Breaking News

ඊශ්‍රායලයේ සේවයට යැවූ ලාංකිකයෙකුගේ හිසට මිසයිල කැබැල්ලක් වැදී අනතුරක්

අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් ඊශ්‍රායලයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබෙනවා.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, එලෙස තුවාල ලබා ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු බවයි.

එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඔහු රෝහල් ගතකර ඇති බව සඳහන්.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

අදාළ ප්‍රහාරයන් සිදුවන අවස්ථාවේ සයිරන් නලා නාද වුවද ඔවුන්ගේ ආරක්ෂිත කාමරය වෙත දිව යන අතරතුර එම අනතුර සිදුව තිබෙනවා.

නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ, ඊශ්‍රායල් ලෙබනන් දේශ සිමාවේ ෂෙල් හා කුඩා ප්‍රමාණයේ මිසයිල ප්‍රහාර වැඩිවී ඇති බැවින් එහි සේවය කරන අතරතුර යම් ප්‍රහාරයක තොරතුරු මත සයිරන් හඬ නාද වේනම් කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස දැනුම් දී ඇති බවයි.

අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගිය කාලයේදී ලාංකිකයන්ව ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කර යැවීමට කටයුතු කළ අතර, එහිදී කෘෂි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල රැකියා සඳහා වැඩි පිරිසක් පිටත් කිරීමට කටයුතු කර තිබුණි. එලෙස පිටත් කළ අයට පොරොන්දු වූ වැටුප් නොගෙවීම සහ ගිවිසුම් ලබා නොදීම ආදිය නිසා ඇතැම් පිරිස් එයට එරෙහිව අදහස් දක්වා තිබුණු අතර, කම්කරු අමාත්‍ය අමාත්‍ය නානායක්කාර තමන් විසින්ම ඊශ්‍රායලයට යැවීමෙන් පසු එලෙස අයිතීන් ඉල්ලූ ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව අදහස් දක්වා තිබුණි. ඒ අයව නැවත ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බවත්, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්නේ නැති අයව පමණක් ලංකාවෙන් ඊශ්‍රායලයට යැවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් කියා තිබුණි.

leave a reply