“එක පෑන් පාරකින් හාල් ප්රශ්නය විසඳන්න ජනාධිපතිවරයට පුළුවන්!” – සුනිල් හඳුන්නෙත්ති (2019-12-23, මාතර පැවති මාධ්‍ය හමුවකදී)
පූර්විකාවක්
මතකයේ තිබෙන කාලයක නොමැති තරම් දැවැන්ත මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක් තුළ ඔවුන් තරග කළත් ජනාධිපතිවරණයෙදි ඡන්දය දෙන ජනතාව අතුරින් ඔවුන් වෙත සිය ඡන්දය දී තිබුණේ 42%ක් පමණයි. නමුත් 2015 මහමැතිවරණයෙදි පැවති 3% ප්‍රතිශතය හා සසඳද්දි ඒක විශාල වර්ධනයක්. ඉතින් අවසානයේ ජාතික ජන බලවේගයට ජනතාව විශාල ආකර්ෂණයකින් ඡන්දය ප්‍රකාශ කළා. නමුත් ඒ වෙනුවෙන් අති විශාල ප්රචාරක ව්‍යාපාරයක් මෙහෙයවන්න ඔවුන්ට සිදු වුණා.
ඒ වෙනුවෙන් අරමුදල් සැපයුවේ මැතිවරණ වියදම් පිළිබඳ ඔවුන්ගෙ වාර්තාවල සඳහන්වන අයම වෙන්න පුළුවන්. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් සද්භාවයෙන් ආධාර දුන්, මේ සමාජයේ පැරණි පාලන රටාව වෙනස් කරන්න දරදිය ඇද්ද කිසිවකු ඒ ගැන සැක කරන එකකුත් නෑ. ඒත් ජාතික ජන බලවේගයට සමහරු චෝදනා කරන විදියට විශාල පරිමාණයෙන් අරමුදල් සැපයූ අය එම වාර්තාවල සඳහන් නොවෙන්නත් පුළුවන්. ඒ ආකාරයට නිශ්චිත චෝදනාවක් නගන්න තරම් කිසිදු තොරතුරක් අනාවරණය වෙලා නෑ. ඉතිහාසයේ විවිධ මැතිවරණවලදි විශාල වශයෙන් බලපෑම් කළ අරමුදල් සැපයූ පාර්ශ්ව ගැන හෙළිදරව් වුණා. නමුත් වටවංගුවල නොයා නැතිව එක දෙයක් පැහැදිලි කරගත යුතුයි. ඇත්තටම මැතිවරණ ව්‍යාපාරය තුළ වැය කළ අති විශාල ධනය කාගෙද කියන එක අනාවරණය වන බවයි. හැබැයි ඒක වෙන්නෙ ඉදිරි කාලෙදි ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිත්වය තුළ. දැනට හාල් මාෆියාවෙ ප්රශ්නය ආණ්ඩුව ඉදිරිපිට තිබෙනවා.
හාල් ආනයනය කිරීම
සැප්තැම්බර් මාසෙ ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම්වලදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක කිව්වෙ, තම රජයක් යටතේ කිසිදු ආකාරයකින් සහල් ආනයනය නොකරන බව ය. ජනාධිපතිධුරයට පත් වූ පසු, ඔක්තෝබර් 22 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ජනාධිපතිවරයා සහල් ව්‍යාපාරිකයන් හමුවූ දිනට පසුදා(23) ත්‍රිකුණාමලයේ ප්රචාරක රැස්වීමකදි කිව්වෙ මෙවැන්නක්.
“මම ඊයේ හාල් මෝල් හිමියන් හමුවුණා. රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘත්‍රිම හාල් හිඟයක්. අපි ඒ අයට දැනුම් දුන්නා, මෝල් හිමියන් අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනවා ද? අපේ පළමු කැමැත්ත අවබෝධයෙන් වැඩ කිරීම. හැබැයි කවුරු හරි කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්ති යි කියලා කිව්වා. රටේ හාල් හිඟයක් නැහැ කඩේ හාල් හිඟයක් තිබුණට. රටේ හාල් හිඟයක් නැහැ හරි පැහැදිලි යි. ඒ නිසා පිටරටින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් ඇර වෙන එක හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ.” නමුත් දැන් ඒ කතා අතීතයට ගිහින්.
වෙළඳපොළේ සහල් හිගය නිසා ඇතිවන පීඩනය තුළ සහල් ආනයනය කරමින් තාවකාලික පිළිතුරක් දෙන්න අනුර දිසානායකගෙ ආණ්ඩුව උත්සාහ දරනවා. ඔවුන් කියන ආකාරයට, දීර්ඝකාලීන විසඳුම වෙන්නෙ ආණ්ඩුව සහල් වෙළඳාමෙ පංගුවක් හිමිකරගැනීමයි. එහිදී වී අස්වනු මිල දී ගැනීම, වී ගබඩා කිරීම, සහල් නිෂ්පාදනය හා බෙදාහැරීම යන සංකීර්ණ ක්‍රියාදාමයට ආණ්ඩුව අතගැසිය යුතුයි. ඒක කෙටිකාලයකින් කරන්න බෑ. ආණ්ඩුව සතු වී ගබඩා 200ක් පමණ විනාශ වී ඇති නිසා ඒවා ප්‍රතිසංස්කරණය කරන්න විශාල ධනයක්, කාලය හා ශ්‍රමය වැයවන බවත් අමතක කළ යුතු නෑ. ආණ්ඩුවට සමස්ත වී නිෂ්පදනයෙන් 5%ක්වත් මිලදී ගන්න හැකියාවක් නෑ. නමුත් හාල් ඒකාධිකාරය විසින් ගෙනයන තොග සැඟවීම වළක්වන්න නීතිය ක්‍රියාත්මක කරන්න එක පෑන් පහරකින් පවා පුළුවන් කියලයි සුනිල් හඳුන්නෙත්ති 2019දි කිව්වෙ.
