෝසි කළ යුතුය.
(ආ* ආණ්ඩුවට හා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට පනත සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක් ඇත්නම් මහජන අදහස් විමසිය යුතුව තිබුණේ 2024 අංක 36 දරණ විදුලි බල පනත සම්බන්ධයෙන් මිස ඊනියා සංකල්ප පත‍්‍රිකාවක් සම්බන්ධයෙන් නොවේ. එබැවින් මෙම වංචනික මහජන අදහස් විමසීම අවලංගු කර පනත සම්බන්ධයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික ජන සහභාගීත්වයකට අවකාශය සලසා දෙන ලෙස අපි යෝජනා කරමු.
(ඇ* සංකල්ප පත‍්‍රිකාව ගැන සිදු කරන අදහස් විමසීම පවා සමාජය නොමග යවන ඇස්බැන්දුමක් බවට සාක්ෂි තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මහජන අදහස් විමසා දැන්වීම පළකළේ 2025 ජනවාරි 28 වැනිදා වන අතර එහි සිංහල දැන්වීමේ අදහස් හා යෝජනා ලබාදීමේ අවසන් දිනයක් සඳහන්ව නොතිබිණි. එහෙත් ඉංග‍්‍රීසි දැන්වීමේ අවසන් දිනය ලෙස පෙබරවාරි 7 වැනිදා දිනය සඳහන් කර තිබිණි. එනම් ජනතාවට මැදිහත්වීම සඳහා ලබාදී තිබුණේ සතියකට මදක් වැඩි ඉතා කුඩා කාලයකි. එය මේ සම්බන්ධ සංවාදය සමාජගත වීමටවත් ප‍්‍රමාණවත් කාලයක් නොවේ. පසුව පැමිණි විරෝධතා මත අදහස් ලබාදීමේ අවසන් දිනය පෙබරවාරි 14 දක්වා දිගු කළත් වැඩි කළ කාලය තුළ වැඩකරන දින ඇත්තේ හතරක් පමණි. එනිසා මෙම අදහස් විමසීම සැබවින්ම මහජන අදහස් ලබා ගැනීමේ උවමනාවකින් සිදු කළ බවක් නොහැෙඟ්.
(ඈ* ඊළඟ ප‍්‍රශ්නය වනුයේ මෙම සංකල්ප පත‍්‍රිකාව නිකුත්වී තිබෙන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් වීමයි. ජනගහනයෙන් සාතිශය බහුතරය සිය මව් භාෂාවන් ලෙස භාවිතා කරන සිංහල සහ තමිල් භාෂා වලින් එම සංකල්ප පත‍්‍රිකාව නිකුත් නොකර මෙලෙස අදහස් විමසීම මහජන අදහස් ඉදිරිපත් වීම වැළක්වීමේ අරමුණෙන් සිදු කරන ලද්දක් බව පැහැදිලිය. එය රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට පවා පටහැනිය. එනිසා සංකල්ප පත‍්‍රිකාවේ සිංහල සහ තමිල් භාෂා පරිවර්තන සමාජගත කර, ඒවා අධ්‍යනයට ප‍්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය. ඒ වනතුරු මෙම අදහස් විමසීමේ ක‍්‍රියාවලිය වහාම අත්හිටුවිය යුතුය.
(ඉ* 2024 අංක 36 දරණ විදුලි බල පනත සංශෝධනය කිරීම සඳහා වුව මෙම සංකල්ප පත‍්‍රිකාව සහ එය සකසන ලද කමිටුව කිසිසේත් සුදුසු නැත.
මෙම සංකල්ප පත‍්‍රිකාව සකස් කළ දස පුද්ගල කමිටුව තුළ ඉංජිනේරුවන් 9 දෙනෙකු සිටින අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි සමාගමේ සභාපති පුටු හොබවන්නන්ද ඒ අතර සිටී. මෙය පැහැදිලිවම ලැදියාවන් අතර ගැටුමක් ඇති කරන්නකි. එමෙන්ම මෙම කමිටුවේ දස දෙනා අතර කාංචන විජේසේකර හිටපු ඇමතිවරයා සමග එක්ව ජනතාවගෙන් සඟවා මෙම පනත කෙටුම්පත් කළ අයත් සිටින අතර ඔවුන්ගෙන් සාධනීය සංශෝධන අපේක්ෂා කිරීම මුලාවකි. ප‍්‍රශ්නය වන්නේ මෙම කමිටු සාමාජිකයන් අතර විදුලි බල මණ්ඩලය සමග විවිධ කොන්ත‍්‍රාත් හා ව්‍යාපාර වල නියුතු සහ නියුතුව සිටි පුද්ගලයන්ද සිටී. එනිසා මෙම සංකල්ප පත‍්‍රිකාව සංවාදයට ගැනීමට පවා සුදුසු නැත.
