Breaking News

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගෙන් වැඩිපුර බදු අයකරන එකටද?

ආණ්ඩුව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ සාමන්‍ය ජනතාවගෙන් වැඩි වශයෙන් බදු අය කිරීමටදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කර සිටියි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මේ වසරේ පවුලකට ගෙවීමට සිදුවන බදු ප්‍රමාණය රු 39,817ක් බවයි. මෙවර භාණ්ඩ හා සේවා මත බද්ද 25.94%කින් වැඩි වී ඇති බවද පුබුදු ජයගොඩ පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

”දැනට මහා පරිමාණ සමාගම්වලින් රජය අය කරන්නේ 30%ක බද්දක්. ඒ බද්ද කිසිදු විදිහකින් වැඩි කරන්න මෙවර කටයුතු කරලා නෑ. ඒ වුනාට තනි පුද්ගල ව්‍යාපාරවලින් අය කරන 10% බද්ද මෙවර 15% දක්වා වැඩි කරලා. ඒවගේම කුඩා හවුල් ව්‍යාපාරවලින් අය කළ 10% බද්දත් මේපාර ඉඳල 15% දක්වා වැඩි වෙනවා. ඊලඟට භාරකාර අරමුදල් සහ තනි පුද්ගල අරමුදල් සඳහා දැනට අය කලේ 10%ක බද්දක්. නමුත් ඒ බද්ද 30% දක්වා තුන් ගුණයකින් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරලා. ලාභ නොලබන සුබසාධන ආයතනවල වත්කම් මත පනවා තිබුණේ 10%ක බද්දක්. ඒ බද්දත් මේ පාර 30%ක් දක්වා වැඩි කරලා. එතකොට සරළවම මෙවර අයවැයේ සම්පූර්ණ බර පටවල තියෙන්නේ කුඩා ව්‍යාපාරයක් කරගෙන ඉන්න සාමාන්‍ය ජනතාව මත. මහාපරිමාණ සමාගම් මුළුමනින්ම ඒ බරෙන් නිදහස් කරන්න තමයි ආණ්ඩුව කටයුතු කරල තියෙන්නේ.

2024 අවුරුද්දේ ආදායම් බද්ද සහ 2025 අවුරුද්දේ අපේක්ෂිත ආදායම් බද්ද අතර වෙනස තියෙන්නේ රුපියල් බිලියන 141ක් වගේ සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ පහුගිය කාලේ නොගෙවා පැහැර හැරපු බදු නැවත අය කරගන්න ආණ්ඩුව මෙවරත් කටයුතු කරන්න සූදානම් නෑ කියන එක. 2024 මාර්තු මාසේ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව අනුව මහාපරිමාණ සමාගම් නොගෙවා පැහැර හැහැරපු බදු ප්‍රමාණය රුපියල් බිලියන 1068ක්. අඩුම තරමේ මේ ප්‍රමාණයෙන් භාගයක්වත් නැවත අය කරගන්න අවශ්‍ය කිසිදු වගන්තියක් මෙවර අයවැයට ඇතුළත් වෙන්නෙ නෑ. 2023 අවුරුද්දේ දැවැන්ත සමාගම්වලට රුපියල් බිලියන 978ක බදු සහන දීලා තිබුණා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට මේ ආණ්ඩුවට යෝජනාවකුත් ඉදිරිපත් කළා ඒ බදු සහනය අඩු කරලා සාමාන්‍ය ජනතාවට යම් සහනයක් දෙන්න කියලා. නමුත් ඒ ගැන කිසිම අවධානයක් දීලා නෑ.

දන් මෙවර අයවැය හදල තියෙන්නෙත් දැවැන්ත සමාගම්වලට බදු පොලු තියන්න පහසු වෙන විදිහටද කියන සැකය අපිට මතු වෙනවා. ඒකට හේතුව තමයි මෙවර අයවැය හිඟය රුපියල් බිලියන 2200යි. ණමුත් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4400 දක්වා ඉහළ දාලා. අයවැය හිඟය රුපියල් බිලියන 2200ක් නම් ඇයි රුපියල් බිලියන 4400ක් ණය ගන්නේ ?. මේක පොඩි පරතරක් නෙවෙයි දෙගුණයක පරතරයක්. මේකෙන් පේනවා ආණ්ඩුව දැනටමත් බලාපොරොත්තු වෙනවා මහාපරිමාණ සමාගම් මෙවරත් බදු පැහැරහරියි කියලා. ඒ සඳහා පූර්ව සූදානමක් විදිහට තමයි ණය සීමාව ඉහළ දාලා තියෙන්නේ. මුදල් අමාත්‍යංශයේ අලුත්ම වාර්තාව කියන විදිහට 2023 මාර්තු ඉඳලා 2024 දෙසැම්බර් දක්වා රුපියල් බිලියන 966.6ක බදු පැහැරහැරලා තියනවා. ඒ කියන්නේ රුපියල් කෝටියේ ඒවා ලක්ෂයකට ආසන්න මුදලක්. ඒ වාර්තාව කියන විදිහට රේගු බදු පැහැර හැරීම් ප්‍රමාණය රුපියල් බිලියන 375.1ක්. ඊලඟට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලේ ලියාපදිංචි සමාගම් රුපියල් බිලියන 92.7ක් බදු පැහැර හැරල. එකතුකල අගය මත අය කරන බද්දෙන් රුපියල් බිලියන 333.1ක් වංචා කරලා.

