ඉතිහාසය අලුත් කරමින් වාර්තාගත බලයක් ලබා ගත් වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ම බලය ලබාගත් දින සිට ම තමන්ට සිදුවූ විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවිය.
වත්මන් රජය බලයට පත්ව මාසයකුත් දින කිහිපයක් පමණක් ගත වන විට තමන්ට සිදුවුයේ යැයි කියන අකටයුතුකම්වලට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ සහ පොලීසියේ පිහිට පතන්නට සිදු විය.
තමන්ට සිදු වූ බව කියන අකටයුතුකම්, අසාධාරණ හා කුමන්ත්රණවලට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරු හතර දෙනෙක් හා මන්ත්‍රීවරියන් දෙදෙනෙක් පොලිසියට පැමිණිලි කළ අය අතර වෙති.
“අචාර්ය” තනතුර දැම්මේ කවු ද?
අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් “ආචාර්ය” යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ යොදා තිබුණු අතර පසුව එය ඉවත් කරන ලදී.
එම තනතුරු නාමය ඉවත් කරමින් නිවේදනයක් නිකුත් කරමින් එය තමන් අතින් සිදුවු වැරදීමක් බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ ය.
එහෙත් එයින් සෑහීමකට පත් නොවුන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඒ පිළිබඳව සොයා බලන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිළි කළේ ය.
“මම කවදාවත් මගේ නම ඉදිරියේ ආචාර්ය කියලා එකක් පාවිච්චි කරලත් නැහැ. එහෙම විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීව දත්ත පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා ආචාර්ය පදවියක් තිබුණේ නැහැ. එසේ නම් කොයි අවස්ථාවේ කොහොමද මේ ආචාර්ය කියන එක එන්නේ. ඒ සිද්ධියේ තියෙන පරිවේශණයන්, මේ කාලවකවානුව සියලුම සන්දර්භ සමස්තයක් ලෙස බලනකොට ඕනෑම සාධාරණ පුද්ගලයෙකුට සැකයක් මතු වෙනවා යම් අයෙක් මාව අපකීර්තිමයට පත් කරන්නට, එහෙම නැතිනම් මගේ දේශපාලන ව්‍යපාරය කෙරෙහි තියෙන විශ්වාසනීත්වය බිඳ වට්ටන්නට ව්‍යාජ දත්ත ඇතුළත් කළා දැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක්ට මතු වෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර පැමිණ මාධ්‍ය වෙත පැවසීය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව දැනට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
හර්ෂණ නානායක්කාර ඇමැතිවරයාට මෙම සිදුවීමට මුහුණ දීමට සිදුවුයේ හිටපු කතානායකවරයා ගේ ආචාර්ය උපාධිය පිළිබඳව සමාජයේ කතා බහක් ඇතිවු කාලවකවානුවේ දී වීම විශේෂත්වයකි.
හඳුන්නෙත්ති ඇමැතිවරයාගේ නමින් සිදුවන මුදල් වංචාවක්
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දෙසැම්බර් 24 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කළේ තමන් ලෙස හඳුන්වා ගත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවට පවසමින් ය.
“මෙවැනි මුදල් අපරාධ සිද්ධ කරනවා අපි අහලා තියෙනවා. අද අපේ නමත් පාවිච්චි කරලා කරන තැනට පත්වෙලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේවට ක්‍රියාමාර්ග ගන්න ඕනෑ,” යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව ඇමැතිවරයා මාධ්‍ය වෙත කියා සිටියේ ය.
තමන්ගේ අනන්‍යතාවය භාවිතා කර මෙවැනි වංචා කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේ ය.
ඇමැතිගේ නම විකුණා පාස්පෝර්ට් 17ක් හදාගෙන
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිය අමාත්‍යංශයේ වැඩ භාර ගත් දිනයේ ඔහුව රැවටීමට ලක් කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබේ.
“මම වැඩභාර ගන්න දවසේ ටයි බයි දාගත්ත කෙනෙක් මාව මෙහෙවූවා. ‘එන්න ඇමැතිතුමා මෙහෙන් එන්න, පාස්පෝට් එක බලමු, අතන මුද්‍රණය කරන තැන බලමු, කවදාවත් ඇමතිවරු ගිහිල්ලත් නෑ යමුකෝ බලන්න,’ කියලා මාව එක්කගෙන ගියා. එක්කන් ගියාට පස්සේ මට තේ පැන් සංග්‍රහයකුත් ලෑස්ති කරලා එතන තිබුණා. මම හිතුවේ අමාත්‍යංශයේ නිලධාරියෙක් කියලා. එයා කියලා තියෙනවා අමාත්‍යංශයේ නිලධාරීන්ට ජනාධිපති ලේකම් එකෙන් ආව එක්කෙනෙක් කියලා.”
