Breaking News

ට්‍රයිඩියොලොජීස් ප්‍රොබ්ලමැතිකය

උදය ආර්. තෙන්නකෝන්

ජනාධිපතිවරණයට තිබෙන දින ගණන එන්න එන්න ලං වෙනවා. තරඟය එන්න එන්නම තීව්‍ර වෙනවා. රැළි ඇති වෙමින් අඩු වෙමින් වැඩි වෙමින් වෙනස් වෙමින් යනවා. පුරෝකතන එක එක ආකාරයට එනවා යනවා. මේ ඔක්කෝගෙම අවසාන ගේම් එක වෙන්නේ ජනතාව. ජනතාවගේ කැමැත්ත. ලොකු පොඩි තරා තිරම් සියල්ල සමාන කරමින් සළකුණු කරන කතිරය පරිසමාප්තය බවට පත් වෙනවා. කුමන ප්‍රතිපත්ති, ආචාර ධර්ම, න්‍යායයන් දර්ශනයන් තිබුණත්, ඡන්දය විසින් කරන “ලකුණු කිරීම” තුල වැඩි වෙන ඔළු ගෙඩි ගණනේ ප්‍රමාණය අනුව වැඩියෙන් කතිර ලබා ගන්නා තැනැත්තා රටේ නායකයා බවට පත් වෙනවා.

මේ ගැන තර්කයක් නෑ. අනවබෝධයක් නෑ කාටවත්. ඒත් ඔළු ගෙඩි තුළ ගොඩ නැගෙන අදහසට අනුවයි කතිරය තීරණය වෙන්නේ. අදහස් ස්වාධීනයි (Ideas are independant) කියලා අදහසක් තියෙනවා. “ඉතිහාසය යනු කුමක්ද” (What is History) කියන නමින් යුතුව ලියන කෘතියේ ඊ. එච් කාර් (E. H. Car) විසින් සඳහන් කරන මේ අදහස මෙතැන දී අභියෝගයට ලක් වෙන්නේ ඇත්තටම අදහස් ස්වාධීන ද කියන එක. ඒ කියන්නේ ජනතා කැමැත්ත කියන දේ ස්වාධීන සහ ස්වායත්තද කියන කාරණය.

මිනිසුන් තුල අදහස් ඉබේ පහළ නො වන අතර භාහිර අත්දැකීම් විසින් ලබා ගන්නා දේවල් විසිනුයි අදහස් ලෙස සිතට එන්නේ. මේ අදහස්වලට තොරතුරු ඇතුළත්. තොරතුරුවලට කරුණු ඇතුළත්. ඊ. එච් කාර් කියනවා කරුණු පූජනීය යි (Facts are sacred) කියලා. මේ පූජනීය කරුණු ඔස්සේ ඇතිවන අදහස් ස්වාධීනයි කියලා කියද්දී, ජනතාව පූජනීයයි කියන නිගමනයටත් එනවා. ඒ අනුව ජනතාව සතු මෙම ඡන්ද අයිතිය කියන්නේ පරම බලය (supreme Power) කියලා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ කතා කරනවා විතරක් නෙවෙයි විශ්වාස කරනවා.
විශ්වාසය සත්‍යයක් බවට ද පත් වෙනවා.

මේ නිසා මේ සියල්ල අපි හඳුනා ගන්නවා “දැනුම” කියලා. ජනතාව සතු දැනුම නියම දැනුම නොවෙයි කියන උපකල්පනීය අදහස තුළ පිහිටා සිටින බැවින්, ජනතාව නියම දැනුමෙන් සමන්විත කිරීම මැතිවරණයේ දී නීත්‍යානුකූල පිළිගැනීමක් වෙනවා. දැනුවත් කිරීම සුජාතකරණයකිරීම කරනවා. ඒ අනුව සෑම අපේක්ෂකයෙකුට මෙන්ම පක්ෂයකට කණ්ඩායමකට අයිතියක් ලැබෙනවා ජනතාව දැනුවත් කිරීමට.

සර්ව ජන ඡන්ද අයිතියේ ඇති ප්‍රධාන තාර්කික පදනම වන්නේ ජනතාවට හිතන්නට මතන්නට හැකියාවක් ඇති තාර්කික සත්වයෙකු යන්න ය. එසේ තාර්කික හැකියාවක් ඇතැත්, පූජනීය වූ කරුණු හා ස්වාධීන අදහස් නියෝජිත පාර්ශවයන්ගෙන් ලැබෙන්නේ යැයි සිතීම අනෙක් උපකල්පනය යි.

