Breaking News

ලසන්ත ඝාතනයේ තොරතුරු ඇතුලත් ලිපියක් ගැන ප්‍රශ්න කරන්න ‘ඊතලය’ කතෘ CID කැඳවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ තොරතුරු අනාවරමින් ලිපියක් සැකසූ ‘ඊතලය’ සඟරාවේ කර්තෘ ශ්‍රී ලාල් ප්‍රියන්ත විමර්ශන කටයුතු සඳහා යැයි කියමින් අද (14) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම පිළිබඳව 2017 ජුනි මාසයේ ඊතලය සඟරාවේ ලිපියක් පළ වූ අතර ඩයලොග් ආයතනයෙන් ව්‍යාජ නම් භාවිත කරමින් ලබා ගත් දුරකථන සිම් කාඩ්පත් මෙම ඝාතනයේදී භාවිත වී ඇති බව ඒමගින් අනාවරණය කෙරිණි. මෙම ඝාතනයට ඇති ආරක්ෂක අංශවල ඉහළම ප්‍රධානීන්ගේ සම්බන්ධතා ගැනද ඒම ලිපියේ කරුණු වාර්තා කෙරිණි. මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත පොලිස් මූලස්ථානයට කැඳවා තිබෙන්නේ මෙම රහසිගත දුරකථන වාර්තා ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා බව ඔහු ‘ලංකාවිව්ස්’ වෙත පැවසීය.

රටේ සිදු වන විවිධ වංචා, දූෂණ, අපරාධ, නීතිය අවභාවිත කිරීම් පිළිබඳව අනාවරණය කිරීමේදී ඇතැම් රහසිගත ලිපි ලේඛන හරහා කරුණු තහවුරු කිරීමට මාධ්‍යවේදීන්ට සිදුවේ. ඒය මාධ්‍යවේදීන්ගේ වගකීමක් වන අතර ඒම තොරතුරු ලබා ගත් මූලාශ්‍ර කිසිලෙසකින් අනාවරණය කළ යුතු නොවේ. තොරතුරු මූලාශ්‍ර අනාවරණය කරන ලෙස බල කිරීම මාධ්‍යවේදීන්‌ගේ වෘත්තීය නිදහසට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයටද බරපතළ අනතුරකි.

පොලිසිය කළ යුත්තේ ඝාතනයට අදාළ තොරතුරු අනාවරණය වූ ආකාරය පිළිබඳ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම නොව, මාධ්‍යවේදීන් විසින් හෝ සොයා ගෙන අනාවරණය කර තිබෙන තොරතුරු පිළිබඳ විමර්ශනය කර ඝාතකයන් සොයා ඔවුන්ට දඬුවම් කිරීමයි. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් සොයනවා වෙනුවට ඝාතනයට අදාළ තොරතුරු අනාවරණය වූ ආකාරය පිළිබඳ සෙවීමට පොලිසිය ක්‍රියා කරමින් සිටී. එහි තේරුම ඝාතනය සම්බන්ධ සත්‍ය හෙළිවෙතැයි පොලීසියට බියකින් පසුවීම විය යුතුය.

leave a reply