Breaking News

රැල්ලේ අපෝහකය පිළිබඳ ඥාණවිභාගයක්

උදය ආර්. තෙන්නකෝන්

රැල්ලේ අපෝහකය පිළිබඳ ඥාණවිභාගයක් (An Epistemology on Dialectics of Wave (wave, anti-wave, and synwave)

හැඳින්වීම
සැප්තැම්බර් 21 උදෑසන ලංකාවේ ජනතාව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට ඡන්ද පලට යන අවස්ථාවේ දී, පැය හතරක පමණ වෙනසක කාලයෙන් පසුපස සිට, (ස්කැන්ඩිනේවියන් රටක අති කයක් සහිතවත් ලාංකීය භූමිය වෙත යොමු කරන ලද මනසක් තබාගෙන) මේ සටහන ලියමි. ශබ්ධ හා රූප දෘෂ්ටීන් අතර මහා ගැටුමක තොරතුරු හුවමාරුවෙන් පසුව මිනිසුන් අවසාන තීරණය ගනිමින් සිටින අවස්ථාවය. වාසිය අවාසිය, සැකය දෙගිඩියාව විවේචනය ඇගයීම, කඩේ යෑම, මඩේ ලැගීම, නෑම, ඇදගෙන නෑම ආදී බොහෝ නාම පද හා විශේෂණ ඇතිව ජනාධිපති සටන අවසාන විය. දැන් ප්‍රථිඵල ලබා ගැනීමේ සංක්‍රාංතිය යි.

සමාජ නාඩි වැටීම පරීක්ෂාවේ දී, මේ මොහොත වන විටත් කිව හැකි වන්නේ අනාවැකියක් විය හැකි වුවත්, ස්ථිරවශයෙන්ම ජය හිමිවනු ඇත්තේ අනුර කුමාර දිසානායකට ය. අනාවැකියකට වඩා, එය නොනවත්වා ඇති කළ කම්පනය විසින් ඇති කළ රැල්ල ය. එම රැල්ල රැළි බවට පෙරලී; රැළි, ප්‍රති රැළි හා සහරැළි බවට පත් (waves, anti waves and synwaves )වූ අපෝහකයක් ලංකා සමාජය තුළ ඇති වීම සිදු විය. එය එක හේතුවක් හෝ ඒකීය දිශාවක් වෙත ගමන් කළ චින්තනමය ක්‍රියාවලියකට වඩා බහු විධ අපේක්ෂාවන් නියෝජනය කිරීමට පශ්චාත් යටත් විජිත ඉතිහාසය (post colonial history) විසින් සහ පාර පශ්චාත් යටත්විජිත (Trans post colonial) ඉතිහාසය පුරා ඇති කළ අසමත් බවේ ඵලයක් හේතුවෙන් බිහි වූ විකල්පය මාලිමාව බවට පත්වීමෙන් ය.

මාලිමාව මිනිසුන් වැඩි දෙනෙකුගේ විකල්පය බවට පත් වන්නේ එයට හිමි ස්වකීය විකල්පමය ශක්තියට වඩා සෙසු අයගේ ඇති දුබල බව යැයි කීම මෙම සටහනට ගෙන එන එක ප්‍රවාදයක් ලෙස සඳහන් කරනු කැමැත්තෙමි. එය එසේ ගන්නේ නම්, අනුර කුමාර බලයට පත්වීමෙන් අනතුරුව අනෙකා දුර්වල නිසා ශක්තිවන්තයා බවට පත්කිරීමේ සාමූහික අපේක්ෂාව වෙනත් හා පොදු ශක්තියක් බවට පත්කර ගැනීම, මාලිමාව ඉදිරියේ ඇති අභියෝගය වේ.

ලෝක ස්වභාවය කොතැනත් මෙසේ ය. අඳුර ඇති නිසා ආලෝකය ඇත්තා සේම, දුර්වලයා නිසා ශක්තිවන්තයා ඇති වන්නේ ය. මිනිස් අපේක්ෂාවන් ද, බලාපොරොත්තුන් ද එසේම ය. මිනිසාට බහුවිධ වූ අපේක්ෂාවන් ඇතිවීම මිනිස් ස්වභාවයකි. එහෙත් බහුවිධ වූ අපේක්ෂාවන් පුද්ගලිකව ඉටුකර ගැනීමේ දී ඇති දුර්වලකම නැතිනම් ශක්තියක් නැති කම නිසා දුර්වල කේවලයා විසින් දෙන ලද ශක්ති සමුච්ඡය ලොකු බලයක් බවට පත්කිරීමින් නියෝජනය කිරීමට අවස්ථාව ලබා දීම නායකත්වය වේ. ඒ අනුව ජනාධිපතිවරණය යන්න ද දුර්වලයන් විසින් සමුච්ඡගත කරන බලයේ ප්‍රකාශනය යැයි කිව හැකි ය.