මේ සියල්ලේ එනම් කරුණු, අදහස් තොරතුරු (Facts, Ideas, Information) සමස්ථයක් ලෙස නියෝජනය කරන්නේ දෘෂ්ටිවාදයන් ය. මේ අනුව සර්ව ජන ඡන්දය යනු ජනතා දෘෂ්ටිවාදයන් ලෙස හඳුනාගැනීමට හැකි වේ. නමුත් මෙම දෘෂ්ටිවාද පූජනීය හෝ ස්වාධීන නොවීම නිසා ජනතා කැමැත්ත යනු ජනතා කැමැත්තේ නියෝජනය වෙනුවට නියෝජිතයාගේ දෘෂ්ටියේ තැමැත්ත නියෝජනය වීම නිසා, පුනරුද මිනිසාගේ නව සොයා ගැනීම තාර්කික ප්‍රොබ්ලමැතිකයක් බවට පත් වී ඇති යුගයක ජීවත් වන සමාජයක් අප හමුවේ ඇත.

කරුණු, තොරතුර, අදහස්හි සමස්ථය දෘෂ්ටියවාදයන් බවට පත් වීම හෝ පත්කිරීම මිනිසා විසින්ම සිදු කරන අතර සාමාන්‍යයෙන් එක් එක් කාලයන්ට සන්දර්භයන්ට අනුව දෘෂ්ටිවාදයන් ගොඩනැංවීම සිදු වෙනවා. සෑම වසර පහකට වරක් පැවැත්වෙන ජනාධිපතිවරණයන් හෝ මහමැතිවරණයන් තුළ දී මෙය හොඳින් හඳුනා ගත හැකි වේ.

1994 දී චන්ද්‍රිකා බලයට පත්වන අවස්ථාවේ පැවැති කරුණු අදහස් තොරකුරු සමුච්ඡගත වූ දෘෂ්ටිවාදය වූයේ, දූෂණය භීෂණය නැති මානුෂීය මුහුණුවරක් වූ ආර්ථික පරිසරයක් යන්න ය. එය එතෙක් පැවැති ජේ. ආර්. පාලනයට ප්‍රතිපක්ෂයක් ලෙස ගෙන ආවක් ය. ඉන්පසු, ඇගේ දෙවන ධුර කාලයට මුල් වන්නේ ආරක්ෂාව යන දෘෂ්ටිවාදය වේ. මහින්ද රාජපක්ෂ බලයට ගෙන එන්නේ ද එම දෘෂ්ටිවාදයේම වෙනත් ස්වරූපයක් වූ ජාතිය ආගම, භූමිය ඇතුළු අනතුර සංයුක්ත කළ දෘෂ්ටිවාදයක් ගෙන එමෙනි. නවත 2015 දී මෛත්‍රී ජනපති වන්නේ යහපාලනය නම් අදහස තුළට 1994 දී චන්ද්‍රිකා දෘෂ්ටිවාදයේම නව ස්වරූපයකි. ගෝඨාභට පාලනයට පදනම් වන්නේ නැවත මහින්ද දෘෂ්ටියේ උත්කෘෂ්ඨ අභිලාෂයන් සංයුක්ත කරන රට සහ ආරක්ෂාව නම් වූ වෙවළම ය.
මේ අනුව, තවත් ආ පස්සට ගොස් විමසා බලූ කල, දෘෂ්ටිවාදයන් ක්‍රියාත්මක වී ඇත්තේ කෙසේ දැයි හඳුනාගත හැකි වේ. එනම් පූර්ව යටත් විජිත ඉතිහාසයේ දී සිදු කළ ආකරයට වඩා වෙනස් යටත් විජිත ඉතිහාසය තුල සිදු කළ ආකාරයේ වෙනස්කම් ද සොයා ගත හැකි වේ.

දැන් අප ජීවත් වන්නේ ලෝක ක්‍රමයක් ලෙස වෙනස්ම අවධියක නිසා අභ්‍යන්තරික දෘෂ්ටිවාදයන් මාරුවෙන් මාරුවට සිදුවන ගැටීම ගෝලීය දෘෂ්ටිවාදයන් විසින් මෙහෙයවීම විෂේශත්වයක් බවට පත්ව ඇත.