“ඊට පස්සේ තමයි දන්නේ මම අමාත්‍යංශයට එන්න කලින් මම කිව්වා කියලා පාස්පෝර්ට් 17ක් හදාගෙන පැනලා කියලා,” ඇමැතිවරයා පෞද්ගලික නාළිකාවක් සමග පැවති සාකච්ඡාවක දී පැවසුවේ ය.
එම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස සුනිල් වටගල ඇමැතිවරයා පොලිස්පතිවරයා වෙත දන්වා තිබේ.
ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මන්ත්‍රීවරියගෙන් CIDයට පැමිණිලි
තමන් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධ කර ගනිමින් අසත්‍ය හා ද්වේශසහගත ෆේස්බුක් පෝස්ට් සහ පුවත් ප්‍රචාරය වීමෙන් තම කීර්ති නාමයට මෙන්ම තමා කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදූ වී ඇතැයි සඳහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිළි කළ බව, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
“මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවිත කාලයම උත්සාහ කරන්න!,” යැයි මන්ත්‍රීවරිය සටහනින් අවධාරණය කර තිබේ.
තමන්ට එරෙහි අසත්‍ය හා ද්වේශසහගත ප්‍රචාර සිදුකරන කණ්ඩායම් හඳුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මන්ත්‍රීවරිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා තිබේ.
මන්ත්‍රී විජේසිරි බස්නායකගෙන් පොලිසියට පැමිණිල්ලක්
ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක පොලිසියට පැමිණිල්ලක් කරන ලද්දේ බිංගිරිය – විලත්තව පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාකච්ඡාවකින් අනතුරුව ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් ය.
අදාළ සාකච්ඡා අවසන් වී මන්ත්‍රීවරයා පිටව යන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය වට කර ගත් පිරිසක් විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන විඩීයෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
දෙසැම්බර් 30 වැනිදා ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් කරනු ලැබීය.
එදිනම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ්‍ය පොලිස් අධිකාරි බුද්ධික මනතුංග බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රිනියගෙන් CIDයට පැමිණිල්ලක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් ඇයගේ නීතිඥ නාමල් රාජපක්ෂ විසින් දෙසැම්බර් 31 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයට පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
ඒ මන්ත්‍රීවරියට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය තුළ අසභ්‍ය පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධව ය.
“බංකොලොත් වෙච්ච පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් මන්ත්‍රීතුමිය සමග නවාතැන්පොලවල්වලට ගිය බව සඳහන් කරමින් ඉතාමත්ම අසත්‍ය ඒ වගේ දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච අය දේශපාලන ප්‍රතිරූපය බිඳ හෙලීම සඳහා කරන ලද ප්‍රකාශයක් ෆේස්බුක්වල සංසරණය වුණා.” නීතිඥවරයා පැමිණිළි කිරිමෙන් පසුව මාධ්‍ය වෙත කියා සිටියේය.
උපුටා ගැනීම – බීබීසී වෙබ් අඩවිය
මෙම මන්ත්‍රිවරුන්ට එල්ල වි ඇති චෝදනා විමසා බැලීමේදී පෙනී යන්නේ ආණ්ඩුවට එරෙහිව නැගිය යුතු ඇත් ත ප්‍රශ්න වෙනුවට සදාචාරවාදී සහ වංචා දූෂන චෝදනාවලට පමණක් ඒවා සීමා වි ඇති බවයි. මෙහිදී මන්ත්‍රී වරියන්ට සදාචාර චෝදනා එල්ල වන අතර මන්ත්‍රිවරුන්ට වංචා වාන් සම්බන්ධ චෝදනා එල්ල කරනු ලබයි. ආණ්ඩුවට අභියෝග එල්ල කළ යුතු දේවල් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රනිල්ගෙ ප්රතිපත්තියම ක්‍රියාත්මක කිරීම, හාල් ප්රශ්නය විසඳීමට ගත් ක්‍රියාමාර්ග, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගැනීමේ, පොරොන්දු වූ බදු අඩු නොකිරීම වැනි දේවල්ය. ජනතාවට බලපාන්නේ මෙවැනි දේවල්ය.
නමුත් විපක්ෂයට වැදගත් වි ඇත්තේ මන්ත්‍රීවරියන් ගේ සදාචාරය ප්‍රශ්න කිරීම සහ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කිරීම වැනි දේවල් වේ.
මෙයින් පෙනී යන්නේ ආණ්ඩුව ගනිමින් සිටින ඇතැම් ක්‍රියා මාර්ග ජනතාවගේ පැත්තේ සිට ප්‍රශ්න කිරීමට විපක්ෂයට වුවමනාවක් නොමැති බවයි.