Breaking News

පීඩිත මානසිකත්වයෙන් පීඩක මානසිකත්වයට

නව පනතක් සම්මත කරගන්නා තෙක් දැනට පවත්වන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බවත්, අලුතින් පනතක් ගෙන එන බවත් සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර තම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වි තිබුණේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවයි. ඒ අනුව එම පොරොන්දුව කඩ කිරිමට බලයට පත්වූ පසු ආණ්ඩුව තීරණය කර තිබේ. එපමණක් නොව පසුගිය ආණ්ඩු සිදුකල ආකාරයටම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් ඊට විකල්ප නව පනතක් ගෙන ඒමට සූදානම් වේ. නව පනතක් පිළිබඳ අදහස ඉදිරිපත් වන්නේ දැනට තිබෙන පනතේ ඉතාම මර්ධනකාරී සභාවයය සම්බන්ධ සමාජයෙන් විරෝධතාවයක් එල්ල වීමත් සමඟයි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ප්‍රති ත්‍රස්ත පනත නමින් නව පනතක් ගෙන ඒමට සූදානම් විය. එම පනත තිබෙන පනතටත් වඩා බරපතල විය. උදාහරණයක් ලෙස රටේ මුළු ජනතාවක් ත්‍රස්තවාදීන් කිරීමේ හැකියාවක් එම පනතට ඇති බව නීතිවේදීන් ගේ අදහස විය. එසේම විරුද්ධ පාක්ෂික ක්‍රියාකර කම් , වෘත්තීය සමිති ක්‍රියාකර කම් පමණක් නොව මහජන උද්ඝෝෂණ පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ දැක්වීමේ අනතුරක් එම පනත තුළ අන්තර්ගත බව ඔවුන්ගේ අදහස විය.

බිමල් රාත්නයක පවසා ඇත්තේ,
“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු. ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ නීතිඥයන් පවා කියා ඇති පරිදි, ත්‍රස්තවාදයට අයත් වන සියලු අපරාධ මෙරට දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ වන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමට විශේෂ පනතක් අවශ්‍ය නොවේ. දණ්ඩ නීති සංග්‍රහය යොදාගනිමින් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ කටයුතු කිරීමේ හැකියාව පවතියි. ඒ අනුව බිමල් රත්නයකගේ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක්. යහපාලන සමයේ ප්‍රති ත්‍රස්ත පනත කරළියට පැමිණි මොහොතේ ඊට විරුද්ධ වූවෙකු ලෙස මෙම කාරණය බිමල් රත්නායක දැන සිටියා යුතුය.

නමුත් දැන් ආණ්ඩුව කටයුතු කරන බව පෙනෙන්නේ වාමාංශික පක්ෂයක් තබා ධනේශ්වර ප්රජාතන්ත්රවාදී සීමා පවා උල්ලංඝනය කරමිනි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව තමන් පවා පීඩාවට පත්වූ නීති දිගින් දිගටම පවත්වාගෙන යාමට හිතන්නේ පීඩිත මානසිකත්වය පීඩක මානසිකත්වයට මාරුවීම නිසාද යන ප්‍රශ්නය මතුවීම වැලැක්විය නොහැක.

leave a reply