ධනවාදය, නූතන සංනිවේදනය, සහ විශේෂයෙන්ම තාක්ෂණික ධනාවාදය තුළ දී දෘෂ්ටිවාදය ගොඩ නැංවීම යන පෙර නොවූ තත්ත්වයකි. නමුත් පැරණි යුගයන් තුළ පැවැති දාෂ්ටිවාදයන් මේ වෙනස්කම් නිසා අහෝසි වීමක් සිදු නොවේ. සමාජය නූතන තත්ත්වයන්ට අනුව වෙනස් නො වන්නේ නම්, පැරණි දෘෂ්ටිවාදයන්ට වළංගුභාවයක් ලැබීම යනු සමාජය තුල පවතින අදහස් ප්‍රතිචක්‍රිය වීමකි. සංනිවේදනය සමග එකතු වන තාක්ෂණය සහිත අධිකාරිත්වයන්ට මෙහි බලය සතුව ඇති බැවින් සමාජයේ දෘෂ්ටිය ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු කරනු ලබයි.

නූතන සංන්නිවේදනය සහ ඊට අනුගත වාහකයන්ට අනුව බැලීමේ දී අපි හිතනවා ඒක කරන්නේ ජන මාධ්‍යය කියලා. සමාජ මාධ්‍යය කියලා. එතැන ඇත්තක් නැත්තෙ නෑ. මාධ්‍යය තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ වාහකයක් ලෙස දෘෂ්ටිවාදයන් ජනාතව වෙත ගෙන යෑම මෙන්ම ජනමාධ්‍ය විසින් දෘෂ්ටිවාද නිර්මාණය කිරීම ද වැදගත් අංගයක්. නමුත් ඇත්තටම ඒවා තුලින් පොම්ප වන තොරතුරු තුළ දෘෂ්ටිවාදයන් ඇතැත්, ජනමාධ්‍යයන් විසින් කරනු ලබන අසීමිත තොරතුරු හේතුවෙන් එක් දෘෂ්ටිවාදයක් තුල පවා බහුවිධ දෘෂ්ටිවාදයන් දැකිය හැකි වෙනවා. විශේෂයෙන් මැතිවරණයක් පවතින කාලයක බලය ඉල්ලා සිටින පාර්ශවයන්ගේ අදහස් දෘෂ්ටිවාද බවට පත්කරනු ලැබීමේ කාර්යය ජන මාධ්‍යය සහ සමාජ මාධ්‍යයන් තුලින් සිදු වන්නේ තොරතුරු සන්නිවේදනය යන්න පදනම් කර ගනිමින් ය.

එක දෘෂ්ටිවාදයක් තුළ දෘෂ්ටිවාද ගණනාවක් තිබිය හැකි ද?

මෙවර ජනාධිපති සටන දෙස අවධානය යොමු කරනු ලැබුවොත්, බහුවිධ වූ දෘෂ්ටිවාදයන් එක් එක් අපේක්ෂක නියෝජනය තුළ ක්‍රියාත්මක් වීම පමණක් නොව ඒවා වෙන වෙනම නියෝජනය කිරීමක් සිදු වේ. දැන් අපි මේ දෘෂ්ටිවාද ටික ගැන අවධානය යොමු කර බලමු. ඉන් ප්‍රධාන අපේක්ෂකයින් ලෙස පොර පිටියට ඇවිත් ඉන්න රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස යන ත්‍රිත්වය විසින් ජනතාව කෙරෙහි ඇති කර ඇති දෘෂ්ටිවාදී හැඟවුම මොන වගේ ද. හොඳින් සිහිකර ගත්තොත්ත් වැටහෙන දෙයක් වන්නේ, මේ අය නො යෙක් නොයෙක් කතා කියනවා. අදහස් ඉදිරිපත් කරනවා. ඒ මොනවා කිව්වත්, ඒ ඒ අපේක්ෂකයාගේ අදහස් සහ ක්‍රියාකාරිත්වයන් ද ඇතුලු අතීත සමස්ථයත්, මේ මොහොතත්, අනාගතයට දෙන බලාපොරොත්තු සමග ජනතාව තුල අදාල අපේක්ෂකයා සම්බන්ධ දෘෂ්ටීන් ඇතිකරනු ලැබීම සිදු වන දෙයක්. හොඳ නරක, හැකියාව නො හැකියාව, අවංක වංක, ආදී සහ සම්බන්ධ ප්‍රතිවිරෝධයන් සහිත අදහස් අපෝහකයන් තුළින් එකක් බවට පත් වී අවසානයේ ජන මනසට ඇති කරන බලපෑම ප්‍රධාන දෘෂ්ටිවාදය බවට පත් වෙනවා.