මේ අනුව ජනතා පරමාධිපත්‍යය යනු ඊටම අයත් අර්ථය තුළ මිථ්‍යාත්මක සංකල්පයකි. නමුත් මෙම සංකල්පයට එහා ගිය සංකල්පයක් දුර්වල මිනිස් සමාජයට සාමූහිකත්වය යන අර්ථයෙන් හමු වී නැත. මේ නිසා පරමාධාපත්‍යය යන්න ශක්තිමක් සංකල්පයක් වී ඇත්තේ මිනිසා සහ සමාජය දුර්වල නිසා ය.

වෙනදා මෙන්ම අදත් ලංකාවේ දුර්වල මිනිසා විසින් තමන්ගේ අපේක්ෂාවන් ඉටුකරාවි යැයි යන බලාපොරොත්තුවෙන් යුතුව, දුර්වල සමාජය විසින් දෙන ලද බහුතර සාමූහික බල සමුච්ඡය විසින් හෙට දිනයේ දී අනුර ජනාධිපති බවට පත් වනු ඇත. එය සිදු වන්නේ පවතින සාධකවලට අනුව ශක්තිවාන්තයා තෝරා ගැනීමෙනි. ඒ තුළ ඇත්තේ දුර්වල ශක්තීන් සමුච්ඡයක් බවට පත් වී ශක්තිමක් බලයක් බවට පත් වීමේ චින්තනමය ක්‍රියාවලියකි. එබැවින් මෙම චින්තනමය අපෝහකය කිසියම් වූ තාර්කිකත්වයකට ගොනු කරන ඥාණවිභාගයක් සිදු කිරීම මෙහි අරමුණ යැයි ද, එක අතකට කිව හැකි ය.

එසේ නම් අනුර ජනාධිපති බවට පත්වීමේ හා පත් කිරීමේ ඥාණවිභාගය යනු කුමක් ද?

එය මේ මොහොතට අදාල දෙයක් ද, නැතිනම් අතීතයට අයත් දෙයක් ද, එසේත් නැති නම් අනාගතයට අයත් දෙයක් ද යන ගැටලුව මුලින්ම මට මා තුළ අභිමුක වන ගැටලුවකි. මේ මොහොත යනු මා මේ ලියන අවස්ථාවය. අතීතය යනු ලියා නිම කළ අවස්ථාවය. අනාගතය යනු ලියන්නට හිතන අවස්ථාවය.

එහෙම නම් මගෙන් ඈතක ඇති දෙයක් පිළිබඳ මගේ මනසේ ඇතිවන රසායනයක් හේතුකොට ගෙන එන සිතුවිලි නිසා සිදු කරන පරිකල්පනීය අදහස් ගෙන හැර පෑම ඥාණ විභාගයක් දැයි කියා ද මා මගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ය. එලියේ පවත්නා දේවල් හේතු කොට ගෙන සිතේ උපදිනා සිතිවිලි කිසියම් වූ රසායනික විපරිවර්තනයකට ලක්වීම යනු කුමක්දැයි හඳුනා ගැනීම ය.

එය මානසික ක්‍රියාදාමයක් වීම හා එම ප්‍රක්ෂේපනය සමාජ හඳුනා ගැනීමක් බවට පත්කිරීම යන්න මාදිලින් දෙකකි. මේ දෙක අතර ඇති කරන සම්බන්ධයේ ඇති සත්‍යමය, විශ්වසනීය සාධාරණීයකරණය ඥාණවිභාගයක් ලෙස තේරුම් ගනිමි. ඒ අනුව නිතරම ඥාණවිභාගය දෙයාකාරය. පළමුවැන්න ආත්ම මූලිකය. දෙවැන්න විෂය මූලිකය. මේ දෙක වෙනම කියා බෙදා ගනු ලැබුවත්, මානසික තත්ත්වය විෂය මූලික භාහිරත්වයෙන් වෙන් වන්නේ නැත. ඒක නිසා මේක. මේක නිසා ඒක. මේ දෙකම නිසා අරක හෝ වෙනත් දෙයක් ඇති විය හැකි ය.

අවසානයේ කෙසේ හෝ සිදු වන්නේ මානසිකමය තත්ත්වයකි. එනිසා එය ඥාණමය ක්‍රියාදාමයකි. සත්‍ය සොයා යෑම ඥාණයේ කටයුත්තකි. එය සත්‍යයක් විශ්වාසයක් හා භාවිතාවක් බවට පත් කිරීම මනසින් පරිභාහිර වන්නේ ය. මා තුළ ඇති අපේක්ෂාව අන් අයගේ අපේක්ෂාවන් සමග වෙන අයෙකු මාර්ගයෙන් සපුරා ගැනීම කොතරම් දුරට ඉටු වේද යන්න සොයා බැලීම වෙනම කළ යුතු ය. සංක්‍රාන්ති කාලය තුල දී ප්‍රත්‍යක්ෂ සාධක නො මැතිව කරන අනාවැකිය හෙට දිනයේ දී සත්‍යයක් බවට පත් වීමෙන් පසුව ඉතිරිය ලියන්නට කල්පනා කරමි.

21.09.24

leave a reply