Breaking News

UPI: නව ගෙවීම් පද්ධතිය හරහා සිදුවන්නේ කුමක්ද?

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මොරිෂස් දුපත් අතර ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI හෙවත් (ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත) ඔස්සේ ගෙවීම් කිරීමේ ක්‍රමවේදය අද (12 වැනිදා) හඳුන්වා දෙනු ලැබුණි.

ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමයවේදය හඳුන්වා දීමේ වැඩසටහනට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ සිය ඉන්දීය නිල සංචාරයේදී එළිදක්වන ලද “දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ගෙවීම් ක්‍රමය හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමඟ සම්බන්ධව වන බවයි.

මෙම ක්‍රමය හරහා ව්‍යාපාරිකයින් ලක්ෂ 04 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පසුගියදා පැවති සාකච්ඡා තුළින් යහපත් ප්‍රගතියක් පිළිබිඹු වන බව පැවසූ ජනාධිපතිවරයා, මොරිෂස් රාජ්‍ය සමඟ ද ඇති වූ සහයෝගීතාව මගින් නව සම්බන්ධතා ගොඩනැගීමට දරණ ප්‍රයත්නය තවදුරටත් පුළුල් වන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට සිය ගනුදෙනු වලදී QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීමට මෙමගින් පහසුකම් සැලසෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මොරිෂස්හි අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මාර්ගගත ක්‍රමය ඔස්සේ, මෙම ගෙවීම් කිරීමේ ක්‍රමයවේදය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ගෙවීම් කිරීම සඳහා මෙම ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය.

මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වනු ලබන්නේ UPI හෙවත් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත ක්‍රමවේදය ලෙසයි.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

UPI හරහා ලංකාව ඉන්දියාවේ ආධිපත්‍යට නතු වෙනවාද ?
බීබීසී සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසා ඇත්තේ නවීන තාක්ෂණයත් සමගම ගෝලීය වශයෙන් ලෝකයේ රටවල් මේ වන විට ගනුදෙනු කිරීම මාර්ගගත ක්‍රමය හරහා සිදුකරන බැවින් නව UPI ගෙවීම් ක්‍රමය හරහා ශ්‍රී ලංකාවට අගතියක් අත්නොවන බවයි.

“මේ UPI ගෙවීම් ක්‍රමවේදය 2016 වසරේදී හඳුන්වා දීලා තියෙන්නේ. මේ වෙද්දී රටවල් රැසක් නව ගෙවීම් ක්‍රමවේදය එක්ක එකතු වෙලා ඉන්නවා.”

“ඉන්දිය රජය බලාපොරොත්තු වෙනවා ඇති ඔවුන්ගේ මුදල් ඒකකයට ගෝලීය වශයෙන් යම් පිළිගැනීමක් මේ හරහා ඇති කරවන්න. ”

උදාහරණයක් විදිහට ගත්තම ඇමෙරිකාවේ ඩොලරයට ලෝක වෙළෙඳපලේ තියෙනවා වගේ පිළිගැනීමක් ඇති කරවගන්න.

“මේ ක්‍රමය මගින් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ට හොඳ අවස්ථාවක් උදාවෙනවා.”

ඒ වගේම නව ක්‍රමවේදයත් එක්ක රජයට පුළුවන් වෙනවා ගනුදෙනු සිදුවෙන ආකාරය ගැන නිරීක්ෂණය කරන්න බැංකු පද්ධතිය හරහා. එතකොට ආණ්ඩුවට හැකියාව ලැබෙනවා තමන්ගේ බදු කටයුතු සඳහා අදාළ ව්‍යාපාරිකයින් ගේ තොරතුරු නිරීක්ෂණය කරන්න.” මහාචාර්යවරයා පවසා ඇත.

leave a reply