එය වටා අනෙකෙුත් කුඩා දෘෂ්ටිවාදයන් කැරකීම සන්නිවේදනය විසින් සිදු කරනවා. මෙතැන දී, දෘෂ්ටිවාදයන් ක්‍රියාත්මක වෙන්නේ හොඳ පැත්ත විතරක් නොවෙයි. නරක පැත්තත් විශාල බලපෑමක් කරනවා. දෘෂ්ටිවාදයන්ද අපෝහකයි. ඒ කියන්නේ දයලෙක්තිකයි. ද්විඝඨනාත්මකයි. බහුඝඨනාත්මකයි. ප්‍රතිවිරෝධ සහිතයි. විශ්වාසයන්, අගයන්, පූර්ව විනිශ්චයන්, සැකයන්, පක්ෂපාතිත්වයන්, ඇතුළු සකල විධ මානසික හැඟීම් මේ දෘෂ්ටිවාදයන්ට ඇතුල් වෙනවා. ඡන්දය දෙන අවසාන අවස්ථාව, එනම් ඡන්ද පත්‍රිකාවේ කතිරය සලකුණු කිරීමෙන් හෝ කටු ගා දැමීමෙන් හෝ, වර්ජනය කිරීමෙන් අවසාන අවසාන වන්නේ දෘෂ්ටිවාදය යි.

ඒ ජනතාවගේ පැත්තෙන්. ඉන් පසු ජනතාව තුළ පැවැති දැනුම නිමාවට පත්වෙනවා. ඉන් පසු එය හරි හෝ වැරදි කියා දෙයක වැදගත්කම අදාල වන්නේ නැත. ගුණාත්මක බව තීරණය වන්නේ ප්‍රමාණාත්මක බව මත ය. වැඩිම ඡන්දය විසින් පාලකයා පත් වෙනවා.මේ පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට අපි බලමු රනිල් සජිත් අනුර දෘෂ්ටිවාදය කුමක් ද කියලා ආර්ථිකය මුල් කර ගත්ත අදහසයි රනිල් විසින් කේන්ද්‍රීය කරගෙන තිබෙන්නේ. එයට හේතුව ඔහුට ඔහුගේ දේශපාලන ඉතිහාසයෙන් ලැබුණු දෙයකට වඩා ආර්ථික අර්බුදයෙන්, රට බංකොලොත් වීමෙන්, අවුරුදු දෙකක පමණ කෙටි කාලයෙන් ලැබුණු වරප්‍රසාදයක්. ඔහු විසින් ඇති කරන ලද ආර්ථික හා දේශපාලන තීන්දු තීරණ සමාජයටත් ජනතාවටත්, රටින් පිටත ගෝලීය සන්දර්භයටත් හොඳ සහ නරක යන දෙක පමණක් නොව විචාරාත්මක, දයලෙක්තික සහසම්බන්ධ විසින් ඇති කරන සමස්ථ දෘෂ්ටියේ අග්‍ර දෘටිය වෙන්නේ ආර්ථිකය සහ ආරක්ෂාව යන දෘෂ්ටිවාදයයි.

ජන මනස තුල මේ දෘෂ්ටිවාදය පැළපදියම් කරන ප්‍රධානතම ලෝක දැක්ම වන්නේ “පැවැත්ම” කියන මූල ධර්මයි. මේ දෘෂ්ටි ඇති කරවීමට යොදා ගන්නා මාදිලිය වන්නේ “භීතිය” සහ “ අවිනිශ්චිතභාවය” නම් හැඟීමයි. එය සිදු වන්නේ අනෙක් අපේක්ෂකයන්ට “ ජනතාවගේ පැවැත්ම” ස්ථාපිත කළ හැකි ද යන්න ය. පැවත්ම ගැන සිහි කැඳවිමින් බයට පත්කිරීම මගින් ජනතාව තුළ කේවලවත් සාමූහිකවත් අනාරක්ෂිතබව විශ්වාසයක්, දැනුමක්, සත්‍යයක් බවට පත් කිරීමට රනිල්ගේ දෘෂ්ටිවාදය විදිහට හඳුනා ගන්න පුලුවන්.

