Breaking News

මැතිවරණ 3කදී ජනතා තීන්දුව තවම තේරුම් ගෙන නැත!කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමේ විපක්ෂ කුමන්ත්‍රණය ඉදිරියට!

2025 පළාත්පාලන මැතිවරණයේදී සභා පිහිටුවීමට තරමට ජනතාවගෙන් බහුතර ඡන්ද ලබාගෙන නැති පක්ෂ ඒකාබද්ධ කරමින් සභා පිහිටුවීමට සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය සූදානම් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇත.

සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

එහි සඳහන් වන්නේ ‘2025 පළාත්පාලන මැතිවරණයේදී රටේ ජනතාව විසින් බහුතර බලය ලබා දී ඇති පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අද(19)පැවති සාකච්ඡාවේදී එකී සභාවල බලය පිහිටුවීමට ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කළ බවත් අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව මෙම සභාවල බලය පිහිටුවීමට ‘එකඟතාවකට එළඹුනු බවත්ය.

මැයි 6 වැනිදා පැවැති පළාත්පාලන මැතිවරණයේදී පළාත්පාලන ආයතන 339ක සභික ධුර සඳහා වෙන් වෙන්ව තරග කළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතුරින් ජාතික ජනබලවේගය නියෝජිතයන් 3926ක් පත්කරමින් සභා 265ක පැහැදිලි ජයග්‍රහණයක් හිමිකර කරගත්තේය. මේ අතර නියෝජිතයන් 1767ක් පමණක් පත් කරගන්නට සමත් වූ සමගි ජනබලවේගයට සභා 14ක බලය හිමි විය. එක්සත් ජාතික පක්ෂයට කිසිදු සභාවක බලය හිමිකරගත නොහැකි වූ අතර පත්කරගත හැකි වූයේද නියෝජිතයන් 381ක් පමණි.

ජාතික ජනබලවේගයට සභාවල බලය තහවුරු කරගැනීමට, එනම් පැහැදිලිව 50%කට වැඩි සභික බලයක් හිමිකරගෙන ඇත්තේ ආයතන 151ක පමණකි. පළාත්පාලන ආයතන 117ක විපක්ෂ කණ්ඩායම් සියල්ල එක් වූ විට වැඩි නියෝජනයක් හිමිවීම නිසා ඔවුන්ට සභාවේ බලය පිහිටුවීමේ ගැටලුවක් ඇතිව තිබේ. ඒ තත්වය පාවිච්චි කරමින් කිසිදු ජනතා අනුමැතියක් නොමැති විපක්ෂයේ පක්ෂ කුමන්ත්‍රණකාරි ලෙස පළාත් පාලන ආයතනවල බලය හිමිකරගැනීමට උත්සාහ කිරීම, පසුගිය මැයි 6 වැනිදා පැවති පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව අවධානයට ලක් වූ පුවතකි.

විශේෂයෙන්ම, පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් කොළඹ නගර සභාව තුළ ජාතික ජනබලවේයට සභික ධුර 48ක පැහැදිලි බහුතරයක් හිමිව ඇතත් විපක්ෂයේ සමගි ජනබලවේගයට හැකි වූයේ සභිකයන් 29ක් හා එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 13ක් පත්කරගැනීමටය. සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය පළාත්පාලන මැතිවරණයට පෙරද එක්ව තරග කිරීමේ අරමුණින් පැවැත්වූ සාකච්ඡා අසාර්ථක ව වෙන්ව තරග කළේය. එම පක්ෂ දෙකේම තේරී පත් වූ නියෝජිතයන් එක් වුවත් කොළඹ නගර සභාවේ බලය හිමිකර ගැනීමට නොහැකිය. එහෙත් මෙම පක්ෂ දෙකේ නායකයන් විසින් විපක්ෂයේ පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල තේරී පත්වූ සභිකයන් මුදලට ගනිමින්, දේශපාලන බලයේ මර්මස්ථානයක් සහ රුපියල් බිලියන ගණනින් ආදායම් උපදවන කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේ උත්සාහයක් ගෙන ඇති බවට චෝදනා එල්ල විය.

ඓතිහාසික ආකාරයට, පසුගිය ආසන්න මැතිවරණ 3කදීම ජනතාවගේ ප්‍රතික්ෂේප වූ විපක්ෂයේ පක්ෂ දෙකක් එක්ව පළාත්පාලන මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකරගත් පක්ෂයට අභියෝග කරමින් බලය පිහිටුවීමට සූදානම්වීම විවාදාත්මක තත්වයක් ඇතිකර ඇත. තම පක්ෂවලට හිමි සභික ධුර තුළින් බහුතර බලයක් නිර්මාණය කරගැනීමට අසමත් සමගි ජනබලවේගය හා එක්සත් ජතාකි පක්ෂය මේ ආකාරයෙන් වෙනත් පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල සභිකයන් සමග සභා පිහිටුවීම යනු දේශපාලන සදාචාරය පිළිබඳ ඉතිහාසයේ දැඩිව විවේචනයට ලක් වූ තත්වය දිගටම පවත්වා ගැනීමක් බවට දේශපාලන විචාරකයන් විසින් නිර්වචනය කර ඇත. විශේෂයෙන්ම පසුගිය පළාත්පාලන මැතිවරණයේදී සභිකයන් 2385ක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය 2025 පළාත්පාලන මැතිවරණයේදී හිමිකරගනෙ ඇත්තේ සභිකයන් නියෝජියයන් 3369ක් පත්කරගෙන විශාල ජයග්‍රහණයක් හිමිකරගත් පොදුජන පෙරමුණ මෙවර පළාත්පාලන මැතිවරණයේදී කිසිදු සභාවක බලය හිමිකරගෙන නැතිව නියෝජිතයන් 742කට පහත වැටී ඇත.

මෙම දේශපාලන පරාජයන් තුළද තමන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසත් ජනමතය නොසළකා හරිමින් දූසිත ආකාරයෙන් බලය තබාගන්නට දැරූ ප්‍රයත්නයන් නිසා බව මෙම පක්ෂවල නායකයන් අවබෝධ කරගෙන නැති බවට දේශපාලන අංශවල විවේචන එල්ල වී ඇත.

leave a reply