දැන් මේ බදු සියල්ල මේ විදිහට වංචා කරලා තියෙන්නේ මහාපරිමාණ සමාගම්. මොකද සාමාන්‍ය ජනතාවට මෙහෙම බදු පැහැර හරින්න බෑ. සාමාන්‍ය ජනතාව කඩේ ගිහිල්ලා ගන්න හාල් ටික පරිප්පු ටිකේ ඉඳලා අනිවාරෙන් බදු ගෙවන්න ඕන. මේ ආසන්න කාලේ රුපියල් ට්‍රිලියනයකට ආසන්න බදු ප්‍රමාණයක් මේ සමාගම් පැහැර හැරලා. අපි දැක්කා ලාල්කාන්ත අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දි කියනවා මේ තියෙන්නේ නවලිබරල්වාදයවත් සමාජවාදයවත් නෙවෙයි මේ තියෙන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ජනාධිපති කියනවා මේක ජනසහභාගී ආර්ථිකයක් ලු. එතකොට මේ ආණ්ඩුව මේ ජන සහභාගි එහෙම නැත්තං ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා හඳුන්වන්නේ බදු ගෙවීමේදී සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් සම්බන්ධ කරගන්නවා කියන එකද ? මොකද සමාගම්වලට දැවැන්ත බදු වංචා කරන්න ඉඩ තියල තියෙද්දී සාමාන්‍ය ජනතාවගේ රීරිමාංශයම බදු විදිහට හූර ගන්න තමයි අයවැය හදලා තියෙන්නේ. මේ ආණ්ඩුව කියන විදිහට බැලුවම එනම් රනිල්ල රාජපක්ෂල වගේ අයත් නවලිබරල් නෙවෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාද වගේ වචනවල තේරුම් අවභාවිතා කරන්න එපා. මොකද ඒ වචන හැදිලා තියෙන්නේ ඓතිහාසික තේරුම් එක්ක. ජාතික ජන බලවේග ආණ්ඩුව මේ කරන්නේ ඒ තේරුම්වලට සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවලියක්.

මෙවර භාණ්ඩ හා සේවා මත බද්ද 25.94%කින් වැඩි වෙලා. 2024 අවුරුද්දේ භාණ්ඩ හා සේවා මත අයකළ බදු ප්‍රමාණය රුපියල් බිලියන 2201යි. මේ අවුරුද්දේ ඒක රුපියල් බිලියන 2772ක් දක්වා ඉහළ දාන්න බලාපොරොත්තු වෙනවා. මේ මුදල ලංකාවේ ඉන්න පවුල් ලක්ෂ 58න් බෙදුවම ගිය අවුරුද්දේ එක පවුලක් රජයට රුපියල් 31,623ක් බදු ගෙවලා. මේ අවුරුද්දේ එක පවුලක් එක මාසෙකට ගෙවන්න නියමිත බදු ප්‍රමාණය රුපියල් 39,817ක් වෙනවා. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට සාමාන්‍යයෙන් එක පවුලක් වියදම් කරන්නේ මාසිකව රුපියල් 78,000යි. මේ විදිහට බැලුවම ඒකෙන් රුපියල් 40,000ක්ම රජයට බදු විදිහට ගෙවන්න වෙනවා. එතකොට මිනිස්සුන්ට කන්න බොන්න දෛනික අවශ්‍යතා සඳහා ඉතුරු වෙන්නේ කීයද ? අද බෙහෙත් පෙත්තක් ගන්න ගියත් ඉස්කෝලේ යන ළමයට පොතක් පෑනක් අරන් දෙන්න ගියත් විශාල බද්දක් ගෙවන්න ඕන. මොකද අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපකරණ මත පණවපු වැට් බද්දවත් ආණ්ඩුව ඉවත් කරලා නෑ. මේක ජනතාවට දරන්න පුලුවන් කමක් නෑ.

ඒ නිසා ආණ්ඩුව වහාම මේ බදු සංශෝධනය කරන්න කටයුතු කරන්න ඕන. අපි කියන්නේ සමාගම්වලින් බදු අය කරන්න. සාමාන්‍ය ජනතාවට යම් බදු සහනයක් දෙන්න. එහෙම නොවුනොත් අපි ජනතාව එක්ක එකතුවෙලා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කරන්න අවශ්‍ය මැදිහත්වීම කරනවා කියලා මේ වෙලාවෙ ආණ්ඩුවට මතක් කරනවා. “

leave a reply