ඒ අනුව රනිල්ගේ ආර්ථික දෘෂ්ටිවාදයේ ලෝක දැක්ම වන්නේ “පැවැත්ම සහ ආරක්ෂාව යන ද්විත්වයි. පැවතුණොත් රැකෙනු ලැබේ යන අදහසයි. ආර්ථික වශයෙන් කඩා වැටුණු රට අරගලයක ප්‍රථිඵලයක් ලෙස බලයට පත් කර ගැනීමට සිදු වූ නායකයකු විසින් වැටුණු රට නැගිට්ටවීමට හැකි වූයේ ඔහු සතු හැකියාව නිසාත්, එය ඉදිරියට ගෙන යමින් අර්බුදයෙන් ගොඩ ගැනීමට ඇති හැකියාව ඇත්තේ ඔහු තුළම බව මෙම ජනාධිපතිවරණයේ රනිල් දෘෂ්ටිවාදය බවට පත්ව ඇත. එය ජනතාවගෙන් වැඩි පිරිසක් පිළි ගැනීමට තරම් විශ්වාසයක් ඇති කිරීම අභියෝගය වන්නේ ය.

මගේ කල්පනාවට අනුව නම්, සජිත්ට සුවිශේෂී වූ දෘෂ්ටිවාදයක් නැති ගාන ය. මේ නිසා එය ජනතාවගේ දෘෂ්ටිවාදය යැයි කියාද හැඳින්විය හැකි ය. ඒකෙන් කියන්නේ ජනතාවාදී කියන වාමාංශික අර්ථ ගැන්වීම නොවේ. සුභසාධන මානසිකත්වය පිළිබඳ ඇති සම්ප්‍රධාය පෙරට ගෙන ඒමේ පශ්චාත් සම්ප්‍රදායික දෘෂ්ටිවාදයයි. ජනතාවගේ හැඟීම් කෙරෙහි යොමු වීම විසින් මිථ්‍යා දෘෂ්ටිය දෘෂ්ටිවාදයක් බවට පත්කිරීම සිදු වේ. මේ නිසා පශ්චාත් තොරතුරු යුගයේ ඇති වැදගත් දෙයක් වන තොරුතුරු හෝ කරුණුවල ඇති සත්‍යභාවයට වඩා ඒ තුළ ඇති මානසික හැඟීම් සමඟ ගනුදෙනු කරමින්, ජනතාව තුළ සම්ප්‍රධායික සුභසාධනවාදය ඉක්මවාගිය පශ්චාත් නූතන සුභසාධනවාදී දෘෂ්ටිවාදයක් ගොඩ නැගීම සජිත් විසින් සිදු කිරීමයි. ඔහු වටා සිටින්නා වූ විවිධ නියෝජනයන්ගේ අදහස් න්‍යායන් කුමක් වුවත්, ජනතාවට එන අවසාන විශ්වාසය වන්නේ සජිත් අපිට කන්න දෙයි. ඉන්න දෙයි කියන අදහසයි. එක විදිහකට කියන්න පුලුවන් “බහු දෘෂ්ටි” දෘෂ්ටිවාදය කියලා. ජනතාවට ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙළවත්, දේශපාලනික දැක්මේවත් බැරෑරුම් හැඟීමක් ගැන වුවමනාවක් නැත. ඔහුගේ දෘෂ්ටිවාදය “විවෘත චෙක් එකක්” වගේ දෙයකි.

අපි හොරුත් එක්ක නෑ, අපේ සන්ධානයට හොරු එකතු කර ගන්නෑ කීම පවා, ජනතාවට “සීරියස්” ද කියන එක ගැන ලොකු වැදගත් කමක් ගෙන නොදේ. මොකද ඔහු එක්කත් ඉන්නේ හොරු කියන එක ජනතාව දන්නවා. ජනතාවත් තමන් හොරු බව දනී.

නමුත් හොරකම වංචාව, අල්ලස දූෂණය හා අරුන් එවුන්ට වැඩිය මුන් විසින් කරයි කියන “හොරකම” පිළිබඳ දෘෂ්ටිවාදයට වළංගුබවක් ලැබෙන්නේ අනුර කුමාරට. මේ මාර්ගය ඔස්සේ රට ගොඩ නැගීමට ඇති හැකියාව මාලිමාවට ඇති බව ඔවුන් විසින් සළකුණු කරන ප්‍රධාන අදහස වන්නේ ය. ජනතාව සතු අත්දැකීම් අනුව රටක දියුණුවට ඇති පිළිලය මෙය යැයි ද, ඉතිරි ප්‍රශ්න සියල්ල ඉන් පසු විසඳා ගත හැකි වනු ඇතැයි යන විශ්වාසය අති බහුතරයකට ඇත්තේ නම් අනුර කුමාරට ජනාධිපති විය හැකි වනු ඇත.

