Breaking News

තම්මැන්නාව වැව් රක්ෂිත මංකොල්ලය !

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලුනුගම්වෙහෙර කතරගම මාර්ගයේ සීනුක්කුව තම්මැන්නාව වැව රක්ෂිතය හෝටල් ඉදිකිරීම සඳහා මේ වන විට අත්පත් කරගෙන ඇත.වැව් බැම්මේ දෙපස පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් කණු යොදා සංරක්ෂණය කර ඇති රක්ෂිත වනාන්තර කොටස් හෝටල් ඉදිකිරීම සඳහාත් වැව ඉහත්තාවේ පිහිටි පෝෂක කලාපය හේන් වගාව සඳහාත් විවිධ පිරිස් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන ඇත.විශේෂයෙන් ම වැව් බැම්මේ දකුණු ඉවුරේ පිහිටි රක්ෂිතය තුල තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කිරි ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු විසින් මේ වන විටත් සංචාරක හෝටලයක් ඉදිකරමින් සිටී.කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ දේශපාලනික බලය මත මෙම අනවසර ඉදිකිරීම සිදු කරන බව තණමල්විල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නිලධාරීන් විසින් දැනුවත් කර ඇත.මේ වන විටත් නීතියට පටහැනිව ජලය සහ විදුලිය ලබාදීම සිදුකර ඇත.මෙම අනවසර ක්‍රියාව සදහා වගකිවයුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නිලධාරීන් බව ඉතාමත් පැහැදිලිය.

මේ පිළිබඳව විටින් විට ප්‍රදේශවාසීන් හා තම්මැන්නාව ගොවි සංවිධානය මගින් ප්‍රාදේශීය ලේකම්තුමන් සහ වන සංරක්ෂණ නිලධාරීන් දැනුවත් කළද මේ වන විටත් මෙම හෝටලය ඉදිකිරීම සිදුවෙමින් පවතී.කම්බිවැට සහ CCTV කැමරා සවිකොට එම භූමිය පෞද්ගලික අයිතියක් පෙන්වමින් ආරක්ෂා කර ඇත.තම්මැන්නාව ප්‍රදේශය යනු නිරන්තරයෙන්ම ජල හිඟයෙන් පීඩා විඳින දුෂ්කර ගම්මානයකි. එයට පිළියමක් ලෙස මෙම වැව ප්‍රදේශවාසීන් ගේ ශ්‍රමයෙන් මීට අවුරුදු 35 කට පමණ පෙර නිර්මාණය වූ වැවකි.අදටත් ජල හිඟයෙන් බැට කන අහිංසක ගැමියන් වෙනුවෙන් නීතිය එක් විදිහටත් ඉඩම් මංකොල්ලකන ව්‍යාපාරිකයන් වෙනුවෙන් නීතිය තවත් විදිහකටත් ක්‍රියාත්මක කරන ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිලිබඳ පිළිකුල් සහගත හැඟීමක් ඇතිවේ.දේශපාලනික බලය නීතිය ට යටත් බව වගකිවයුතු නිලධාරීන්ට පසක් කර දීමට කැමැත්තෙමු.මෙලෙස කැළෑ නීතිය ක්‍රියාත්මක වන්නේ නම් ඒ පිලිබදව වගකිවයුත්තේ තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන් ය.මේ සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන තුරු අප අවදියෙන් සිටිමු .

Centre For Environmental Justice

leave a reply