ඩඩ්ලි හෝ වෙනත් ව්‍යාපාරිකයකු ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට ආධාර අනුබල දුන් බවට චෝදනා තිබුණත් ඒ ව්‍යාපාරය ආරක්ෂා කරන්න ආණ්ඩුව ඉදිරිපත් වෙයි කියලා ඡන්දය දුන් ජනතාව හිතන්නෙ නෑ. ඇත්තටම මේ මහමැතිවරණයෙන් 7/10ක පෙර නොවූ විරූ බලයක් හිමි කරදීමෙන් ජනතාව ඒ බව නිශ්චිතව ප්‍රකාශ කර තිබෙනවා. ඡන්දය දුන් ජනතාවගේ අභිප්‍රාය ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි බව ගුණාත්මකව මැනගන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු ආමන්ත්රණයෙදි ඒ බව පිළිගත්තා. කොහොම වුණත් දැන් පවතින නීතිවලට අනුවත් ස්වභාවික යුක්තිය අනුවත් සහල් ව්‍යාපාරික ඒකාධිකාරය බිඳ දැමිය යුතුයි. ආණ්ඩුවට ඒ පිළිබඳ අවබෝධයක් ඇතිවාට සැක නෑ. මැතිවරණ කාලයට පෙර ආණ්ඩුවේ විවිධ නායකයන් විශාල වශයෙන් මේ හාල් මාෆියාව ගැන කතා කළ බව අමතක කළ යුතු නෑ. වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති, සුනිල් හඳුන්නෙත්ති 2019 දෙසැම්බර් 23 මාතරදි කළ ප්‍රකාශයක් ආරම්භයෙදි සිහිපත් කළේත් ඒ නිසා.
ජනතා බලයක අවශ්‍යතාව
ජන අරගල සන්ධානය සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය තුළ ජනතාව හමුවට ගෙන ගිය ‘ජනතාවගේ ප්‍රතිපත්තිය’ වැඩපිළිවෙළ තුළ කිව්වෙ සමස්ත ආර්ථිකය, (මේ කාරණයෙදි නිශ්චිතව සහල් නිෂ්පාදනය) පිළිබඳ තීරණ ගැනීමේ බලය තවමත් සිය පාලනයට නතු කරගෙන ඉන්න දේශපාලන බලය උසුලන පන්තියෙන් ජනතාව අතට පත් නොකර කිසිදු විසඳුමක් ඇත්ත විසඳුමක් නොවන බවයි. පසුගිය කාලය පුරා පාර්ලිමේන්තුව තුළ ජනතාවට පක්ෂපාති තීරරණ වෙනුවට ජනතා ද්‍රෝහී පැවැත්මක් තිබුණු පාර්ලිමේන්තුවෙන් පිටත බලය ශක්තිමත් කිරීමේ අරමුණත් එම වැඩපිළවෙළ තුළ අවධාරණය කෙරුණා.
නමුත් දැන් ජනතාවගේ අරමුණු නියෝජනය කරන බවට සහතික වූ විධායක ජනාධිපතිවරයෙක් පත් වෙලා, ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තු නියෝජනය තුළ 7/10ක ආණ්ඩු බලයක් හිමිකරගෙන තිබෙනවා. ඔවුන් අභිමුඛයේ දැන් සහල් මාෆියාව තිබෙනවා. වී මිලයට ගැනීමේ සිට සහල් සිල්ලර වෙළඳාම දක්වා හාල් ව්‍යාපාරික මාෆියාව විහිදී ඇති බවත් දේශපාලන නායකත්වය, ව්‍යාපාරික ජාලය, රජයේ නිලධාරි තන්ත්රය එහි සිටිනවා. ඒ නිසා දැවැන්ත හාල් නිෂ්පාදකයන් හමුවේ ඇඹරී කොඳු නමාගෙන මේක කරන්න බෑ. ජනතාවට බොරු කියලා ප්‍රශ්න විසඳන්නත් බෑ. දැවැන්ත ආණ්ඩු බලයක් හිමි වීමෙන් පසුව හෝ ඒ හාල් මාෆියාව අඩපණ කිරීමේ හා දිගුකාලීනව, ගොවි ජනයා මෙන්ම පාරිභෝගික ජනතාව පෙළන වී අස්වනුවල සහ හාල් මිල පිළිබඳ ප්රශ්නය විසඳන්න අවශ්‍යතාවක් ඇති බව ක්‍රියාවෙන් පෙන්විය යුතුයි.
චන්දන සිරිමල්වත්ත