මේ අනුව යම් නිගමනයකට පැමිණිය හැකි වේ. බහුවිධ දෘෂ්ටිවාදයන් අතර මෙවර ජනාධිපතිවරණය සහ ජනතා කැමැත්ත භ්‍රමණය වන්නේ ප්‍රධාන දෘෂ්ටිවාදයන් තුනක් වටා ය. ආර්ථික දෘෂ්ටිවාදය, සුභසාධන දෘෂ්ටිවාදය, හොරකම පිළිබඳ දෘෂ්ටිවාදය. මෙම ත්‍රිත්වයන් ඇතුළත, සමඟ සහ පිටත යන සන්දර්භයන්හි සියලු කරුණු, අදහස් හා තොරතුරු සංසරණය වන්නට පුළුවනි. එය එක් එක් අපේක්ෂකයාට බලපානු ඇත්තේ ජනතාවගේ තරාතිරමට ඇතුළත් දැනුමේ බුද්ධියේ ප්‍රමාණයන්ට අනුව ය. අදහස් ස්වාධීන නොවන නිසාත් ජනතාව පූජනීය නොවන නිසාත්, ජනමාධ්‍ය සහ ප්‍රචාරණය වෙළඳාමක් නිසාත්, වෙළඳාමට ආචාර ධර්ම නැති නිසාත්, පශ්චාත් සත්‍යය මත පදනම්ව උපාය සහ උපක්‍රම දෘෂ්ටිවාදයක් බලයට පත්කිරීමේ මෙවළම් බවට පත් වේ. බලය සහ ජනතාව රැවටවිය හැකි සංන්නිවේදන ශක්තිය උරගා බැලීමේ තරඟයෙන් ඉදිරියට යන්නාට ජය අත්වනු ඇත.

එක දෙයක් සළකුණු කළ යුතු ය. පශ්චාත් යටත් විජිත සමාජයේ එතෙක් පැවැති දෘෂවාදයන්ගෙන් අලුත් වෙනසක් සලකුණු කරන වන දැක්මකට එලියක් සපයන දෘෂ්ටිවාදයක් 2024 දී පවා දැකිය නො හැකි ය. ආකෘතීන් හා සන්දර්භයන් වෙනස්ව පෙන්වනු ලැබුවත් ලංකාව නැවත නැවත කැරකි කැරකි ගමන් කරනු ලබන්නේ ප්‍රොබ්ලමැතිකයේම ය.

ජනාධිපතිවරණයෙන් පාලකයයෙක් සහ පාලනයක් ඇති විය හැකි ව. එය ජනතාව විසින් යැයි කියනු ඇත. නමුත් එය සිදු කරනු ලැබුවේ ජනතාව නොවූ ජනතාව විසින් යන්න 2025 දී වැටහෙනු ඇත.

ගැටලුවට විසඳුම ප්‍රොබ්ලමැතිකයක් ය. තමා වටා එය භ්‍රමණය වේ. තමන් ද ඒ අතර භ්‍රමණය වේ. භ්‍රමණයත් පරිභ්‍රමණයත් විශ්ව ධර්මතාවකි. අපි කැරකේ අපිව කරකවති.
කලාපය, ගෝලය, උතුර දකුණ, චීනය ඉන්දියාව, අමෙරිකාව යුරෝපය ලෝකයට අයිතිය. අපි ඒ ලෝකයන්හිය. ඒ අතර අපේ ලෝකයක් වෙනුවෙන් වෙනුවට අපි ඔවුන්ගේ රවුමේ කැරකෙමින් සිටිති.

හරිත් නෑ.. වැරදිත් නෑ.. විසඳුමක් නැති කොට. 2024 සැප්තැම්බරයෙන් පසුත්, සෙක්කුව කැරකෙනු ඇත.

මෙය මෙසේ ලීවාට කිසිවෙකුට බලපෑමක් සිදු නො වනු ඇත. එසේ සිදු වුවහොත් පුදුමයකට පාත්‍රවීමට වූ දෘෂ්ටිවාදයකි.

.

leave a reply