සනීප නින්දකින් පසු එක ඇසක් පමණක් ඇරගෙන ජංගමයේ වෙලාව බැලුවෙමි. පාන්දර 5.15 ලෙස සටහන්ව තිබූ බැවින්, අවදිව සුපුරුදු රසම රස තේ කෝප්පය සමග ජංගම දුරකථන අතට ගෙන දවසේ මගේ පලමු රාජකාරිය, මගේ පුතු වෙනුවෙන් වන සුබ පැතුම, තෙරුවනේ ආශීර්වාදය, විශ්වයේ සුපිරිසිදු ශක්තීන්ගේ ආශීර්වාදය, මගේ හිතවතුන් වෙත ද ප්‍රාර්ථනය කලෙමි.
ඊයේ පෙරේදා දෙදින, දිගු චාරිකාවක යෙදී පැමිණි බැවින්, ඒ සිතිවිල්ලේ තවමත් සැරිසරමි. පින්තූර ගැලරිය වරින් වර නරඹමින්, ඒ මතක තුල හිතේ ඇති හිනාව, මුවේ රඳවගෙන ඉන්නා අතරේ, නිකමට දැන් වෙලාව බලන්න හිතුන නිසාවෙන්ම දෑස් බිත්ති ඔරලෝසුව වෙත යොමු විය,. එහි වෙලාව පාන්දර 4.15 ලෙස සටහන්ව තිබූ බැවින්, දෑස් පිසදා ජංගමය වෙත නැඹුරුව නැවත වෙලාව නිරීක්ෂණය කලෙමි. මේ පාන්දර 4.15 ම විය. පාන්දර 3.15, 5.15 ලෙස දුටුව බැවින් ම නොව, දෑසේ හෝ ගතේ නිදිබර බවක් කෙසේවත් නොදැනෙන බැවින්, මේ මහා පාන්දර අවදිව නොට් පෑඩයේ අකුරු අමුණමි.
මං ගැන, මං ලබන අත්දැකීම් ගැන, ලියා තබන්නට නොයෙක් වර සිතුන නමුත් ඒ හරි ආකරව පෙල ගස්වා ගැනීමට තරම් මං වියත් ලියන්නෙක් නොවන බැවින් මේ අකුරුතුල සිටින මා ම ඔබ දකී දැයි අවිනිශ්චිතය.
මම ගැන මා තරම් හොඳට දන්නා වෙනත් කිසිවෙකු මේ ලොව සිටිය නොහැකි අතර ඔබ ගැන ඔබ තරම් හොඳට දන්නා වෙනත් කිසිවෙකු ද සිටිය නොහැක. මේ වචන පේලිය මා විසින් වෙනත් අයෙකුට පසුගිය සතියේ දවසක ප්‍රකාශ කරන්නට යෙදුනි. මේ ලොව වසන පුද්ගලයන් විවිධාකාර හැසිරීම් රටා ඇති අයවලුන් සිටින අතර, සමාජයට පෙනෙන චරිතය හා නොපෙනන චරිතය අතර වෙනස නිර්වචනය කිරීම පුද්ගලානුබද්ධ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමක් විය හැකි බැවින්, ඒ මනුෂ්‍යත්වයට නොවටිනා, නොහොබිනා කාර්යයක් බව මම සිතමි. මට, මා ආකාරව සිටීමට සාධාරණ අයිතියක් ඇති අතර, වෙනත් අයෙකුට ද එම අයිතියම ඇති බව පිලිගැනීමෙන් පමණක්, අනවශ්‍ය ලෙස අනුන්ගේ අභ්‍යන්තරයට එබී නොබැලීමට හොඳම හේතුව ඒ ලෙස ගැනීම ඉතා වටිනා ගුණ දහමක් ලෙස මම සිතමි.
පුද්ගල හැසිරීම තුල ඔහු හෝ ඇය විසින් සමාජය තුල මවා ඇති ප්‍රතිරූපය නඩත්තු කිරීම ඔහුගේ හෝ ඇයගේ ම කාර්යය ක් වන බැවින්, ඊට බාහිරින් සිට අතපෙවීම නොකල යූතු යැයි සිතමි.
මම, මාවම නිර්වචනය කර ගමි. මම මගේ හිතෛශීන්ට ඉතා අවංක වු ආදරයකින් බැඳී සිටිමි. ඔවුන් ද මා කෙරේ එවැනිම වු අවංක ආදරයකින් බැඳී සිටින බව විශ්වාස කරමි.
ඒ නිසාම අනුන්ගේ සිතක් තුල ඔබට ලැබුණ වටිනා කම් කිසිදාක අඩුව නොයන අතර, මට සේම වෙනත් අයට ද තමන් ඇසුරු කරන අයව හදවතේ ඒ ඒ ස්ථානවල රඳවා තබා ගැනීමට පූර්ණ වූද සාධාරණ වූද අයිතියක් ඇත.
එබැවින්, අන්‍ය විචාර තුල ඔබේ සබඳතා සඳහා ලංසු නොතබා, ඔබට දැනෙන, ඔබම හඟින තැන පමණක් ඔබ සිතිවිලි පවත්වා ගැනීමෙන් පහසු, සුවදායක මනුෂ්‍ය සම්බන්ධතා ඇති පුද්ගලයෙකුව ජීවත්ව මියයාම අගනේ බව ලියා තබමි. ඒ ම’හිතේ ද ධාරණය කර ගනිමි.