(ඊ* අනෙක් අතට පනත සකස් කිරීමේදී මෙන්ම මෙම සංශෝධන සකස් කිරීමේදීද මහජන අදහස් විමසීමක දවටනය යටතේ සුළු පිරිසකගේ වැඩසටහනක් සඳහා අනුමැතියක මුද්‍රාව තැබීමේ ක‍්‍රියාවලියක් දියත් වන බව පෙනේ. මෙයට පදනම් වී ඇත්තේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් 2025 ජනවාරි 23 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයයි. එහි 1.2 වගන්තිය මගින් මේ සංකල්ප පත‍්‍රිකාවේ රාමුව තුළ ශ‍්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත කෙටුම්පත් කරන්නැයි නීති කෙටුම්පත් සම්පාදකට දැනුම් දෙන ලෙස සඳහන් කර තිබේ. එයට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇත. තත්වය එසේනම් සංකල්ප පත‍්‍රිකාව සඳහා මහජන අදහස් විමසීම මුළුමනින්ම පාහේ ජනතාව නොමග යවන වංචාවකි.
සැබවින්ම මහජන අදහස් විමසා පුළුල් සමාජ සංවාදයක් ඇති කරගත යුත්තේ 2024 අංක 36 දරණ විදුලි බල පනත සම්බන්ධයෙනි. එම පනත සම්බන්ධයෙන් පහත සඳහන් ප‍්‍රධාන විවේචන එල්ල වී තිබිණි.
- විදුලි බල ක්ෂේත‍්‍රය පෞද්ගලීකරණය සඳහා දොරටු විවෘත වන සේ ලංකා විදුලි බල මණ්ඩලය කොටස් වලට කඩා දැමීම. සමස්ත ක‍්‍රියාවලිය විදුලි බලය උත්පාදනය, සම්පේ‍්‍රෂණය, බෙදා හැරීම, වෙළඳාම, සැපයීම සහ ප‍්‍රසම්පාදනය ලෙස කොටස් 6කට බෙදා ඒ සඳහා සමාගම් පිහිටුවීමට යෝජනා කිරීම සහ එම සමාගම් ගණනාවක් කොටස් වෙළඳපල හරහා පුද්ගලික අංශයට අත්පත් කර ගැනීමට අවස්ථාව විවර කිරීම.
-
ජනතාවගේ දෛනික ජීවන පැවැත්ම සහ ජාතික ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලි බලය පිලිබඳ වගකීම රජය අතහැර එය වෙළඳපොල ගතිකයන්ට යටත් කිරීම.
-
තරඟකාරී ලෙස මිල ගණන් කැඳවීම සහ අවම මිල මූලධර්මය වැනි ප‍්‍රසම්පාදන රෙගුලාසි කඩ කර කැබිනට් මණ්ඩලයට අත්තනෝමතික ලෙස තීරණ ගැනීමට ඉඩකඩ සලසා දීම.
-
තරඟකාරී ලෙස ආයෝජන කැඳවීමේ අරමුණක් පනතේ සඳහන්ව තිබුණද පනතේ සංයුක්ත වගන්ති හරහා ඒකාධිකාර ශක්තිමත් වීමේ අවදානමක් නිර්මාණය කර තිබීම.
-
ඇමතිවරයාට අසීමිත බලයක් ලබාදී විදුලි බල ක්ෂේත‍්‍රය දේශපාලන ඇත පෙවීම් වල ගොදුරක් බවට පත් කිරීමට මෙම පනත හරහා ප‍්‍රතිපාදන ඇති කර තිබිණි.
-
විදුලි බලය පිලිබඳ පොදු ප‍්‍රමිති සහ විදුලි ගාස්තු සම්බන්ධයෙන් දැනට පවතින නියාමන ව්‍යුහයන් පවා දුර්වල කර විදුලි පාරිභෝගිකයා සූරා කෑමට අවකාශ පුළුල් කිරීම.
-
ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය අහිමි වන සේ ඉන්දියාව වැනි රටවලට තීරණාත්මක බලයක් හිමිවන ක‍්‍රියාමාර්ග සඳහා නෛතිකභාවයක් ලබාදී තිබීම.
-
විදුලි බල මණ්ඩලයේ දැනට සේවය කරන සේවකයන්ගේ රැුකියා සුරක්ෂිතතාව, වටුප්තල සහ සේවා කොන්දේසි බරපතල අවදානමකට ලක්වීමේ ප‍්‍රවණතාවක් පනත තුළ තිබීම.
අමාත්‍යාංශය විසින් යෝජිත ඊනියා සංශෝධන සහිත සංකල්ප පත‍්‍රිකාවේ විසඳුම් ලබා දී ඇත්තේ මේවායෙන් කවර ප‍්‍රශ්නයකට යන පැනය මතුවේ. දස පුද්ගල කමිටුව උත්සාහ කර ඇත්තේ පනතේ පදනම බවට පත්ව ඇති ප‍්‍රතිගාමී අරමුණු සහ රාමුව බිඳකින්වත් වෙනස් නොකර වෙනසක් කළ බව ජනතාවට හැෙඟන සේ ඇස්බැන්දුමක් නිර්මාණය කිරීමටය.
දුමින්ද නාගමුව
සංවිධායක ලේකම්,
කම්කරු අරගල මධ්‍යස්ථානය.