ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව පසුගියදා නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත වූ බැක්ටීරියා වතුර අන්තර්ගතව තිබූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.
එමෙන්ම,පිළිකා නාශක ඖෂධයක් ලෙස පළවන සැකකරු විසින් ලබා දුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී පිළිකාවකට සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීනයක් එහි අන්තරගත නොමැති බවත් ලුණු පමණක් එහි අන්තරගත වන බවත් පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත.
පරීක්ෂා කිරීමට ලබා දුන් ද්‍රාවණවල අන්තර්ගතය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වුණ ද්‍රාවණයක් සැපයීමට ජන රජය විසින් ලක්ෂ 1444ක් වැය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.
‘හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ යටතේ ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමට අවශ්‍ය බවට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බවත් පවසා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අනුව, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සතු බව පවසා ඇතැයි ද අධිකරණයේදී හෙළිවිය.
මෙහිදී මෙම සිදුවීම සම්බන්ධව ඍජුවම වගකිවයුතු කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුවෙමින් පවතියි. එහෙත් මෙම ඖෂධ ගෙන්වීම කැබිනට් මණ්ඩලයද අනුමත කර තිබේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස එම අවධියේ කටයුතු කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහයි. නමුත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නැත. ඔහු CID එක වෙත පැමිණ උඩඟු ප්‍රකාශ කරමින් සිටියි. ප්‍රශ්නය ඇත්තේ ඔහුට එළෙස ඇඟ බේරාගැනීමට ඉඩදිය යුතුද යන්නයි.